ගුවන්යානය නිපදවපු රයිට් සහෝදරයන්ටත් අකුරු ලියන්න බෑ!
‘‘ළමයි… අසා ලිවීමට පොත් ගන්න…’’
පන්තිභාර ගුරුතුමිය හඬනඟා එසේ කියන්නටත් පෙරාතුව දරුවන් පොත් ගෙන ලියන්නට සූදානම් වී හමාරය. මොහොතකින් ඇය වචනයෙන් වචනය උච්චාරණය කරද්දී දරුවෝ එය අසා සිට එය ලියන්නට වූහ. පැය බාගයක් පමණ ගතවෙද්දී ගුරුතුමිය පාඩම කියවා අවසන් විය. ඉන්පසුව දරුවන්ගේ අසාලිවීම බැලීමට ඇය එක්වරකට එක් දරුවෙකු බැඟින් ගුරු මේසය අසළට ගෙන්වා ගත්තේ කොරෝනා තර්ජනය හමුවේ සෞඛ්‍ය නීති පිළිපැදීමේ අවශ්‍යතාවය නිසාය.
‘‘කෝ නදුන්ගේ පොත ගේන්න.’’
ගුරුතුමිය එලෙසින් කීපවරක්ම නදුන්ට කතා කළද ඔහුගෙන් ප්‍රතිචාරයක් නැති තැන ඇයට තරහ ගියාය. එහෙත් තරහව පාලනය කරගෙන නදුන් අසළට ගොස් පොත බලද්දී පිටුව හිස්ය. තවදුරටත් තරහා පාලනය කරගත නොහැකි වූ ගුරුතුමිය වේවැලෙන් දරුවාගේ අතට ගැසුවේ පහර කීපයකි. අනතුරුව ඇය පැවසුවේ හෙට පාසල් පැමිණෙන විට මව හෝ පියා සමඟ පැමිණෙන ලෙසයි.
දරුවාට පහර කීපයක් ගැසුවද ගුරුතුමියගේ හිතට හරි නැත. ඒ නිසාම ඇය තම මිතුරියක් වූ ජයමලී රූපසිංහ ජයසිංහට දුරකතන ඇමතුමක් ලබාදුන්නාය. ඇය කථන භාෂා චිකිත්සකවරියකි. සිදුවී ඇති දේ තේරුම්ගත් චිකිත්සකවරිය නදුන් ගැන කතාබහ කිරීමට එදිනම තමා හමුවන ලෙස පැවසුවාය. ඒ අනුව පාසල නිමවී ගුරුවරිය කෙළින්ම ගියේ චිකිත්සකවරියගේ නිවසටය.
‘‘වෛද්‍ය විද්‍යාව තුළ මේ තත්ත්වය හඳුන්වන්නේ Dyslexia කියලා. ඒ කියන්නේ දරුවට කොච්චර අකුරු ලියන්න ඉගැන්නුවත් අකුරු ලියන්න බෑ. අද සමාජයේ එහෙම දරුවෝ සෑහෙන්න ඉන්නවා.’’
සියලු දරුවන් උපදින්නේ එකම අච්චුවෙන් වුවද එසේ උපදින සෑම දරුවෙක්ම එකිනෙකාට සමාන නැත. පාසල් පන්ති කාමරයේ Dyslexia රෝගයෙන් අසරණ වූ දරුවෙක් සිටියි නම් ඒ ඊට හොඳම උදාහරණයයි.
‘‘මේ රෝගයට හේතුවක් හොයාගෙන නෑ. නමුත් ගොඩාක් දුරට ජානමය හේතු නිසා Dyslexia ඇතිවෙන්න පුළුවන් බව විශ්වාස කරනවා. අනිත් කාරණාව තමයි මේ රෝගය ඇතිවෙන්නේ උපතින්ම. හැබැයි කාලයක් යනකොට තමයි මෙහෙම රෝගයක් තියෙනවා කියලා තේරෙන්නේ.’’
ලිවීමට ඇති නොහැකියාව හැරුණුවිට මේ රෝගය ඇති දරුවන්ට වෙනත් කිසිඳු අඩුපාඩුවක් නැත. බොහෝවිට ඔවුන් ඉගෙනීම අතින් නිරෝගී දරුවන්ටත් වඩා සිටින්නේ ඉදිරියෙනි. එසේම ඔවුන්ගේ බුද්ධි මට්ටමද ඉහළය. ඒ නිසාම ලෝ ප්‍රකට චරිත පවා එදා මෙම රෝගයෙන් පීඩා විඳි බව චිකිත්සකවරිය පවසන්නීය.
‘‘මේ රෝගය නිසා අකුරු ලියන්න බැරිවුණාට ඒ දරුවන්ට හොඳට කියවන්න පුළුවන්. වෙන ලෙඩ කිසිම එකක් නෑ. ගුවන්යානය හොයාගත්තු රයිට් සහෝදරයින්ට පවා මේ රෝගය තිබුණා.’’
මෙම රෝගය ඇති දරුවන් බාහිර පෙනුමෙන් හඳුනාගත නොහැකිය. ඊට දරුවන් කෙරෙහි සියුම් අධ්‍යනයක නිරතවිය යුතුය. ඇතැම් දරුවන් අකුරු නොලියන්නේ කපටිකමට වුවද සෑම දරුවෙක් දෙසම ඒ කෝණයෙන් බැලීම සුදුසු නැත. එයින් අසරණ වෙන්නේ Dyslexia රෝගය ඇති දරුවන්ය.
‘‘කිසිම වෙලාවක මේ ලෙඩේ පිටින් අදුරගන්න බෑ. ගොඩාක් ඉස්කෝලවල වැඩ බැරි ළමයි කියලා පිරිසක් වෙන්කරලා තියෙනවා. ඒ ළමයි ගොඩක් වෙලාවට ඉන්නේ පන්තියේ පිටිපස්සේම පේළියේ. එහෙම කරන්න එපා. මොකද ඒ දරුවෝ Dyslexia තියෙන අය වෙන්න පුළුවන්. අනික තමයි කම්මැලිකමයි ලියන්න බැරිකමයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. අපේ අම්මලා ගුරුවරු දරුවෝ හරියට අකුරු නොලිව්වොත් ඒ කම්මැලිකම කියලා බණිනවා. ගහනවා. අව්වේ තියනවා. ඒත් ඇත්තටම ඒ දරුවට තියෙන්නෙ ලියන්න බැරිකම වෙන්නත් පුළුවන්.’’
දරුවෙකු වැඩිවියට පත්වීමට පළමුව මෙම රෝගය හඳුනාගත හැකි නම් අගනේය. එසේ නොවන්නට දරුවාගේ අනාගතය පැහැදිලිවම අඳුරට යා හැකිය. ඊට හේතුව ජීවිතය වෙනස් කළ හැකි විභාගයක්වත් ඒ දරුවන්ට ලිවීමට නොහැකිවීමයි. ඒ නිසා දෙමාපියන් ලෙස තම දරුවාත් මේ රෝගයෙන් පීඩාවිඳින බවට සැකයක් පැමිණියහොත් කළයුතු වන්නේ කල් නොයවාම දරුවා කථන භාෂා චිකිත්සකවරයෙකුට යොමු කිරීමයි. එතැන් සිට සිදුවෙන ක්‍රියාවලිය චිකිත්සකවරිය විස්තර කළේ මෙසේය.
‘‘අපි දරුවන්ට කියවන්න දෙනවා. ලියන්න කියලා එයා කරන දේ අධ්‍යයනය කරනවා. පැන්සල අල්ලන විදිහ පවා බලනවා. ඊටපස්සේ හැමදේම නිරීක්ෂණය කරලා චිකිත්සාවන් පටන් ගන්නවා. ඒකට අපි යොදාගන්නේ ලොකුවට තියෙන අකුරු බෝඩ්, සෙල්ලම් බඩු, පින්තූර වගේ දේවල්. ගොඩාක් අයව ඒ හරහා අකුරු ලියන්න පුළුවන් මට්ටමට අපි ගේනවා. ඒ බැරිවුණොත් අකුරු අඳුරගන්න පුළුවන් වෙන තැනට හරි දරුවව ගන්නවා.’’
Dyslexia දරුවන් නිතර නිතරම දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තිබේ. ඒ ඔවුන්ව ඇගයීමයි. එසේම සමාජයෙන්ද ඔහු බලාපොරොත්තු වෙන්නේ එයයි. එම දරුවන්ට ලිවීමට බැරිවුවද කොන් කිරීම නොකළ යුතුය. මන්ද තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති පුද්ගලයාය.
‘‘කථන භාෂා චිකිත්සාවන් හරහා මේ රෝගය සුව කරන්න පුළුවන්. ඒත් 100%ක්ම කියන්න බෑ. නමුත් තියෙන තත්ත්වයෙන් ඉහළට දරුවා ගන්න පුළුවන්. හැබැයි ඒ මට්ටමට දරුවා ගන්නත් අපට දරුවගේ දෙමව්පියෝ ගුරුවරු සහ මිතුරන් සහාය වෙන්න ඕනේ. ඔවුන් දරුවා අගයන්න ඕනේ. උනන්දු කරවන්න ඕනේ. ලියන්න ආසාවක් ඇතිකරවන්න ඕනේ. අපේ කොටස අපි මෙහෙන් කරනවා.’’
යම්කිසි දරුවෙකුගේ අනාගතයට අයහපත් අන්දමින් බලපාන මෙවැනි රෝග පිළිබඳව දැනුවත් වී තිබීම වටින්නේය. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ දරුවා පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතුය. ගුරුවරුන්ද සියලුම දරුවන් ගැන වෙන වෙනම අධ්‍යයනයක නිරතවිය යුතුය. එසේ නොවන්නට සිදුවන්නේ ඔබ අප නොදැනුවත්වම සමාජයේ Dyslexia රෝගී දරුවන් බිහිවීමයි.
ජයමලී රූපසිංහ ජයසිංහ
(BSc.Sp.Sw.DPsy.c)
ජ්‍යේෂ්ඨ කථන භාෂා චිකිත්සක
SLMC Reg No:06
රුවන් එස්.සෙනවිරත්න