මගේ අත් දෙකෙන් මුලින්ම පණ දුන්නේ ගණ දෙවියන්ට
තම දෙඇසත් හදවතත් කැටයම් කලාවට තදින් බැඳෙද්දී, ජීවනීට වයස අවුරුදු දොළහක් වාගේය. පාසල නිමවී ගෙදර දුවගෙන එද්දී තමා දෙස බලා සිනාසෙන වෙස්මුහුණු ඇයට පෙනුණේ ජීවයෙන් පිරුණු අපූරු නිර්මාණ ලෙසිනි. ඇය ගේ පුරා දණගාන වියේ සිටම දුටුවේද අම්මාත් තාත්තාත් කරන එවන් නිර්මාණය.
“මට තේරෙන වයස වෙද්දී, ගේ පුරා තිබුණ ලී කැටයම් මගේ හිතට ලොකු සතුටක් ගෙනාවා. ඒ රූප දවසින් දවස හැඩවෙන හැටි දැක්කා. ඉතින් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර දුවන්නේ අම්මටයි, තාත්තටයි උදව් කරන්න බලාගෙන. එහෙම නියනයි අතකොලුවයි අතට ගත්තු මම දැන් වසර විසිපහක් මගේ ජීවන වෘත්තිය හැටියට කැටයම් කලාව සමඟින් ඔට්ටු වෙනවා.”
ඒ ජීවනී දසිකා රණසිංහගේ හඬය. ඇය පදිංචි මහනුවර කටුගස්තොට, රනවන ගම්මානයේයි. මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය, උසස් පෙළින් අනතුරුව කැටයම් කලාව වෙනුවෙන් වැඩිපුර කාලය යොදවන්නට සිතුවාය.
“මම මුලින්ම හැදුවේ ගණදෙවි පිළිමයක්. අම්මා ගණදෙවි කැටයමක් නිර්මාණය කරනවා බලා ඉඳලයි මගේ හිතට ඒ අදහස ආවේ. ඒ විදියට බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා රැසක් මගේ අතින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කටයුතු කරද්දි ඒ වෙනුවෙන් පේ වෙලා කරන්න ඕන වතාවන් ටිකක් තියෙනවා. බාරහාර තියෙනවා. ඉතින් මට අද වගේ මතකයි අම්මා තාත්තා මට ඒ ඕන කරන උපදෙස් ටික දුන්නා. ඒ විදියට පේ වෙලා බාරහාර වෙලා තමයි පිළිමයක් නෙළද්දි කටයුතු කරන්නේ. බොහෝ අවස්ථාවල අපි දළදා මාලිගාවට තමයි බාර වෙන්නේ. ඔය විදියට මං අතින් බුදු පිළිම, දේවරූප, සත්වරූප, වෙස්මුහුණු, ආරච්චි මුහුණු වගේම බිත්ති සැරසිලි ආදී නිර්මාණ සිය ගණනක් නිමවෙලා තියෙනවා.”
ජීවනීගේ කැටයම් වැඩපොළ ඇත්තේද ඇගේ ගෙදරමය. ලැබෙන ඇණවුම අනුව නිර්මාණකරණයේ යෙදෙන ඇය අතින් නිමවෙන්නේ ඉතා සියුම් කැටයම් බැවින්, ඊට ගතවන කාලය විටෙක වැඩිය. එහෙත් කැටයමේ සියුම් රේඛා මත හැඩතල මවන්නට ඈ සිය උපන් හපන්කම මුසු කරන්නේ බොහෝ කැපවීමෙනි.
“අපි නිර්මාණයක් කරද්දී ලීයේ හැඩය ගැන හිතන්න ඕන. බිත්ති සැරසිල්ලක් කරනවානම් ඊට ගැළපෙන ලෑල්ලක් තෝරගන්න ඕන. පිළිමයක් කැටයම් කරද්දි ගන්න ලී වර්ගය ගැනත් හිතන්න වෙනවා. කොලොං, පලු, මාහෝගනී වගේ ශක්තිමත් වටිනා ලී වර්ගයක් තමයි භාවිතා කරන්න ඕන. ලී කැටයමක් කරද්දී නියන් වර්ග කිහිපයක් භාවිතා කරනවා. තවත් උපකරණ වගේම තීන්ත ගල්වන්න ඕන කරන උපකරණ තියෙනවා. මේ සියල්ල එක්ක දැකුම්කළු නිර්මාණයක් කරන්න තමයි මම සැමවිටම උත්සාහ කරන්නේ. ඒ වගේම මගේ අතින් නිමවෙන බුද්ධ ප්රතිමාවලට වගේම දේව ප්රතිමාවලට වැඩි ඉල්ලුමක් තියෙනවා.”
ජීවනීලාට ලී කැටයම් කලාව තුළ දිගු ඉතිහාසයක් නැතත්, ඇගේ මව කැටයම් කලාව හොඳින් ප්‍රගුණ කළ තැනැත්තියකි. තාත්තා කැටයම් කලාව ඉගෙනගෙන ඇත්තේ මව හා විවාහ වූ පසුය. ජීවනීගේ සැමියාත් කැටයම් කලාව ඉගෙනගත්තේ ඇය හා විවාහවීමෙන් පසුය. ඔහු රැකියාවක නියැලුණත්, ඉඩ ලැබෙන සෑම මොහොතකම ජීවනීට ශක්තියක් වන්නේ, පවුලේ ආර්ථිකයට මෙම මහඟු කලාවෙන් ලැබෙන පිටුවහල බෙහෙවින්ම වටිනා නිසාය.
ජීවනීගේ සහෝදර සහෝදරියන් ගනිද්දීද ඇයගේ පවුලේ ජනාධිපති සම්මානලාභී කැටයම් ශිල්පිනියක වීමද විශේෂයකි.
“මගේ තුන්වැනි අක්කා 1989 කැටයම් කලාවෙන් ජනාධිපති සම්මාන ලැබූ ශිල්පිනියක්. මගේ ලොකු අක්කත්, මල්ලිත් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ කැටයම් අංශයේ ශිල්පීන්. ඒ වගේම මගේ මවත් කාලයක් උඩරට කලා සංගමයේ ප්‍රදර්ශන ශිල්පිනියක හැටියට කටයුතු කළා. එහිදී පැවරෙන රාජකාරිය වෙන්නේ සංචාරකයින් පැමිණිවිට ඔවුන්ට දැකගන්න අලියෙක්, වෙස්මූණක් වැනි නිර්මාණයක් කරන එකයි. එමගින් කැටයම් කලාවට සංචාරක ආකර්ෂණය දිනාගැනීම අරමුණ වෙනවා.”
එසේ දේශීය කැටයම් කලාව නැංවීම උදෙසා කැපවූ ශිල්ප ශිල්පිනියන් කර්මාන්තය උදෙසා කරන්නේ වටිනා මෙහෙවරකි. මව ඉන් විශ්‍රාම ගිය පසු උඩරට කලා සංගමයේ ප්‍රදර්ශන ශිල්පිනිය ලෙස කටයුතු කරන්නේ ජීවනීය. සතියට දින තුනක් ඇය ඊට සහභාගී වන අතර, ඒ තමා ආදරය කරන කැටයම් කලාවේ උන්නතිය උදෙසා මිස ආර්ථික ලාභයක් වෙනුවෙන් නොවේ.
“ඇත්තටම කොරෝනා එක්ක අපේ අලෙවියේ පහතවැටීමක් සිද්ධ වුණා. දැන් නැවත සංචාරකයින් රටට පැමිණෙමින් තියෙන කාලේ. ඒත් අපේ වෙළඳපොළ තවම සතුටුදායක මට්ටමකට ඇවිත් නැහැ. හොඳ වෙළඳපොළක් හදාගන්න, වගකිවයුතු අංශ වෙතින් සහයෝගයක් ලැබෙනවානම් දේශීය කැටයම් කලාවට එය විශාල අස්වැසිල්ලක් වෙනවා. මෙය ඇත්තටම දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. ඒ වගේම මූලික ප්‍රාග්ධනයක් තියෙන කෙනෙකුට හිත නිදහසේ කරගෙන යන්න පුළුවන් වටිනා කර්මාන්තයක්.”
එය කර්මාන්තයක් වාගේම අගනා කලාවකි. ඒ කලාව ඉදිරියට රැකගන්නට, ඇගෙන් පසුව ඉන්නේ ඇගේ පුතනුවන් දෙදෙනාත්, දියණියත්ය. ඉන්ද ඇගේ වැඩිමහල් පුතු ඊට වැඩි කැමැත්තක් දක්වන බවද කීවාය. දියණියත්, නවය වසරේ ඉගෙනුම ලබන පොඩි පුතුත් ඉඩ ලැබෙන අයුරින් ඊට උදව් දෙන බවද ඇය කීවාය.
“ඇත්තටම අපේම කියන තැනක නෙවෙයි දැනට මේ කටයුත්ත අපි කරගෙන යන්නේ. දැනට අපි ඉඩමක් අරගෙන තියෙනවා. මේ තැනට අපේ ජීවිත ගොඩනගාගන්න මේ කලාව ආලෝකයක් වුණා.”
ජීවනී කියන්නේ බාධක එන තරමට, ජීවිතය සවිමත් වනු ඇති බවයි. අද වනවිට වෙළඳපොළේ අමුද්‍රව්‍ය මිල ගණන්ද වැඩි හෙයින් නිර්මාණයක මිල ගණන් කියන්නට වෙන්නේ ඒ පිරිවැයද එක්කොටය.
“හැබැයි අමාරුවෙන් වුණත් සාධාරණ මිලකට අපේ නිර්මාණ අලෙවි කරන්න කටයුතු කරන නිසාම අපේ නිෂ්පාදනවලට ඉල්ලුමක් තියෙනවා. පුංචි කාලේ නියනයි, අතකොලුවයි අතට ගත්තු මම මේ කලාව කැපවීමෙන් කරන කෙනෙකුට ඒ ගැන කියලා දෙන්නත් කැමතියි.”
ජීවනී කියන්නේ බලාපොරොත්තුවෙනි. ඕනෑම දෙයක්, කැමැත්තෙන් කැපවීමෙන් කරනාවිට වරදින්නේ නැත. පරදින්නේද නැත. ජීවනී කැටයම් කලාවට ජීවය දෙන්නේ එවන් සුබවාදී හිතක් ඇතිවය.
දීපා වසන්ති එදිරිසිංහ