රූපලවන්‍ය

කොස්සැට මීයෙක් වගේ ඉන්න, කොස් ඇට කන්න!

ඉස්සර ගමේ ගොඩේ හැම ගෙදරකම වගේ තිබුණේ මැටි කුස්සි. ඔය හැම කුස්සියකම කෑම අහේනි කාලෙට කන්න ඕනා කරන අඩුම කුඩුම ස්ටොක් කරලා තිබුණාලු. ඉස්සර ගෙවල්වල නොවැරදී තිබුණු තව දෙයක් තමයි වැලි කොස්සැට මුල්ල. කොස් වාරෙට අහක දාන කොස්සැට ටික අහක් කරගෙන එව්වා වැලි ගොඩක හංගලා කල්තියාගන්න ඒ කාලේ අපේ ආත්තම්මලා හරි හපන්නු. ඉස්සර දැන් වාගේ හප හපා ඉන්න අටෝරාශියක්  ස්නැක්ස් ජාති තිබිලා නෑනෙ. ඒ නිසා ගෙවල්වල ඉන්න පොඩි එවුන්ට කම්මැලිකමට කන්න කොයි ලිප්බොක්කෙත් නිතරම කොස්සැට පිච්චෙනවලු.

 

‘වැස්සට පින්නකට නොතමා මනාකොට

යට කර තබා කොස්සැට නැති අවාරෙට

නිස්සට පොල් ගා තම්බා දවාලට

කොස්ඇට වැනි රසක් කෝ කොයි හැබෑවට’

 

ඔය ගැමි කවියෙන් කියැවෙන්නේ ඒ කියාපු කොස්සැට ගැන. 

හැබැයි ඉතින් කොස්සැට කිපාපුවාම තවත් කතාවක් මතක් වෙනවා. ඒ තමයි  බළල්ලු. ඕන් එක පාරක් රිලා රාළහාමි කෙනෙක් හොරාට ගමේ මහමුලාදැනිතුමාගේ ගෙදර කුස්සියට රිංගුවලු. මුලාදැනියාගේ කුස්සිය වුණාට මොකෝ ඒ කුස්සිය පැත්ත පළාතේ නෙමේලු කන්ට දෙයක් තිබ්බේ. ටිකක් විපරම් කරද්දියි ලිප්බොක්කේ පිච්චි පිච්චි තිබිච්චි කොස්සැට ටික දැක්කේ. හැබැයි ඉතින් ලිප්බොක්ක රස්නේ නිසා උන්දැට කොස්සැට ටික එළියට ගන්න විදියක් තිබුණෙ නැතිලු. එහෙමයි කියලා බඩගින්නේ ඉන්නයෑ. උපක්‍රමයක් කල්පනා කර කර ඉන්දැද්දි තමයි ඌ ලිප්බොක්ක ගාව රස්නෙට ගුලිවෙලා උන්නු මුලාදැනියාගේ බළල් නාම්බව දැක්කේ. පස්සේ බළලා ළඟට හෙමින් හෙමින් කිට්ටු කරාපු රිලවා බළලාගේ අත අරගෙන ලිපට දාලා කොස්සැට ටිකක් එළියට ගත්තලු. ඕන් ඒ පාර අත පුච්චෝ ගත්තු බළලා පණ එපෝ කියලා පස්ස නොබලා දිව්වලු. ‘බළල්ලු ලවා කොස්සැට බාවනවා’ කියන කතාව හැදුනේ ඕන් ඔහොමයි. තමන්ට කරන්න අමාරු වැඩක් වෙන කෙනෙක්ට කියලා කරගන්නවටයි ඔය ප්‍රස්ථාව පිරුළ උදාහරණෙට ගන්නේ.

කොස්සැට නම් ඉතින් බළල්ලු ලවා බාවගෙන කෑවත් පාඩු නෑ. කතාවට කැස්සට කොස්සැට, උණට කුරුම්බා, වාතෙට වම්බටු, ඇම්මට මුංඇට කීවාට ඔය කියාපු හැම ලෙඩේටම කොස්සැට ගුණයි. ඒ විතරකෑ සම තද කරන්නයි කෙස් හයිය කරන්නයිත් මේ ඇට ජාතියට පුළුවන්. යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද කියන්නැහේ රූපලාවණ්‍ය අඩුම කුඩුම ගිනි ගණන් කාලේ වැඩි වියදමක් නැතිව ලස්සන වෙන්න පුළුවන් කොස්සැට ගැන නොකියා කවදා මෙව්වා කියන්නද.

පහුගිය කාලේ ක්‍රිකට් උන්මාදෙන් කට්ටිය ඉන්දියාවට බැන්නට මොකද ඉන්දියාව කියන්නේ අපිට අටෝරාශියක් දේවල් තිළිණ කරාපු රටක්. බත් ගහ නැත්තම් කොස් ගහේ නිජබිමත් ඉන්දියාව. අශෝක රජතුමා කොසුයි කොස්සැටයි කන්න රුසියලු. ඉතින් උන්නාසෙගේ රාජකීය උද්‍යානවල ප්‍රධානම බවභෝගේ වුණා කියන්නේ කොස්. 

කොස්සැටවල වැඩිපුරම තියෙන්නේ ප්‍රෝටීන්. ඉතින් කොස්සැට මීයෙක් වගේ ඇඟ පුංචිවට හැඩට තියාගන්න කැමති අය වැඩිපුර කන්න ඕන ජාතියක් තමයි කොස්සැට. ඊට අමතරව විටමින් B1, B6, A කියන සම වඩන පෝෂක මෙව්වයේ තියෙනවා. වැදගත්ම දේ කොස්ඇටවල තියෙන පොලිෆිනොන් (Polyphenol), රයිබොෆ්ලේවින් (Riboflavin) සහ තයමින් (Thiamine) කියන ප්‍රතිඔක්සිකාරක. මෙව්වට පුළුවන් කොලැජන් නිෂ්පාදනය වැඩි කරලා සමේ තද බව වැඩි කරන්න. සම තද වුණාම එල්ලාවැටීම නතර වෙනවා කියන එක ආයේ අමුතුවට කියන්න ඕනා නෑනේ. ඒ වගේම තමයි මේ සංඝටකවලට කෙස්කළඹ පෝෂණේ කරන්නත් පුළුවන්. 

ඉතින් සමයි, කොණ්ඩේ ගැනයි හිතනවා නම් මල්ටි නැෂනල් කොම්පැනිවලින් ගෙන්වන මල්ටි විටමින්වලට නිස්සාරණේ වියදම් නොකර නිතරම කොස්සැට කන්න. ඊට අමතරව කොස්සැට සත්කාර සමේ ගාලා බලන්න. ඔයාලා නොදන්නවට කොස්සැට ෆේෂල් ඉන්දියාවේ ගෑනු අතරේ විතරක් නෙමේ ඒරොප්පේ සුදු නෝනලා අතරෙත් ප්‍රසිද්ධයි.

මුලින්ම කොස්සැට පහක් විතර ගන්න. මේක කැබලිතිවලට කපලා අව්වට දාලා බ්ලෙන්ඩරේ දාලා පිටි කරගන්න. දැන් කොස්සැට පිටිවලට නැවුම් කිරි ඩිංගිත්තකුයි මී පැණි හැන්දකුයි එකතු කරලා මිශ්‍ර කරලා පැක් එකක් වගේ මූණේ අලේප කරන්න. විනාඩි 20ක් තියලා සෝදලා අරින්න.

කොස්ඇට පිටිවලට රෝස වතුර, යෝගට්, කස්තුරි කහ කලවම් කරලා මූණේ ගාන්න.

කොස්ඇට පිටිවලට කෝමාරිකා යුෂයි, කඩල පිටියි එකතු කරලා ගාන්න. කොස්ඇට පිටි, මී කිරි හරි යෝගට් හරි ඩිංගිත්තකින් අනලා ගත්තත් කාරි නෑ.

ඊගාවට අමු කොස්ඇට කෑලිවලට කපලා බ්ලෙන්ඩ් කරගන්න. ඒකට කඩල පිටි, බිත්තර කහමද එකතු කරලා හෙයා මාස්ක් එකක් හදාගන්න. මේ සත්කාරය හිසේ සමේ ආලේප කරලා පැය බාගයක් හිස් ආවරණය කරගෙන ඉඳලා නාන්න.

අමු කොස්සැට පල්පෙට මී පැණි, කඩල පිටි එකතු කරලා මූණේ ගාන්න.

කොස් ඇට කිහිපයක් තම්බගන්න. මේකට නැවුම් කිරි, මී පැණි, කස්තුරි කහ එක්කාසු කරලා ආලේප කරන්න.

කොස්සැටයි අලගෙඩියකුයි අරගෙන හොඳවැයින් තම්බලා පොඩි කරලා මී පැණි හරි නැවුම් කිරි හරි දාලා මිශ්‍ර කරලා මූණේ ගාන්න.