තැනේ හැටියට ඇණේ ගහන්නට ජංගම ව්‍යාපාරික රථ හදන ඉෂාරා
පියෙකුගේ අභිමානය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයන්නට පුතෙකු තරම් වටිනා තවකෙක් නැතැයි බොහෝ අය කියති. නමුත් පුතුන් නැතුවාට දියණියකටත් එකී අභිමානය ඉදිරියට ගෙනයා හැකි බව අපට කීවේ ‘ඉෂාරා වෙන්චර්ස් පුද්ගලික සමාගමේ’ කළමනාකාර අධ්‍යක්ෂකවරිය ඉෂාරා මනමේන්ද්‍රයි.
මේ වනවිට හෝකන්දර ප්‍රදේශයේ පදිංචිව සිටින ඉෂාරා, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ප්‍රේමදාස මනමේන්ද්‍රගේ වැඩිමහල් දියණියයි. ඇමෙරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධිය හැදෑරූ ඇය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදිසිසුවියකි.
“මගේ තාත්තා මුලින්ම පටන් ගත්තේ ග්‍රිල් ගේට්ටු හදන වැඩපොළක්. පස්සෙ කාලෙකදි තාත්තා ටිකෙන් ටික දියුණු වෙන්න ගද්දි ඒක ලොරි බොඩි හදන වැඩපොළක් විදිහට, ‘ඉෂාරා ලොරි බොඩි’ කියලා වෙනස් කරා. මට මතකයි මමත් පොඩි කාලේ ඉස්කොලේ ඇරිලා තාත්තගෙ වැඩපොළට යන්න ආසාවෙන් බලන් හිටියා. මොකද මං සෙල්ලම් කරේ තාත්තා වාහන හදපු ආයුධවලින්. ඒ විතරක් නෙවෙයි මං පැන්සල් පවා උල් කරේ වාහන හදන ආයුධවලින්. පස්සෙ කාලෙදි මම තමයි අපේ ඉස්කෝලේ ගණිත විෂයට දක්ෂම ශිෂ්‍යාව වුණේ. ඒ දක්ෂතාවයයි, යාන්ත්‍රික පැත්තට (machanical) තිබුණු ආසාවයි නිසා මං හිතුවා කවදාහරි මැකනිකල් ඉංජිනේරුවරියක් වෙනවා කියලා. මේක ගෑනු ළමයෙකුට බෑ කියලා මට හිතුණෙ නෑ.”
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය ඇමෙරිකාවට යන්නේ 2005 වසරේදීය. ඒ සිතූ පරිදිම දක්ෂ ඉංජිනේරුවරියක් වීමේ බලාපොරොත්තුව ඇතිවය. පසුව 2012 වසරේදී තම උපාධිය අවසන් කර මෙරටට පැමිණි ඇය, වසරක් යනතුරුම කළේ, නොයෙකුත් ආබාධ සහිත දරුවන් රැක බලාගැනීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමය. එහෙත් අවාසනාවකට ඒ කාලයේදීම ඇගේ පියා රෝගී විය. එතැන් පටන් පවුලේ වැඩිමහල් දරුවා ලෙස පියාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනයෑමට සිදුවූයේ ඇයටය. පසුව ඉෂාරා ලොරි බොඩිවලට නව මුහුණුවරක් දීමට සිතූ ඇය, ඉෂාරා ලොරිබොඩි ආයතනයට අනුබද්ධව ‘ඉෂාරා වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් පුද්ගලික ආයතනය’ ආරම්භ කරනු ලැබුවේ 2015 වසරේදීය.
“අපේ ආයතනයෙන් කරන්නේ යකඩ, ඇලුමිනියම් අමුද්‍රව්‍ය යොදාගෙන ලොරි බොඩි වගේම, අනෙකුත් භාණ්ඩ නිර්මාණය සහ නිෂ්පාදනය. මුල් කාලෙදි නම් තාත්තා කරපුවා දුව කරන්නේ කොහොමද කියල ගොඩක් අය කතා කිව්වා. හැබැයි පස්සෙදි මගෙ නිර්මාණ දකිනකොට ඒ අයත් මට ලොකු සහයෝගයක් දුන්නා.”
තමන් මෙම ව්‍යාපාරය බිංදුවෙන් පටන් නොගත්තාට, අද වනවිට තිබූ තැනට වඩා දස ගුණයකින් ඉදිරියට ගෙනැවිත් ඇති බව ඇය කියන්නේ නිහතමානී ආඩම්බරයකිනි.
“අපේ රට එන්න එන්නම ජනගහණය වැඩිවෙන පුංචි රටක්. ඒක නිසා දවස ගානෙම ඉඩම් ඒකක ඉහළ යනවා. එතකොට හැමෝටම ඉඩම් මිලට, බද්දට අරන් ව්‍යාපාර කරන්න බෑ. අන්න ඒ නිසා අපේ රටට හරියන්නෙ ජංගම ව්‍යාපාරික රථ කියන මතයේ තමයි මං නිතරම හිටියේ. අපි අවුරුදු 4ක් විතර ඒ ගැන අධ්‍යනය කරලා ජංගම ව්‍යාපාරික රථ හදන්න පටන්ගත්තට පස්සෙ තමයි කොවිඩ්වලටත් ඒ විදිහ අනුගමනය කරන්න පටන් ගත්තෙ. මට මතකයි මම මේ ව්‍යාපාරයට අත තිබ්බට පස්සේ මුලින්ම නිර්මාණය කළේ ජංගම පීට්සා ටේලරයක්. ඇත්තම කිව්වොත් එදා මට දැනුණු සතුට කියලා නිම කරන්න බෑ.”
මේ වනවිට ඔවුන් ජංගම ව්‍යාපාර ක්ෂේත්‍රයට ගැළපෙන අයුරින් බොහෝ වාහන නිර්මාණය කර ඇත. එම නිර්මාණ අතරින්, ජංගම බැංකු රථ, ජංගම පීට්සා ට්‍රේලර්, හයිඩ්‍රොලික් තාක්ශණය මගින් උස දෙගුණ කළ හැකි ඇස්ට්‍රා මොබයිල් රෙස්ටූරන්ට් රථය සහ නානාවිධ ෆුඩ්ස් ට්‍රක් (ආපනශාලා) සුවිශේෂී තැනක් ගත් නිර්මාණය. තවද ඕනෑම ස්ථාවර නිර්මාණයක් හෝ නිවසක් ජංගම බවට පත්කිරීමේ නවීන තාක්ෂණයද ඔවුන් සතුව ඇත. එමෙන්ම ඕනෑම දේශීය ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරයට සරිලන ආකාරයෙන් රුපියල් ලක්ෂ දෙකේ සිට ඉහළට මෙම ජංගම ව්‍යාපාරික රථ ලබාගැනීමේ හැකියාවද ඇත.
“මේ වෙද්දි හුඟක් අය ලොරි බොඩි පිට රටවල්වලින් ගෙනැල්ලා විකුණනවා. ඒකේ වරදක් නැති වුණත් දේශීය කර්මාන්තකරුවාට ලොකු පහරක් වදිනවා. මේ කර්මාන්තයෙන් ඉස්සරහට යන්න නම් අපේ රටේ දේශීය කර්මාන්තකරුවාට ගැළපෙන දෙයක් කරන්න ඕනෙ.”
ඇය කියන්නීය..
“ටිකක් හිතන්නකො, සමහරු ලක්ෂ ගණන් අත්තිකාරම් මුදල් ගෙවලා ව්‍යාපාරික ස්ථාන බදු ගන්නවා. ඊටපස්සෙ බිස්නස් නැතුව අත්තිකාරම් මුදලත් කුලියට කපාගන්න දීලා ගෙදර යනවා. ඒත් ජංගම ව්‍යාපාරික රථයක් කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි. එකතැනක බිස්නස් නැත්තම් තව තැනකට අරන් යන්න පුළුවන්.”
සැබෑය. මෙම ක්‍රමය වැඩි වශයෙන් කරළියට ආවේ කොරෝනා උවදුරත් සමඟය. එමෙන්ම ගෝල්ෆේස් පිටිය, කිඹුලාවල හන්දියට යන එන ඕනෑම අයෙකුට ඒ පිළිබඳ ඕනෑතරම් උදාහරණද දැකිය හැක.
ඉෂාරා වෙන්චර්ස් පුද්ගලික සමාගම මේ වනවිට ඍජු සහ වක්‍ර සේවක සේවිකාවක් බොහෝදෙනෙකුට රැකියා අවස්ථා හිමිකර දී ඇත. දේශීය කර්මාන්තකරුවාට තව තවත් නව ව්‍යාපාර රථ හඳුන්වාදීමට කටයුතු කරන ඔවුන් වාර්ෂිකව ඉහළ ආදායම් වාර්ථාද තබන්නට සමත්ව ඇත.
“මම මේ ව්‍යාපාරය ඉහළට ගෙනාවේ ගොඩක් අමාරුවෙන් පියවරෙන් පියවර. මට කාන්තාවන්ට කියන්න තියෙන හොඳම දේ තමයි කවදාවත් තමන්ට තමන් සීමාවල් දාගන්න එපා කියන එක. මොකද අපේ සීමාව තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි, අපේ හිත ඇතුළෙමයි.”
ලිහිණි මධුෂිකා