කෙල්ලෙකුයි බල්ලෙකුයි මහකැලේ එකදිගට දවස් 11ක් තුරුල්වෙලා ඉඳලා
රුසියාවේ සාකා පළාතේ ඔලොම් කියන ගම පිහිටලා තියෙන්නේ උතුරු අර්ධගෝලය ආසන්නයේ. කැලෑබද ගමක් නිසා වසරේ වැඩි කාලයක් මේ මුළු ගමම තියෙන්නේ හිමෙන් වැහිලා. ඒ නිසා ගමේ ජීවත්වෙන මිනිස්සු හරිම දුෂ්කර ජීවිතයක් තමයි ගෙවන්නේ.
කරීනා චිකිටෝවා කියන පස් හැවිරිදි දැරිය ජීවත්වුණෙත් මේ කියන ඔලොම් ගමේ ගෙදරක. රොඩියොන් සහ තලීනා කියන යුවළට හිටපු එකම දරුවා තමයි කරීනා කියන්නේ. හැබැයි මේ දැරිය දවසේ වැඩිහරියක්ම හිටියේ ආච්චිත් එක්ක. මොකද දුප්පත්කමේ පතුලේම හිටපු කරීනගේ අම්මයි තාත්තයි මුළු දවසම නැහුනේ ජීවත්වෙන්න කාසි හොයන්න. ඒ වෙනුවෙන් ඔවුන් දඩයම් කිරීම, මසුන් මැරීම, සත්ව හම් වෙළඳාම, දැව වෙළඳාම වගේ රැකියා කීපයක්ම කළා.
ඔහොම ඉන්නකොට ඔලොන් ගමට ගිම්හාන කාලයක් උදාවුණා. ඉතින් මාස ගාණක්ම හිමත් එක්ක ඔට්ටු වෙන ගමේ උදවිය ඒ කාලසීමාවෙදි ඉදිරි මාස ගාණකටම සෑහෙන්න ආහාර රැස්කරගන්නවා. ඒ ආපහු හිම වැටෙන්න කලින්. එහෙම නොකළොත් එළැඹෙන මාසවල බඩගින්නේ මැරෙන්න වෙනවා කියලා මේ ගමේ උදවිය දන්නවා. කරීනගේ අම්මයි තාත්තයිත් ඒ දවස් ටිකේ මහ පාන්දර කුකුළත් අතේ අරන් ළඟම තිබුණු කැලේට රිංගුවේ ඒ විදියට කෑම ටිකක් එකතුකරගන්න. හැබැයි අම්මයි තාත්තයි දවසම ගෙදර නැති එක ගැන නම් පුංචි කරීනාගෙ හිතේ නම් ඒ හැටි පැහැදීමක් තිබුණේ නෑ. මොකද ආච්චි අම්මත් එක්කම දවස ගෙවන එක මේ පුංචි එකීගෙ හිත නොසතුටට පත්කරපු කාරණයක් වුණා. ඒ හින්දම ඇය සමහර වෙලාවට ටිකක් හිතුවක්කාර වුණු වෙලාවලුත් තිබුණා.
එදත් සුපුරුදු විදියටම කරීනගේ අම්මයි තාත්තයි සතුන් දඩයමට උදෙන්ම කැලේට යන්න සූදානම් වුණා. ඒ වෙලාවේ කරීනටත් හිතුණා අම්මයි තාත්තයි පස්සෙන් හොරෙන්ම කැලේට යන්න. අන්තිමේ ඇය ඒක කළා. ඒත් අලි, කොටි, වළස්සු පිරුණු කැලේ කරීනා එහෙව් ගමනක් යන බවක් අම්මයි තාත්තයි දැනගෙන හිටියේ නෑ. ඒත් ඇය රොඩියොන් තලීනා දෙන්නා පිටිපස්සෙන් යන බව ආච්චි නම් දැක්කා. හැබැයි ආච්චි හිතුවේ කරීනා ඔවුන්ව දැනුවත් කර යන ගමනක් මිසක් ඇය හොරෙන් යන ගමනක් කියලා නම් නෙවෙයි. මේ අතර ඇය පිටිපස්සෙන් කරීනගේ හොඳම යාළුවත් ගියා. ඒ වෙන කවුරුත් නෙවෙයි ‘නයිඩා’ කියන සුනඛයා.
ඔය අතරේ කරීනාගේ අම්මයි තාත්තයි ගමනේ වේගය ටිකක් වැඩිකළේ හවස් වෙන්න කලින් වැඩි සත්තු ප්‍රමාණයක් දඩයම් කරන්න හිතාගෙන. ඒත් හොර රහසේ ගියපු කරීනට ඒ තරම් වේගෙන් යන්න පුළුවන් වුණේ නෑ. මොකද හිතුවක්කාර ගමනක් ගියාට පුංචි දැරිවියක් නිසා ඇයට ගමන් වෙහෙස වැඩිපුර දැනුණා. ඔය අතරෙයි පුංචි එකීට අම්මවයි තාත්තවයි මගඇරුණේ. කොච්චර උත්සාහ කළත් ඇයට ආයෙත් ඒ දෙන්නව මුණගැහුනේ නෑ. ඒ නිසා නයිඩත් එක්ක ඇය මහකැලේ අතරමං වුණා. ඊටපස්සේ ඇය උත්සාහ කළේ අම්මා තාත්තා හොයන එක පැත්තක තියලා මහකැලෙන් එළියට එන්න. කළුවර වැටෙනකල් උත්සහ කළත් ඇයටවත් නයිඩටවත් ඒක කරන්න පුළුවන් වුණේ නෑ.
දඩයමේ ගියපු කරීනගේ අම්මයි තාත්තයි අඳුර වැටෙද්දී ගෙදර ආවා. ඒත් ඔවුන් සමඟ පිටත්වුණු මිනිබිරිය පේන්න නැති නිසා කරීනා කෝ කියලා අහද්දියි ඔවුන්ට තරු විසිවුණේ. ඇයි ඉතින් ඔවුන් පස්සෙන් පුංචි එකී ආ බවට ඉඟියක්වත් ඔවුන්ට දැනිලා තිබුණේ නෑනේ. ඉතින් රොඩියොන් කළේ ගමේ මිනිස්සුත් අඬගහගෙන ආ පයින්ම ආයෙත් කැලේට දුවපු එක. මොකද පුංචි එකීගේ වයසත් එක්ක ඇයට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩියි කියලා රොඩියොන්ට ඒ වෙද්දිත් තේරුම් ගිහිල්ලයි තිබුණේ. ඒත් ඔවුන්ට එදා දවසේ කරීනව හොයාගන්න ලැබුණේ නෑ. ඒ නිසා දැරිය සෙවීමේ මෙහෙයුම පහුවදාට කල් දාගත්තේ රෑ ජාමෙට කැලේ ඉන්න එක අවදානම් වැඩක් හින්දා. ඒත් පහුවදාත් ඔවුන්ට දැරිය ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ. ඒ විදියට දින දෙක තුනක් හොයපු ගමේ උදවිය අවසානේ තීරණයක් ගත්තා. ඒ කරීනා අතුරුදන් වීමේ පුවත ගැන ප්‍රදේශයේ ආරක්ෂක අංශ දැනුවත් කරන්න.
දන්නෙම නැතුව දින එකොළහක්ම ගෙවිලා ගියා. ආරක්ෂක අංශ දැරිය සෙවීමේ මෙහෙයුම් සූක්ෂමව සිදුකළත් ඒ කිසිදෙයකින් පලක් වුණේ නෑ. ඒ නිසා කණගාටුවෙන් වුණත් කරීනගේ දෙමව්පියන්ට දැරිය ගැන තිබුණු බලාපොරොත්තු ඇත්හැර දමන්න සිද්ධවුණා. ආරක්ෂක අංශයේ අනුමානය වුණෙත් දැරිය මහකැලේ මියයන්නට ඇති බවක්. මේ අතරේ මුළු ගමේම උදවිය කරීනගේ දෙමව්පියන්ට චෝදනා කරන්න පටන්ගත්තා. ඒ ඔවුන්ගේ නොසැලකිල්ල නිසා කරීනට මෙවැනි විපතක් සිද්ධවුණු බව කියමින්. දැරිය අහිමිවීමේ වේදනාවත්, චෝදනාවල බලපෑමත් එක්ක ඔවුන් දෙදෙනාම ඒ වෙනකොටත් හිටියේ ලොකු මානසික පීඩනයකින්.
ඒ නිමාවුණේ කරීනා ගැන ආරංචියක් නැතිව ගෙවුණු එකොළොස්වැනි දවස. හැබැයි ඒ වෙනකොටත් කරීනා හිටියේ ජීවතුන් අතර. ඒ මහකැලේ මැද ජීවිතයත් මරණයත් අතර සටනක. ඇගේ වාසනාවට වගේ නයිඩා කොයි මොහොතකවත් ඇයව දාලා ගියේ නෑ. බඩගිනි වෙලාවට කරීනා බඩ පුරවගත්තේ කැලේ තිබුණු ගඩාගෙඩි කාලා, අහළ පහළින් ගියපු ගඟකින් වතුර බීලා. ඒත් නයිඩට නම් ඒ දවස් එකොළහම ගෙවන්න වුණේ වතුරවලින්ම විතරයි. හැබැයි දෙන්නම කළුවරට බයවුණා. ඔවුන් ඒ වෙලාවට රැය පහන් කළේ උසට වැඩුණු තණපඳුරු අතරේ හැංගිලා. හැබැයි ඒකත් ලේසි වැඩක් වුණේ නෑ. ඒකට හේතුව වුණේ ඒ තණපඳුරු අතරේ හිටපු කෘමීන්ගේ දරුණු ප්‍රහාර. ඒ අස්සේ රාත්‍රිය පුරාම ඇහුනු වනසතුන්ගේ විලාප එක්ක දෙදෙනා තවත් අසරණ වුණා. ඒ වෙලාවට කරීනා බය නැතිකරගත්තේ නයිඩගේ උණුහුමට තුරුලුවෙලා.
එකොළොස්වැනි දිනය වෙනකොට කරීනාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් වුණේ නෑ. ඒක නයිඩටත් ඉවෙන් වගේ දැනිලයි තිබුණේ. ඒ නිසාමදෝ නයිඩා අපූරු වැඩක් කළා. එදා මේ සුනඛයා කරීනාගේ ගෙදර හොයාගෙන කැලෙන් එළියට ගියා. නයිඩා දැකපු කරීනගේ දෙමව්පියන්ට ආවේ කියාගන්න බැරි සතුටක්. ඔවුන්ගේ බොඳවුණු බලාපොරොත්තු පණගහලා එන්න තරම් ඒ සතුට ඔවුන්ට හේතුවක් වුණා. නයිඩාගේ හදිසි පැමිණීමත් එක්ක ආරක්ෂක අංශ යළිත් කරීනා හොයන වැඩේට අතගැහුවා. නයිඩගේ මගපෙන්වීම උඩ ඔවුන්ට ඒක කරන්න එතරම් අමාරු වුණේ නෑ. ඔවුන් කරීනා හිටපු තැනට යනවිටත් ඇය විශාල තණපඳුරු අස්සේ හැංගිලයි හිටියේ. දින ගණනාවක්ම හරිහමන් කෑමක් බීමක් නැතිකමින් ඇගේ ශරීර සෞඛ්‍යය හොඳටම දුර්වල වෙලා තිබුණා. ඒ නිසා ඇයව වහාම රෝහල් ගතකරන්න පවුලේ උදවිය වගේම ආරක්ෂක අංශ පියවර ගත්තා.
එතැන් පටන් ඔලොම් ගමේ හැමෝම කරීනට වගේම නයිඩටත් වීරත්වයෙන් තමයි සැලකුවේ. කොච්චර වීරත්වයෙන් සැලකුවද කිව්වොත් ඔවුන් කරීනාට අලුත් නමකුත් දැම්මා. ඒ ‘මෞග්ලි’ කියලා. සුප්‍රසිද්ධ ‘ජංගල් බුක්’ සිනමාපටයේ, වනන්තරේ ජීවත්වෙන මෞග්ලි නම් කුඩා දරුවා නිසයි ඇයටත් ඒ නම වැටුණේ. ඒ අතරේ තමයි කරීනට වගේම නයිඩට උපහාර පිණිස ඔලොම් ගමේ සාකා පළාතේ පාලකයින් යකුට්ස්ක් නගරයේ කරීනා සහ නයිඩා එකට තුරුල්වෙලා ඉන්න පිළිරුවක් ඉදිකළේ. කොහොම නමුත් මේ කතාවෙන් එක දෙයක් පැහැදිලියි. ඒ තමයි සැබෑ යාළුකම්වලට අපා, දෙපා, සිවුපා කියන බෙදීම් තවදුරටත් වලංගු නෑ කියන එක.
රුවන් එස්.සෙනවිරත්න