Latest News

ජැකලීන්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවයි

ඉන්දියාවේ සිදු වූ විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවක් හේතුවෙන් ශ්‍රී ලාංකික සුරූපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ඇයට ඉන්දියාවෙන් පිටවීමද මේ වන විට තහනම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියකට සම්බන්ධව එරට බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සමබන්ධයෙන් විමර්ශන පැවැත්වෙනවා.

අදාළ මුදල්වලින් කොටසක් ජැකලීන්ගේ නමට තැන්පත් කර ඇති බවට විමර්ශකයින් සැකපළ කරනවා.

මේ අතර 36 හැවිරිදි ජැකලීන් විවාහකයකු වන සුකේෂ් චන්ද්‍රශේකර් සමග ප්‍රේම සබඳතාවක් ද පවත්වා ඇති බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම චන්ද්‍රශේකර් විසින් ඇයට ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු ඇතුළු මිල අධික ත්‍යාග හා ඩොලර් ලක්ෂ 1.5ක ණය මුදලක් ලබාදී ඇති බව, ජැකලීන් විමර්ශකයින් හමුවේ ප්‍රකාශ කළ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සඳහන් කර ඇත්තේ, සුකේෂ් නමගිය අපරාධකරුවෙකු බව තමා කිසිසේත් නොසිතු බවයි.

ඔහු ඉන්දීය රජයේ ප්‍රබල දේශපාලනික හිතවත්කම් මවා පාමින් තමන්ට සමීප වූ බවත් ශේඛර් රත්නවේලා යනු ඉන්දියාවේ ප්‍රබල අපරාධකාරයෙකු වන සුකේෂ් චන්ද්‍රශේකර් බවත් තමා දැන ගත්තේ සියල්ල සිදුවීමෙන් අනතුරුව බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

සුකේෂ් චන්ද්‍රශේකර් මේ වන විට ඉන්දීය පොලිස් භාරයේ පසුවන අතර වංචා කළ මුදල් කෝටි ගණනක් ජැකලීන් සඳහා වියදම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.