විශේෂාංග

සුදු නැති නිසා ජීවත් වෙන්න සුදුසු නෑ කියලා හිතපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් එකපාරක් දිවි නහගන්නත් හැදුවා

ආකර්ෂණීය පෙනුමක් කියලා කිව්වම තවමත් බොහෝදෙනා ඉන් අදහස් කරන්නේ සුදුවෙන එක කියලයි. එහෙම හිතලා ගොඩක් අය සමට අහිතකර නිෂ්පාදන භාවිතා කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී රූපලාවණ්‍ය ද්‍රව්‍ය පිළිබඳ වගේම සමාජ ආතතිය ගැන කරුණු අධ්‍යයනය කරද්දී මට මේ කර්මාන්තයේ අඳුරු පැතිකඩ කිහිපයක් හමුවුණා. ඉන් එකක් තමයි අහිතකර පිළිකාකාරක මේවායේ අඩංගු බවට හඳුනාගන්නට ලැබීම. එතැනදී මට හිතුණා මේ කර්මාන්තයේ වෙනසක් කරන්න. සීයට සියයක් ස්වභාවික ශාඛසාර, කෝමාරිකාද ඇතුළුව දේශීය ඖෂධ පැළෑටි, කුළුබඩු වර්ග උපයෝගී කරගෙන එම නිෂ්පාදන වෙළඳපොළට යොමු කළේ මමම පර්යේෂණ කරලයි. 2020 මාර්තු මාසේ.”

ඒ හඬ ‘නෙළුම්බෝ නැචුරා’ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා කාංචනා හෙට්ටිආරච්චිගේයි. බැර ලෝහ අඩංගු නොවන, කල්තබාගන්නා රසායන ද්‍රව්‍යවලින් තොර සහ සෞඛ්‍යයට හිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපයක් සමඟින් දේශීය වෙළඳපොළට පැමිණි ඈ අදවන විට ඒ නිෂ්පාදන සමඟින් විදේශීය වෙළඳපොළට ද පා තබා ඇත.

මම පිළියන්දල සෙන්ට්‍රල් එකේ ඉගෙනගත්තේ. ශිෂ්‍යත්වයක් ලැබිලා AAT විභාගය කළා. ගිණුම්කරණ අංශයේ රැකියා කිහිපයකත් නියැලුණා. ටික කාලයක් බහරේන්වලත් රැකියාව කළා. ලංකාවට ආව වෙලාවක, රාජ්‍ය කළමනාකරණ විභාගය ලියන්න අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේ ලක්ෂ දෙකක් ඒ විභාගය ලිව්වා. මට ලංකාවෙන්ම 135 වෙනියා වෙන්න අවස්ථාව ලැබුණා. ගෙදර අය මට කිව්වේ දැන් ඉතින් ලංකාවේ නවතින්න. මෙහේ රැකියාවක් කරන්න කියලයි.”

ඉන්පසු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ සහකාර කළමනාකාර තනතුරකට පත්වන ඇය, කැපවීමෙන් එම රැකියාව කළත් පැය අටේ රාජකාරිය ගැනනම් හිතේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.

ඒ නිසා ටිකක් වෙනස් විදියේ වැඩකට අත ගසන්නටයි ඇයට අවශ්‍ය වුණේ.

එහෙම හිතාගෙන ඉන්නකොට මම දැක්කා ගෑනු ළමයි සුදු වෙන්න ගාන රසදිය ආශ්‍රිත නිෂ්පාදන නිසා දරුඵල නැතිවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරයෙක් කියලා තියෙන කතාවක්. ඒ වගේම අපි ලස්සන වෙන්න කියලා අපේ භෞතික ශරීරයට ප්‍රතිකාර කරනවා. සමහරු මනසට එහෙමත් නැත්නම් අධ්‍යාත්මයටත් ප්‍රතිකාර කරනවා. හැබැයි අපට වඩාත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ මේ දෙකම සමපාත කරගත්තොත් විතරයි. එතැනදී ජීවිතය සමබර කරගන්න ඕන. සිරුරේ බර අඩුකරගැනීම, උදරය අඩුකරගැනීම, සිරුරේ විෂහරණය, සම ශක්තිමත් කරගැනීම, සම දුර්වර්ණ වීමට පිළියම් යෙදීම වැදගත් වෙනවා. ඒ වගේම කෑමවලින්, දත් බෙහෙත් එකේ ඉඳලා, සිරුරේ ආලේප කරන ක්‍රීම්වලින් විෂ රසායන රැසක් දෛනිකව අපේ ශරීරයට එකතු වෙනවා. එවිට ස්නායු ආබාධවලට වගේම සමේ රෝගවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් මට ඕන වුණේ මේ විෂ අදින්න පුළුවන් ස්වභාවික ශාඛසාර අඩංගු නිෂ්පාදනයක් නෙළුම්බෝ නැචුරා මගින් පාරිභෝගිකයන්ට ලබාදෙන්නයි.”

ඒ සඳහා නිවසේම කොටසක් වෙන්කර ගත් ඇය, වෙනස්ම නිෂ්පාදනයක් ගැන අවධානය යොමු කළාය. ඉන්පසු කොමාරිකා ජෙල්, ෂැම්පූ වර්ග, සබන් වර්ග, සුදු හඳුන්, රත් හඳුන් ආලේපන, රාත්‍රී ආලේපන ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළඳපොළට හඳුන්වා දුන්නේ තමන්ම අත්හදාබැලීම් කරමිනි.

මෙතැනදී සුදු හඳුන් ක්‍රීම් එක, රත් හඳුන් ක්‍රීම් හදන්නේ ගලේ උරච්චි කරලා අරගෙනයි. එහි විශේෂිත ගුණය ආරක්ෂා කළ යුතු නිසයි එහෙම කරන්නේ. ඒ වගේම අනෙකුත් නිෂ්පාදනවලත් ස්වභාවික ගුණය රකිමින් තමයි නිෂ්පාදනය කරන්නේ. මේ වැඩේදි අපි බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉන්න කාන්තාවන්ට අමතර ආදායම් මාර්ගයකට ඉඩ සලසමින් කෝමාරිකා ඇතුළු දේශීය ඖෂධ නිෂ්පාදන ඒ අයගෙන් මිලට ගන්නවා.”

නෙළුම්බෝ නැචුරා නිෂ්පාදන අලෙවිසැලක් මුල්වරට විවෘත වන්නේ ඉකුත් කොරෝනා සමයේයි. ඒ ගාලු මුවදොර One Gallface Mall හිදීය. අද වනවිට තලවතුගොඩ, පිළියන්දල මෙන්ම කඩුවෙල ප්‍රදේශයේත් නිෂ්පාදන අලෙවිසැල් විවෘතකර ඇති ඇය විදෙස් වෙළඳපොළද ජය ගනිමින් සිටින්නීය.

අද වෙනකොට දේශීය දේවල්වල අවශ්‍යතාව හැම කෙනෙකුටම තියෙනවා. අපි ලෙඩ ඇතිවෙන්න කලිනුයි නිරෝගී ජීවන රටාවකට යන්න ඕන. එතැනදී ශරීරයට පමණක් කරන සත්කාරය ප්‍රමාණවත් නැහැ. මනසටත් සත්කාර අවශ්‍යයි. වරක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් එයාගේ රුව පැහැපත් නැති නිසා මොන දේ කළත් අසාර්ථකයි කියන සිතිවිල්ලකට ඇවිත් දිවි නසාගන්න හැදුවා. තමන් ලස්සන නෑ, ඒ නිසා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලා ඇය ආතතියෙන් හිටියේ. මම ඇයට කියලා දුන්නා සුදු වෙනවා කියලා දෙයක් නෑ, ඇත්තටම තියෙන්නේ පිරිසිදුවීමක්. ඒ පිරිසිදුවීමේදී අපේ ස්වභාවික සම මතුවෙනවා කියලා. ස්වභාවික ශාඛසාර සහිත ෆේස් වොෂ් එකක් මගින් සම වියැළීම නැතිකරගන්න පුළුවන්. එහෙම නැතුව සුදු වෙන්න කරන එන්නත්කරණයන්, ප්ලාස්ටික් සර්ජරි මගින් අපිට වන බලපෑම විශාලයි. සමහරවිට තිබුණට වඩා පෙනුම අවපැහැ වෙනවා.”

ඇය කියන්නේ රූපලාවණ්‍ය සත්කාරය වගේම හදවතට කරන සත්කාරද වැදගත් බවයි. එසේ, තම රුවේ වර්ණය ගැන පසුතැවුණු බොහෝදෙනාට අද ජීවිත සාර්ථක කරගැනීමට නෙළුම්බෝ නැචුරාහි රූපලාවණ්‍ය නිෂ්පාදන තරමටම ඇයගේ එම වදන්ද උපකාරී වී තිබේ.

කඩුවෙල දරණගම පදිංචි කාංචනා දරු තිදෙනෙකුගේ මවකි. සැමියාගෙනුත්, මවගෙනුත් ඇගේ කටයුතුවලට ලැබෙන සහයෝගය, ඇය අගය කරන්නේ විටෙක තම අවධානම් තීරණ පවා සුබවාදී වන්නට ඔවුන්ගේ සොයාබැලීම් වගේම සහයේගය ඉවහල් වූ බැවිනි.

මම මෙහෙම ප්‍රඩක්ට් එකක් කරනවා කිව්වම ඒක කවුරුත් විශ්වාස කළේ නැහැ. මගේ අම්මයි, මහත්තයයි, යාළුවෙකුයි විතරයි මුල් කාලේ මාත් එක්ක හිටියේ. ඒ අතරේ මහත්තයා ඇහුවා ඔයාට මේ දේ කරන්න පුළුවන් නේද කියලා. මම කිව්වා ඔව් කියලා. අම්මා මගේ දරුවෝ බලාගෙන ලොකු සහයෝගයක් දුන්නා. මහත්තයා අද එදාටත් වඩා මගේ වැඩකටයුතුවලට සහයෝගය දෙනවා.”

ඇය කියන්නේ සතුටිනි. දේශීය දේ අගය කරමින් එවැනි කර්මාන්තකරුවන් වඩ වඩාත් දිරිගැන්විය යුතු සමයක, කාංචනා රුවත්, මනසත් සුවපත් කරන්නට තැබූ පියවර අගය කළ යුතුමය.

දීපා වසන්ති එදිරිසිංහ