ඉංගිරිසියෙන් ගොඩ ගිය ‘ අලිබබා’
ජැක් ඉපදුනේ 1964 අවුරුද්දේ චීනයේ දකුණු නැගෙනහිර හැංග්ෂු පළාතේ ආර්ථික අතින් දුෂ්කරම පවුලක. ඒ නිසා ඉපදුනු දවසේ ඉඳන්ම මේ දරුවට විඳින්න වුනේ ඉතාම දුෂ්කර ජීවිතයක්. නාට්‍ය ශාලාවක පුංචි රැකියාවක් කරපු පියාගේ සොච්චම් පඩියෙන් තමයි පුංචි ජැක්ගේ පවුලේ අය බඩගින්න නිවාගත්තේ. ඒ දුෂ්කරතා නිසාමද කොහෙද පොඩි එකත් හැදුනේ ටිකක් වෙනස්ම විදිහකට.
පාසල් යන කාලේ එද්දි ජැක් තරම් දඟ ළමයෙක් මුළු පන්තියටම හිටියේ නෑ. මේ හිතුවක්කාරකම් නිසාම ගුරුවරුත් එයාව වැඩිය ගණන් ගත්තේ නෑ.පන්තියේ වුනත් හිටියේ පිටිපස්සට වෙන්න තිබුනු පේළියක. එහි ප්‍රතිඵලය වුනේ කිසිම විෂයකට මේ දරුවගේ උනන්දුවක් නැතිවීම. ඒ නිසා බොහෝම කෙටි කාලෙකින් පන්තියේ අදක්ෂතම ළමයි ගොඩට වැටෙන්න එයාට සිද්ධවුනා. ඔවුන් අතරිනුත් අදක්ෂම ළමයා වුනේ ජැක්.
පාසලේ වැඩවලට උනන්දු නොවුනත් පුංචි ජැක්ට ඉංග්‍රීසි භාෂාව ගැන මොකක්දෝ ආසාවක් ආවේ ඔය අතරේ. ඒ නිසා ඔහු හැමදේම අතෑරලා ඉංග්‍රීසි ඉගෙනගන්න පොඩි උත්සාහයක් ගත්තා.හැබැයි චීනය කියන්නේ ඔවුන්ට ආවේණික මව් භාෂාවක් තියෙන රටක්. ඒ තත්වය උඩ ජැක්ට ඉංග්‍රීසි ඉගෙනගන්න එක හිතන තරම් ලේසි වුණේ නෑ.ඔය කාලයේ තමයි ඇමෙරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සන් හැංග්ෂු ප්‍රදේශයේ සංචාරයක් සඳහා ආවේ. ඒ කාලේ ඒ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයත් දියුණු වෙන කාලයක්. ජැක්ට අලුත් අදහසක් ආවේ ඔය අතරේ. එයා උදෙන්ම බයිසිකලෙන් ගිහින් විදෙස් සංචාරකයින්ව තමන්ගේ බයිසිකලේ තියාගෙන එහා මෙහා එක්ක ගියා. ඔවුන්ටත් ඒක අලුත් අත්දැකීමක් වුනා.ඒ යන එන ගමන් ඔවුන්ගෙන් තමයි ජැක් පොඩි පොඩි ඉංග්‍රීසි වචන ඉගෙනගන්නේ. අවසානේ මේ කොල්ලට සාමාන්‍ය මට්ටමට ඉංග්‍රීසි ටිකක් පුලුවන් වෙනවා.
දැන් ජැක් කියන්නේ තරුණයෙක්.ඒ කියන්නේ පාසල් ගමන අවසන් කරන්නත් කාලේ හරි. හැබැයි ඔහු පාසල් ගමන අවසන් කරන්නේ ඉංග්‍රීසි විතරක් දන්න වෙන කිසිවක් නොදන්න අමුතුම පන්නයේ තරුණයෙක් විදිහටඒ වෙද්දී තමන් හරියට ඉගෙනගත්තේ නැති එක ගැන ඔහුට පසුතැවීමක් ඇතිවෙනවා. ඊටපස්සේ ඔහුට හිතෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අයදුම් කරන්න. ඒත් අවස්ථා දහයකදි ඒකට උත්සාහ කළත් ඔහුට නෙවෙයි අවස්ථාවක් ලැබෙන්නේ. අන්තිමේ ඔහු තීරණය කරනවා හැංග්ෂු පළාතේ සාමාන්‍ය මට්ටමේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. එහිදී ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය උපාධියක් ගන්නවා. ඊටපස්සේ ඔහුගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ රැකියාවක් හොයාගන්න එක.
ඒ අනුව ජැක් මුලින්ම KFC ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කරනවා. ඔහු සමඟ තවත් තරුණයෝ විසිතුනක් ඒ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙනවා. ඒත් ඒ හැමෝම රැකියාවට තෝරගනිද්දි ජැක්ට වෙන්නේ ආපහු හැරෙන්න. ඒ ඔහු ප්‍රතික්ෂේප වූ නිසා. එතැනින් පස්සේ ඔහු පොළිස් සේවයට ඉල්ලුම් කරනවා. එතැනදිත් සම්මුඛ පරීක්ෂණට එන තරුණයෝ පහක් අතරින් ජැක් විතරයි ප්‍රතික්ෂේප වෙන්නේ. ඔය විදිහට මේ තරුණයා හරියටම රැකියා තිහකට ඉල්ලුම් කරනවා. ඒත් ඒ සියලුම ස්ථානවලින් ජැක්ව එකහෙළාම ප්‍රතික්ෂේප වෙනවා. අන්තිමේ ඔහුගේ පිහිටට එන්නේ ඔහු එදා අමාරුවෙන් ඉගෙනගත්තු ඉංග්‍රීසි භාෂාව. ඒ අනුව අන්තිමේ අවම වැටුපකට තමන් උපාධිය ගත්ත හැංග්ෂු පළාතේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයේම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට ජැක් රැකියාවට යනවා.
ඔය අතරේ තමයි දින කීපයකට ජැක්ට ඇමෙරිකාවට යන්න ඉතා දුලබ අවස්ථාවක් ලැබෙන්නේ. එතැනදි ඔහු දකිනවා ඒ රටේ මිනිස්සු අන්තර්ජාලය කියලා එකක් හරි අපූරු වැඩවලට පාවිච්චි කරන හැටි. ඒ වෙලාවේ මේ තරුණයටත් හිතෙනවා චීනයෙත් අන්තර්ජාලය කියන එක තිබුනා නම් කොච්චර හොඳයිද කියලා. ඒක ඔලුවේ තියාගෙන ඔහු ඇමෙරිකාවේ ඉන්න දින කිහිපය තුළ අන්තර්ජාලය පිළිබඳ පුලුවන් තරම් දැනුමක් එකතු කරගන්නවා. දැන් ජැක්ගේ ඔලුවේ වැඩ කරන්නේ ඒක විතරයි. ඒ නිසාම චීනයට ආපු ගමන්ම ඔහු කරන්නේ මිතුරන් කීපදෙනෙක් ළඟට අඬගහහෙන අන්තර්ජාලය ගැන උජාරුවෙන් කියන එක. හැබැයි මිතුරන් නෙවෙයි ඔහුව තඹ සතේකට ගණන් ගන්නේ. ඒ වෙලාවේ ඔවුන් කියනවා ජැක්ට හොඳටම පිස්සු කියලා. එහෙම කියලා සමච්චලේට හිනාවෙනවා. ඒ වෙලාවේ ජැක් මිතුරන්ට මෙහෙම කියනවා.
“මෝඩයෙක් වෙනවට වඩා පිස්සෙක් වෙන එක හොඳයි.”
හැබැයි ගෙවෙන හැම තත්පරේදිම ජැක් අන්තර්ජාලයත් එක්ක චීනය පිලිබඳ දැවැන්ත අනාගතයක් දකිනවා. ඔහුට මොකක්දෝ හීනයක් තිබුනත් ඒක පටන් ගන්නේ කොතැනින්ද කියන එක ගැටලුවක් වෙනවා. මොකද ඒ වෙනකොටත් ජැක් ඉන්නේ ආර්ථික අතින් පහළම අඩියක. ඔය අතරේ වසර එක දෙක ගෙවිලා යනවා. ඒ 1999 අවුරුද්ද. එතකොට ජැක්ට වයස අවුරුදු විසිපහයි. ඒ කියන්නේ ඔහු දැන් තරුණයෙක්. ඉතින් විවාහයක් එහෙමත් කරගන්නවා. හැබැයි ඔලුවේ වැඩ කරන්නේ අන්තර්ජාලය කියන මාතෘකාව විතරයි. අන්තිමේ බිරිඳත් තවත් තරුණයෝ දහඅටකුත් එකතු කරගෙන ජැක් තමන්ගේ පුංචි නිවසේ කුඩාවට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන සමාගමක් පටන් ගන්නවා. ඒකට නම තියන්නේ “අලිබබා” (Alibaba) කියලා.
දැන් ජැක්ට වයස අවුරුදු පණස් හතක්. එදා පාසලේ හිටපු අදක්ෂම ශිෂ්‍යයා විදිහට ලේබල් වැදුනු ජැක්, මේ වෙනකොට චීනයේ සිටින දැවැන්තම ව්‍යාපාරිකයෙක්. ඒ විතරක් නෙවෙයි ලෝකයේ ධනපතියන් අතර ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙක්. ඔහු තමයි “ජැක් මා” (Jack Ma) කියන්නේ. ඒ නැත්නම් අපි හොඳින්ම දන්න කියන ලෝක ප්‍රසිද්ධ “අලිබබා” (Alibaba) සමාගමේ නිර්මාතෘවරයා. එදා කොච්චර දුෂ්කරතා වින්ඳත් අද ඔහු ජීවිතේ ඕනෑවටත් වඩා වැඩියෙන් විඳිනවා. ඉතින් ජැක් මා කොතැන ගියත් මතක් කරන එක දෙයක් තියෙනවා. ඒක ලස්සන කතාවක්. ඒ කතාව මෙන්න මෙහෙමයි.
“මං පුංචි කාලේ ඉඳන් දඩබ්බරයෙක්. ඒ නිසා මං කරපු කියපු දේවල්වලට කවුරුත් කැමති වුනේ නෑ. සමහරු මට පිස්සු කිව්වා. තව අය මං අසාර්ථක මිනිහෙක් කිව්වා. එහෙම කියලා මාව ප්‍රතික්ෂේප කළා. ඒත් මට අවශ්‍ය වුනේ කාටවත් අත දිගඇරලා අල්ලන්න බැරි තරම් දුරක් යන්න. මං හිතනවා අද මං ඒ දුර ඇවිත් කියලා. මට එක කණගාටුවක් තියෙනවා. අද තරුණයින්ට බලාපොරොත්තු නෑ. අරමුණක් නෑ. ඔවුන් නිතරම නැති දේවල් ගැන කිය කියා පස්සට යනවා. දුක්වෙනවා. මුලදි මමත් එහෙමයි. ඒත් පස්සේ මගේ අවස්ථාවන් මං හරියටම ගත්තා. අද දවස ගොඩාක් දුෂ්කර වෙන්න පුලුවන්. හෙට දවස ඊටත් වඩා දුෂ්කර වෙන්න පුලුවන්. ඒත් අනාගතයේ සුන්දර දවසක් උදාවෙයි. එතකල් බලාපොරොත්තු අතාරින්න එපා.”
රුවන් එස්.සෙනවිරත්න