ඔයාගේ මූණේ තියෙන කුරුලෑ ඔක්කොටම වඩා මම ඔයාට ආදරෙයි
ඔහුගේ වයසේ වෙනත් තරුණයන් හා බැලූ කල ජෝන්ට තිබුණේ කැහැටු ශරීරයක්. ඒ නිසා ලැජ්ජාවකට වැඩි දෙයක් ඔහුට තමා පිළිබඳව දැනී තිබුණේ නැත. ඔහු නිතරම ඔහුගේ පෙනුම මිතුරන් සමඟ සංසන්දනය කළේය. නමුත් ඒ හැම මොහොතකම ඉතුරුවුණේ රිදෙන්නට හේතුවක් පමණි. ඒ තමාට වඩා පස් හය ගුණයකින් පිරිපුන් සිරුරු ඔවුන්ට තිබීම නිසාය. කෙසේ හෝ ජෝන් වැඩිපුරම දුක් වුණේ තමා කැහැටු කොල්ලෙක් වූ එකටත් වඩා වෙනත් කරුණක් සම්බන්ධවය. ඒ තමාට මානසික වදදෙමින් මුහුණට වී සිටි කුරුලෑ ගැනය.
‘‘මං ඉස්කෝලේ කාලේ හරිම කෙට්ටුයි. බරත් අඩුයි. ඒ විතරක් නෙවෙයි උසත් නෑ. මගේ මූණේ කුරුලෑ පිරිලා තිබුණා. තරුණ කාලේ කුරුලෑ කියන්නේ සාමාන්‍ය දෙයක් වුණත් මට ඒක අසාමාන්‍ය මානසික වදයක් වෙලා තිබුණා. ඔහොම ඉන්නකොට දවසක් එක ගෑනු ළමයෙක් කිව්වා ‘ඔයාගේ මූණේ තියෙන කුරුලෑ ඔක්කෝටම වඩා මම ඔයාට ආදරෙයි’ කියලා. ඇයගේ වචන මට දැඩිව බලපෑවා. ඔබ විශ්වාස නොකරයි, මගේ මූණේ තිබුණ කුරුලෑ හින්දා මං අඬලා තියෙනවා. මට මෙහෙම මූණක් දුන්නේ ඇයි කියලා මං දෙවියන්ගෙන් ඒ දවස්වල නිතරම අහනවා.’’
තම පෙනුම ගැන ජෝන් කොතරම් පහත් ලෙස සිතුවත් පාසලේ කෙල්ලන්ට නම් එසේ පෙනී තිබුණේ නැත. ඒ නිසා ඔවුන් නිතර නිතරව ජෝන්ව වර්ණනා කළහ. නමුත් ඔහු සිතුවේ ඔවුන් විහිළු කරන බවයි. කුරුලෑ පිරී ඇති තම මුහුණ දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ මුහුණේ ලස්සනක් පෙනිය නොහැකි බව ජෝන්ගේ යටිහිත ඔහුට නිතර නිතර කීවේය.
‘‘මට ඉස්කෝලේ සමහර ගෑනු ළමයි කතා කළේ ‘Hi Handsome’ කියලා. ඒත් මං ලස්සනයි කියලා මට හිතුනේම නෑ. කොහොම වුණත් මට ප්‍රසිද්ධවීමේ හීනයක් වගේම ජයග්‍රහණය කිරීමේ ලොකු සිතුවිල්ලක් තිබුණා. ඉතින් මං හිතුවා මගේ පෙනුම තුළ මට නොපෙනෙන විශේෂ දෙයක් තියෙනවා කියලා. මං ඒ ගැන හුඟාක් සැළකිලිමත් වුණා. දවසක් මං කණ්නාඩියෙන් මූණ බල බල ඉඳිද්දී තාත්තා එතැනට ඇවිත් ‘මොකද ඔය කරන්නේ…’ කියලා ඇහුවා. මං කිව්වා ‘තාත්තේ මම කවදා හරි මේ මූණ කෝටි ගාණකට විකුණනවා’ කියලා.’’
ජෝන් ඉපදුණේ යාන වාහන තිබූ සල්ලිකාර පවුලක නොවේ. ආර්ථික අතින් ඔවුන් සිටියේ අඩියේය. එහෙත් පියා නිතර නිතර දුන් අවවාද ජෝන්ගේ හිතේ තදින් සටහන් වී තිබුණි. ඔහු රූපයෙන් කොතරම් අවලස්සන කොල්ලෙකු වුවද එය අමතක කර අධ්‍යාපනයට මුල්තැන දුන්නේ ඒ නිසාය. ඒ වනවිටත් ජෝන්ගේ එකම හීනය වූයේ කෙසේ හෝ හොඳින් ඉගෙනගෙන අනාගතයේ දිනෙක පවුල ආර්ථික අතින් සවිමත් කිරීමයි.
‘‘මං ඒ කාලේ ඉස්කෝලේ ගියේ බස් එකේ. ඒත් මගේ ගොඩාක් යාළුවෝ ආවේ කාර්වලින්. ඒ නිසා මං තාත්තගෙන් මුරණ්ඩුකමට කාර් එකක් ඉල්ලුවා. ‘පුතේ අපිට දැන් කාර් ගන්න තරම් සල්ලි නෑ. ඔයා අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒත් මං ඔයාට කාර් එකක් ගන්න පුළුවන් විදිහට උගන්වන්නම්.’ තාත්තා එදා කීවේ එහෙමයි. මං ඒ දවස්වල පන්තියේ දක්ෂතම ළමයි පහළොස්දෙනා අතර හිටියා. සාමාන්‍ය පවුලක ඉපදුණත් මං ලොකු මිනිහෙක් වෙන්න හීන දැක්කා. ඒත් ඒ හැම දෙයක්ම ලබාගන්න ඉගෙනීම වැදගත් කියලා මට හිතුණා.’’
අධ්‍යාපනයට මුල්තැන දුන් ජෝන් අවසානයේ නතරවෙන්නේ සරසවියෙනි. කාලයත් සමඟ සරසවි බිමෙන්ම පෙම්වතියත් සොයාගන්නා ඔහු නිතර නිතරම උත්සාහ කළේ ඇයව ඔහුගේ මුල්ම සහ අවසන් පෙම්වතිය කරගැනීමටයි. එනම් ඇය සමඟ විවාහවීමටයි. නමුත් ඊට පෙර ආර්ථික ප්‍රශ්න හරහට පැමිණීය. ජීවිතය යනු මුදල් නොවන බව ලෝකයා කිව්වද මුදල් නැතිව ජීවත්වීමට නොහැකි බව ජෝන්ට තේරෙන්නේ ඒ කාලයේය.
‘‘කැම්පස් කාලේ ලස්සන කෙල්ලෙක් එක්ක මට ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. ඒක විවාහය දක්වාම ගෙනියන්න මං ආස කළා. ඔබ විශ්වාස නොකරයි, ඒ කාලේ මගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් පන්සිය පනහයි. විවාහ වෙන්න ටිකක් කල් ඉන්න කියලා මං කීවත් එයාට එහෙම ඉන්න බැරිවුණා. එදා මං ළඟ සල්ලි තිබුණා නම්, මං හිතනවා එහෙම වෙන්වීමක් නෑ කියලා. ඒ නිසා අදත් මට රුපියලක මුදල වුණත් රුපියල් දහසක් තරමට වටිනවා. මං ළඟ අදත් නාස්තිකාර වියදම් නෑ. ඒක ලෝබකම නෙවෙයි. ඇත්තටම මගේ අවශ්‍යතා හරි සරලයි. ඒත් මුදල්වල වටිනාකම නම් මම හොඳට දන්නවා.’’
ජීවිතය යනු සාමාන්‍ය වේගයකින් දුව යන මැරතන් ධාවන තරඟයක් මිස මීටර් සියය දෙසීය වැනි වේගවත් කෙටි දුර ධාවන තරඟයක් නොවේ. එසේ නම් මැරතන් ධාවන තරඟයක් තුළ දුවන වේගයෙන් ජීවිත ගමනද දිවිය යුතුය. ඒ ජෝන් සිතූ හැටිය.
‘‘මං මේ තැනට ආපු මුල් කාලේ වැටුණොත් මාව අල්ලගන්න කවුරුත් හිටියේ නෑ. අනික දෙමාපියන්ට මාව වැටුණොත් ඒක දරාගන්න බෑ. ඒ නිසා මං මේ ගමන ආවේ හෙමින්. ජනප්‍රිය බව සහ ධනය ඕනි වෙලාවක නැතිවෙන්න පුළුවන්. ඒත් දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න මට පුළුවන්. එතකොට මොන ප්‍රශ්නේ ආවත් වැටෙන්නේ නෑ.’’
හෙමින් ගමන හොඳ බව සිතූ ජෝන් අවසානයේ නැවතුණේ ඔහුවත් නොසිතූ නොපැතූ තැනකය. එදා තිබුණු කැහැටු ශරීරය වෙනුවට දැන් ඔහුට ඇත්තේ සික්ස් පැක් එකක් ඇති සිරුරකි. කුරුලෑ පිරී ගිය මුහුණේ දැන් බෙහෙතකටවත් කුරුලෑවක් හොයාගන්නට නැත. පයින් පාසල් ගිය ජෝන් දැන් ළඟකට යන්නේත් ලොව මිල අධිකම මෝටර් රථයකය. එදා දුප්පත්කම නිසා දමාගිය තරුණියන්ගේ සිහින කුමරා අද ඔහුය. ආර්ථික අතින් තවත් වැටෙන්නට තැනක් නොතිබූ ජෝන්ට අද විසිකරන්නට වුවද මුදල් ඇත. ඒ සියල්ල පැත්තකට දැමූවත් එදා හිතේ දුකට පියාට පැවසූ කතාව දැන් සත්‍යයකි. එනම් ජෝන්ගේ මුහුණ දැන් එරටේ අලෙවිවන්නේ කෝටි ගණනිනි.
‘‘දියුණුවේදී බුද්ධිමත් අයට කන්දෙන එක නවත්තලා ඒ වෙනුවට බොරුවට අගයන මෝඩයෝ වටකර ගත්තොත් ඔබ විනාශයි. ඒ වගේ මෝඩ යාළුවෝ හතරක් පහක් හිටියොත් ඔබ ඉවරයි. මට දැන් ආඩම්බර වෙන්න දෙයක් නෑ. මං සරලව ඉන්න කෙනෙක්. මං මත්පැන් පාවිච්චි කරන්නේ නෑ. ඒ වගේම මං නිර්මාංශයි. මං පාටිවලට යන්නේ නෑ. සමහර අය ඒ ගැන මට චෝදනා කරනවා. ඒත් පාටිවලට ගිහින් කාලය නාස්ති කරන්න මං අකමැතියි. අනික ඒ තැන්වල ගිහින් මට හැසිරෙන්නත් අමාරුයි. ඇත්තටම මම අද මෙතැන ඉන්නේ මම හිතන විදිහ වෙනස් නිසයි. සරලවම ඒකයි මගේ ජයග්‍රහණයේ රහස. වේදනාව තාවකාලිකයි. අභිමානය සදාකාලිකයි. (Pain is temporary, Pride is forever) මං හිතන්නේ එහෙමයි.’’
ඔහු ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම්ය. ලෝකයේ ප්‍රසිද්ධම සඟරාවක් වන ‘Men’s Health’ සඟරාවට ‘John Abraham by John Abraham’ නමින් මෙලෙසින් තම ජීවිත කතාව නිරුවත් කර තිබුණේ ඔහුගේම වචනවලිනි. මීට වසර කිහිපයකට එහා ‘Jism’ හින්දි චිත්‍රපටිය හරහා ලෝකයම කතා කළ ජෝන් අද වනවිට ඉන්දියාවේ සිටින ජනප්‍රියම නළුවන් අතරින් කෙනෙකි. අද ඔහු එතැන සිටින්නේ ඔහු තුළ තිබූ අධිෂ්ඨානය, උත්සාහය සහ කැපවීම නිසාය. එය එසේ නොවන්නට ඔහු අදටත් කුරුලෑ ඇති මූණක් ලැබීම ගැන දුක්වෙන සාමාන්‍ය තරුණයෙක් වන්නට තිබුණි. ඒ නිසා දැන් ඔහු පවසන්නේ තාරුණ්‍යයට ආදර්ශයක් ගත හැකි මෙවැනි වදන්ය.
‘‘කවදාවත් නළුවෙක්ගේ ඇඟෙන් ඔබේ ජීවිතයට පෙළඹවීමක් ගන්න එපා. ඔහුගේ ඇත්ත ජීවන රටාවෙන් පෙළඹවීමක් ගන්න. මගේ වගේ ඇඟක් හදාගන්න උත්සාහ කරන්න. ඒත් දවසක ඔයා ඔයාගේම කතාවේ වීරයා වෙන්න.’’
රුවන් එස්.සෙනවිරත්න