විශේෂාංග

අපි අන්ධ වුණාට අපේ ආදරේ අන්ධ නෑ

දෑස නොපෙනුණත් මගේ

වැඩිය පාඩු නෑ

ඇඟිලි තුඩෙන් අත ගගා

ඉගෙනගන්නේ මා

 

ඇන්ටන් රොද්‍රිගෝ ගායනා කරන මෙකී ගීතයේ සිටින්නේ දෑස් නොපෙනුණත් ජීවිතය ජීවත් කරවන්නට වෙහෙසෙන දිරිය තරුණයෙකුගේ සංවේදී කතාවකි. දෑස් නොපෙනෙන තරුණයින් සිය අසරණකම හමුවේ මුළුගැන්වී මේ සමාජයේ කොතෙකුත් සිටියද ගීතයේ කියවෙන අන්දමේ දිරිය තරුණයින් නම් මුණහැහෙන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් අපේ නෙත ගැටුණු තරුණයෙකි ඉෂාර ලක්මාල් නුවන්සිරි. උපතින් දෑස් අන්ධ ඔහු ජීවිතය ජීවත් කරවන්නට බොහෝ කැපකිරීම් කළ සැබෑම දිරිය තරුණයෙකි.

උපතින්ම මගේ ඇස් දෙකම පේන්නේ නෑ. ඒක නිසා කවදාවත්ම මං ලෝකය දැකලා නෑ. හැබැයි මං මනසින් ලෝකය දකිනවා. ඒ ලෝකේ මට ලස්සනයි.

ඔහු ඉපදුණේ බුලත්සිංහල, මහගම, මොරගොඩුව නම් දුෂ්කර ගමේය. ගොවිතැනින් ජීවත් වූ එම පවුලට එදා ආර්ථික අතින් නම් සහනයක් තිබුණේම නැත. එහෙත් ඒ දෙන්නා දෙමහල්ලෝ පුළු පුළුවන් හැටියට ඉෂාරලා ජීවත් කිරීමට වෙහෙසුණේ වැලේ ගෙඩි වැලට බර නැති බව ඔප්පු කරමිනි. දරුවන් හයක් සිටි ඒ පවුලේ ඉෂාර බාලයාය. ඒ නිසාම පවුලේ ආදරය ඔහුට නොඅඩුව ලැබුණේය.

පුංචි කාලේ නම් අපේ අම්මලා මාව එක්කගෙන ඉස්පිරිතාල ගානේ ගිහින් තියෙනවා. ඒ මට පුංචි හරි පෙනීමක් ලබාගන්න පුළුවන්ද බලන්න. ඒත් එහෙම වාසනාවක් මට තිබිලා නෑ.

කුමක් හෝ අවාසනාවකට ඉෂාරගේ දෛවය ලියැවී තිබුණේ එහෙමය. ඒත් ඔහු හැම මොහොතකම බැලුවේ ඒ දෛවය වෙනස්කර ගන්නටය. ඊට ඇති වැදගත්ම සාධකය අධ්‍යාපනය බව තේරුම්ගන්නට ඉෂාරට වැඩිකලක් ගියේ නැත.

මං මුලින්ම ඉගෙනගත්තේ පොලේගොඩ ජාතික පාසලෙන්. ඒත් ඇස් පේන්නේ නැති නිසා 1991 අවුරුද්දේ රත්මලාන අන්ධ විද්‍යාලයට ගියා. සාමාන්‍ය පෙළ වෙනකල් ගියේ ඒකට. මට පුළුවන් වුණා සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වෙන්න.

නමුත් එතැනින් එහා අධ්‍යාපනය ලබන්නට එකල අන්ධ විද්‍යාලයේ පහසුකම් තිබුණේ නැත. ඒ නිසා ඉෂාරට සිදුවූයේ නැවත ගමේ පාසලට පැමිණ එහි උසස්පෙළ හැදෑරීමටය. එහිදී උසස් පෙළ විශිෂ්ඨ අයුරින් සමත්වෙන ඔහු 2007 වසරේ කොලඹ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවේය. එහිදී ඔහු සිංහල, ඉතිහාසය සහ ජන සන්නිවේදනය යන විෂයන් හැදෑරීය. එයින් සිව්වසරකට පසු ඔහු උපාධිදාරියෙකු ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටමං වුණේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය.

උපාධියක් තිබුණත් ඒ පමාවෙන්ම මට රැකියාවක් ලැබුණේ නෑ. ඒක නිසා අන්ධ විද්‍යාලයෙන් ලැබුණු වෘත්තිය දැනුමත් එක්ක මං අත්කම් කරන්න, හඳුන්කූරු හදන්න එහෙම පටන්ගත්තා. ඒ හදලා විකුණුවා.

එලෙසින් දෙතුන් වසරක් ගෙවී යද්දී ඉෂාරට අභ්‍යාසලාභී ගුරු පත්වීමක් ලැබුණි. 2013 වසරේ ඒ පත්වීම ලබාගෙන ඔහු ගියේ පොලේගොඩ මහා විද්‍යාලයටය.

ඉන්පසු ඔහුට මතක නොවෙන දවසක් උදාවන්නේ 2017 ජූලි 27 වෙනිදාය. ඒ ඉෂාර විවාහ වූ දිනයයි. දෑස් අන්ධ වුවද මොකක්දෝ පිනකට ඉෂාරට ප්‍රේමයේ වරම් අහිමිවූයේ නැත. ඒ ප්‍රේමයේ නාමයෙන් ඔහු විවාහ වූයේ මාවනැල්ල බැමිනියවත්ත ප්‍රදේශයේ පදිංචි රූමත් එහෙත් අන්ධ තරුණියක වූ චන්ද්‍රාංගනී එක්කය.

මගේ බිරිඳ චන්ද්‍රාංගනී සෙනවිරත්න. එයාව මට මුණගැහුවේ රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉන්නකොට. ඇයටත් ඇස් දෙකම පේන්නේ නෑ. හැබැයි පුංචි කාලේ එයාට ටිකක් පෙනිලා. ඒත් කාලයත් එක්ක ඒ පෙනීමත් නැතිවෙලා.

ඇයද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිදාරිනියකි. 2013 වසරේ මාවනැල්ල බැමිනියවත්තේ පාසලකට අභ්‍යාසලාභී ගුරු පත්වීමක් ලැබුණු ඇය ගැන ඉෂාරට ආදරයක් පහළව තිබුණේ දෙදෙනාම අන්ධ විද්‍යාලයේ සිටියදීමය.

මං මුලින්ම එයාගේ ආදරේ කළේ කටහඬට. ඒ කටහඬින් මං එයාව දැක්කා. ඊටපස්සේ මට එයාව හදවතට දැනුණා. ඉතින් මට එයා ගැන ආදරයක් ඇතිවුණා. එයා හරි ගුණයහපත් කෙනෙක්. අපි දෙන්නා දැන් හරි සතුටින් ඉන්නවා.

හොඳින්ම ඇස් දෙක පෙනෙන මිනිසුන් ප්‍රේමය ගැන කියන එක කතාවක් තිබේ. ඒ ප්‍රේමය අන්ධ බවය. දෑසම පෙනෙන මිනිසුන් එසේ කීවද දෑසම නොපෙනෙන ඉෂාරත් චන්ද්‍රාංගනිත් ඒ ප්‍රේමය තුළම පැහැදිලි ආලෝකයක් සොයාගෙන ඇත. එනිසාම විවාහ වී පස්වසක් ගියද තවමත් වයස අවුරුදු තිස්ගණන්වල පසුවෙන ඔවුන්ගේ ජීවිත මේ මොහොතේත් ගෙවීයන්නේ පුදුමාකාර සතුටකිනි.

අපි දෙන්නම දැන් පොලේගොඩ ජාතික පාසලේ ගුරුවරු. ළමයින්ට අපි බුද්ධ ධර්මය, ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ජන සන්නිවේදනය වගේ විෂයන් උගන්වනවා. අපි ඉන්නේ ඒ පාසලේම ගුරු නිවාසේ නැවතිලා. අපිට පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරු, ළමයි වගේම දෙමව්පියෝ ගොඩාක් උදව් උපකාර කරනවා. අපිට ඕන කාටවත් කරදරයක් නොවී අපේ පාඩුවේ ජීවත් වෙන්න.

මේ වනවිට දෙනෙත් නොපෙනෙන ඔහුත් ඇයත් දෙනෙත් පෙනෙන සුවහසක් දරු දැරියන්ගේ ජීවිතවලට හරි පාර පෙන්වන ගුරුවරුන්ය. දෑස නොපෙනුණත් අපේ වැඩිය පාඩු නෑ කියාගෙන දරු දැරියන්ට හරි පාර පෙන්වන මේ දෙපළ සැබෑවටම සමාජයට ආදර්ශමත් යුවළකි.

භාතිය වෙඩිවර්ධන