මහත්තයට හයියක් වෙන්න මම ගෙවිලියක් වුණා!
ලොව ලස්සනම තැන ගෙදරය. ඒ ගෙදර හිත නිවන පරිසරයක් වේනම්, ඒ ලස්සන තවත් වැඩියෙන් දැනේ. සොබාදහමට ආදරේ කරද්දී ඒ අපූර්වත්වය තුළ ඔබ අප කාටත් පෙරලා ලැබෙන්නේ සතුටයි..
“මම ඉස්සර ඉඳලම කැමති ගහකොළ පිරිච්ච පරිසරයකට. ඒත් අපි මේ ඉඩම ගනිද්දි ඒ වෙනකොට තිබුණු ලොකු ගහකොළ සේරම කපන්න සිද්ධ වුණා. ඒකට හේතුව තමයි මේ ඉඩමේ ප්‍රමාණය පර්චස් දහයයි. ගේ හදන්න ඉඩ ගන්නයි එහෙම කරන්න සිද්ධ වුණේ. ඒ අනුව එක පොල් ගහක් විතරයි අපිට ඉතිරි වුණේ. ඒ වෙලාවේ ඉඳලම මගේ හිතේ ඇඳුනේ ලස්සන ගෙවත්තක්. ඉඩ නැතත් තියෙන ඉඩකඩ ඇතුළේ මට ඕන වුණා හැමදෙයක්ම ලස්සනට වගා කරගන්න.”
ඒ මාතලේ උකුවෙල පදිංචි ඉනෝමලී මධුශංකා රූපසිංහගේ හඬයි. පොඩි ඉඩක වුවත්, වගාවෙන් ලැබෙන සතුට පොඩි නැතැයි ඉනෝමලීගේ වදන්වලින් පැහැදිලිය. ගෙයි බැම්ම, තාප්ප, වහලයේ පවා හිනැහෙන වැල්, කොළපලා වර්ගත්, ලොකු ගස්වල සෙවනේ වැඩෙන විවිධ එළවලු, පලතුරු වර්ගත් අද ඇගේ පවුලේ සාමාජිකයන්ගේ නෙත් සනසන දසුනක් බවට පත්ව තිබේ.
“ඇත්තටම මගේ පුංචි දවස් ගෙවුණේ වෙල්යායක ලස්සන රූප රාමු එක්ක. ඊට හේතුව තමයි මම සීයයි, අත්තම්මයි එක්ක වෙල්යායක් සමීපයේ තිබුණු ඔවුන්ගේ නිවසේ ජීවත්වීම. සීයා ඒ කාලේ නොයෙක් දේවල් වගා කළා. මං වගාවට මේ තරම් ආදරේ කරන්න ඒ ආභාෂය තවත් හේතුවක් වෙන්නැති. අපි පුංචි කාලේ පදිංචි වෙලා හිටියේ නුවර මැණික්හින්නේ. තාත්තා ලී මෝලක වැඩ කළේ. තාත්තාගේ රැකියාව නිසා අපට ඒ ගෙවල් අතහැරලා මාතලේ පදිංචියට එන්න සිද්ධවුණා. විවාහයෙන් කලකට පසුව තමයි අපිත් මේ ඉඩම අරන් මෙහේ පදිංචියට ආවේ.”
ඒ මීට අවුරුදු දොළහකට පෙරයි. එහිදී වැඩෙන ගස් වුව ඒවා බද්ධ පැළවලින්ම තෝරාගැනීමට ඇය කළේ ගෙවත්තේ ඉඩකඩ පිරිමසාගැනීමට ඕනෑකම තිබූ නිසාය. ඒ අනුව අඹ, දහඅටමාසේ කොස් පැළයක්, ජෑම් පේර, අලිපේර, කිලෝ පේර වාගේම කජු පැළයක්ද ඇය වත්තේ සිටවූවාය.
“දැන් මේ හැමදේම මට පලදාව ලබලා දෙනවා. කජු ගහේ අවුරුද්ද පුරාවට පල දරනවා. අඩුම තරමින් එක ගෙඩියක් හරි ගහේ තියෙනවා. ඒ වගේම වත්තේ තව පලතුරු වර්ග තියෙනවා. පැණි කාමරංගා, අන්නාසි, ගස්ලබු තියෙනවා. ළඟදි මට කොත්මලේ ඉන්න යාළුවෙක් ස්ට්‍රෝබෙරි පැළයක් එවලා තිබුණා. දැන් ඒකෙත් ගෙඩි හැදිලා. මේ අස්වැන්න දිහා බැලුවම විතරක් නෙවෙයි හිතට සතුට දැනෙන්නේ. වත්තේ දැන් ලේන්නු ඉන්නවා. කුරුළු කිචිබිචිය නිතර ඇහෙනවා. ඉතින් කොහොමහරි කාලය හදාගෙන තව තවත් ගෙවත්තට අලුතින් දෙයක් හිටවන්න, ගෙවත්ත ලස්සන කරගන්න තමයි හිත කියන්නේ.”
කලක් තමන්ගේම දුරකතන සන්නිවේදන ආයතනයක් කුඩාවට පවත්වාගෙන ගිය ඇයට, එය වසා දමන්නට සිදුවූයේ ඉකුත් කාලයේ වූ විදුලි කප්පාදුවත් සමඟිනි.
“තවමත් වරින් වර ලැබෙන ටයිප් සෙටින් වැඩවලට මම කොහොමහරි කාලය හදාගන්නවා. ඒ වගේම මම ඉස්සර ඉඳලා කවි, කෙටිකතා, ළමා කතා ලියනවා. තරඟවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබලත් තියෙනවා. කොහොම වුණත් මගේ දහවල් කාලයෙන් නම් වැඩි වෙලාවක් වෙන්වෙන්නේ ගෙවත්තේ වැඩවලටයි. මගේ මහත්තයා වගේම දරුවෝ තුන්දෙනත් ඊට උදව් කරනවා. ඇත්තම කිව්වොත් මම වගා කරන්න හිතුවෙත් මගේ මහත්තයට ආර්ථික වශයෙන් සවියක් වෙන්න ඕන නිසයි. ඒ වගා කරද්දි මම පලිබෝධ හානි අවම වගා බෝග තමයි තෝරාගත්තේ. දැන් මගේ ගෙවත්තේ දඹල වර්ග කිහිපයක් තියෙනවා. දිග දඹල, කොස්ඇට දඹල, නියං වැටකොලු, බටු වර්ග, නයිමිරිස්, අමුමිරිස්, ආලංගා, අවර, කිරිඅල, මඤ්ඤොක්කා, බුත්සරණ, හුළංකීරිය, තෝර පරිප්පු, මෑ, බෝංචි, නිවිති, වඳුරු මෑ ආදියත් තියෙනවා. ඒ වගේම බුලත් පාත්තිවලින් දවස් දෙකකට වරක් බුලත් කපලා ආදායමක් ලබනවා.”
ඇගේ සැමියා ඩබ්ලිව්.ජී.විමලධර්ම හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන්නෙකි. ලොකු පුතු මනිල්ක අභිමාන් එළැඹෙන වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය ලියන්නට සූදානම්ය. දැහැමි ප්‍රාර්ථනා දියණිය දහය වසර පන්තියේයි. චූටි පුතු සදෙව් අනුත්තර තවමත් අට හැවිරිදිය. සැමියාගෙනුත් දරු තිදෙනාගෙනුත් ඇයට ලැබෙන අත්උදව් නිසා ගෙවතු වගාවට අලුත් අලුත් දේ එක්කර ගැනීම පහසු බව ඇය කීවාය.
“මුලදි මුලදි මිරිස් ඇට, මුකුණුවැන්නවල මෝරපු කොටස වගේ ගෙදරට උයන්න ගෙනා දේවල් මම හිටෙව්වේ. පස්සේ මුහුණුපොතේ සමූහවලට සම්බන්ධ වුණහම බීජ හුවමාරු කරගෙන බොහොම සහයෝගයෙන් වගාව සාර්ථක කරගත්තා. වගාවක් පටන්ගනිද්දි එකපාරට ලොකු පියවරකට යන්න ඕන නැහැ. ගෙදරට කන්න ගේන අල ගෙඩියක් ඉබේ පැළ වුණත් ඒක වගා කරන්න පුළුවන්. පිපිඤ්ඤා, වට්ටක්කා ඇට ටික හිටවන්න පුළුවන්. ගස්වලින් වැටෙන කොළ ටික පොහොර වෙනවා. කෙසෙල් ලෙලි වගේම කුස්සියේ අහක දාන දේ වලින් කෝම්පෝස්ට් හදාගන්න පහසුයි. හාල්මැස්සෝ සෝදපු, මාළු සෝදපු වතුර සමහර පැළවලට දාන්න පුළුවන්. ඒ වගේම මම හරි කැමතියි අලුත් අලුත් වගා බෝග ගෙවත්තට එක්කරගන්න. යෝධ පැෂන් ඒවට ටං ටිං (ග්‍රැනඩිල්ලා) කියලත් කියනවා. මේකේ මල් හරිම සුවඳයි. වෑංජනයක් විදියටත් උයනවා. මදය දොඩම් වගේ පානයක් විදියටත් හදනවා. දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. මෙහේ කැන්ද කොළ නැති නිසා මම හැලප හදන්නේ ටං ටිං කොළවල.”
ඉනෝමලීගේ ගෙවත්තේ මල් වර්ගද තිබේ. රෝස, ඇන්තූරියම්, සූරියකාන්ත, කූඩලු, කඩුපුල්, නිල් කටරොලු, දාස්පෙතියා වැනි මල් ඇගේ ගෙවත්ත හැඩ කරන්නීය.
“කිරිපිටි ගණන් ගියාට අපේ ගෙදර ඒ ප්‍රශ්න තිබුණේ නැහැ. මොකද අපේ බබාලට පුංචි කාලේ ඉඳලම පුරුදු කළේ බෙලිමල්, රණවරා, පොල්පලා වගේ පානයන්. ඒවා ඉතාම ගුණදායකයි. ඒ වගේම මම පහුගිය කොරෝනා කාලේ මගේ ගෙවත්ත අංගසම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා කල්පනා කරලා වගාබෝග එක්කරගත්තා. දේශීය දේවල් ගොඩක් ඒ අතර තියෙනවා. අද වෙද්දි මගේ බලාපොරොත්තුව ඉටුවෙලා. ඒ සතුට අද මමත් මගේ සැමියත්, දරුවෝ තුන්දෙනත් අත් විඳිනවා. ඒ වගේම දරුවන්ට ගහකොළ ගැන, පරිසරය ගැන පුංචි කාලේ මේ ලබන අත්දැකීම් ගොඩක් වැදගත් කියලා මං හිතනවා. මොකද ටැබ් එකටම දරුවෝ හිරවෙන්න හොඳ නැහැ.”
ඉනෝමලීට ගෙවත්තෙන් ලැබෙන්නේ හිතේ සතුට පමණක්ම නොවේ. ඔවුන් අද එළවලු කඩෙන් ගන්නේම නැතිතරම්ය. එය පවුලේ ආර්ථිකයට සවියකි. හිතටද සහනයකි. සැනසුමකි. ඒ සහනය කොතෙක්දැයි දන්නේ දිනකට ගෙවත්තෙන් එළවලු දෙක තුනක්වත් නෙළාගන්නා ඇයවන් ධෛර්යවන්තියන්ය.
දීපා වසන්ති එදිරිසිංහ