Latest News

රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට අලුත් තහනමක්…

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වූ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක් වූ බවට තොරතුරු වාර්තා වී තිබෙන බවයි.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඕමාන් සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ රැකියා සඳහා යොමු වූ පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඔවුන් සංචාරක වීසා මත විදෙස්ගතව රැකියා නොමැතිව අතරමන්ව ඇති බවට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් තොරතුරු වාර්තා වී ඇති තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ වගකීම භාරගැනීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත්වී නොමැති බැවින් ඔවුන් විවිධ හැරිහැරයන්ට ලක්වන බව තානාපති කාර්යාලය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ද ගැටලුකාරි තත්ත්වයත් මතුව ඇති බැවින් සංචාරක වීසා මගින් නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම තහනම් කරන ලෙස ද කම්කරු අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙනවා.

මේ අතර, ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් හා ආයතන 570ක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත මේ වන විට පැමිණිලි ලැබී තිබෙනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එවැනි පැමිණිලි 182ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එසේ වංචනික ලෙස අයකරගනු ලැබූ රු.28,383,000.00 ක මුදලක් පැමිණිලිකරුවන් වෙත ලබාදීමට කාර්යාංශය පියවර ගෙන ඇති බවයි.

විදේශ රැකියා වංචනික සිදුවීම් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත කරන ලද පැමිණිලිවලට අදාළව වැටලීම් 17ක් සිදුකර ඇති අතර, සැකකරුවන් 43දෙනෙකු අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ද කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම මේ වසරේ ගත වූ කාලය තුළ නීතිවිරෝධි ලෙස රැකියා සඳහා විදෙස් ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් යළි හරවා එවීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර සංචාරක වීසා උපයෝගි කර ගනිමින් මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ විදෙස් ගතවිමට උත්සහ කළ පිරිසක් මෙලෙස හරවා එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටියා.