Latest News

කාන්තා වැසිකිළියක් තුළ තිබී රහසිගත කැමරාවක් හමුවෙයි

ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය සම්බන්ධව සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (22) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ කැමරා උපකරණය උපයෝගී කරගනිමින් ඡායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් කළ හැකි නම් එහි පටිගත වන දර්ශන බාහිර උපකරණයක් මගින් හැසිරවිය හැකි ද යන්නත් එසේත් නොමැති නම් ගබඩා කළ හැකි ද යන්නත් සම්බන්ධයෙන් කරුණු වාර්තාවක් ලබා දෙන ලෙස නියම කෙරුණා.

ගම්පහ පොලිසිය මගින් ගම්පහ නගරයේ පිහිටි “සිතුසර” නැමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිලිය මත තිබූ රතු පාට එල්.ඊ.ඩී බල්බයක් සහිත රවුම් සී.සී.ටී.වී කැමරාව , අගල් එකහමාරක් දිග කේබල් එකක් සහ පවර් බෑන්ක් එකක් නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව උපකරණ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසට අධිකරණයෙන් නියම කෙරෙනු ලැබුවා.

නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති එම උපකරණය කුමක්ද ? එයින් සිදුකල හැකි කාර්‍ය්න් කුමක්ද?මෙම උපකරණය මෙරට නිෂ්පාදිතද ?එසේ නොමැති නම් විදේශීය රටක නිෂ්පාදිත එකක්ද ? යන්න ඇතුළු ප්‍රශ්නාර්ථ 06 කට අදාළ වාර්තාව කඩිනමින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියම කර තිබෙනවා.

කෙසේවෙතත් කැමරාව සවි කළේ කවුද යන්න සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය වී නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.

සිද්ධියට පාදක වී ඇති වැසිකිලිය එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රය තුළ පිහිටා ඇත්නම් පාලන අධිකාරියට වගකීමෙන් කිසිසේත් බැහැර විය නොහැකි බව පැවසු අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් හරියාකාරව පරීක්ෂණ සිදුකර වගකිවයුත්තන් සිටින්නේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කළා.

සිද්ධියට අදාළ නඩුව මාර්තු මස 28 වෙනිදා ට නැවත කැඳවීමට නියම කෙරුණා.