කවුරු මොනවා කිව්වත් පිරිමි එක්ක කරට කරට වැඩ කරන්න පුළුවන් හයියක් මට තියෙනවා
“කිසිම අභියෝගයක් බාරගන්න බැහැ කියන්න එපා. මුලින්ම අභියෝගය බාරගන්න. ඊටපස්සේ ඒක කරන විදිය ඉගෙනගන්න.
ඕක ඇමරිකාවේ ප්‍රසිද්ධ ව්‍යවසායකයෙක් වෙච්චි රිචඩ් බ්‍රැන්ඩිසන් කියපු කතාවක්. ඇත්තටම ඒක ගොඩක් වටින කතාවක්. මමත් කොයිම වෙලාවකවත් කිසිම දෙයක් බැහැ කියලා අතාරින්නේ නැහැ.”
සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරිනිය කවී රාජපක්ෂ ඇගේ කතාව පටන්ගත්තේ එහෙමයි. බවලතියක් වයිට් කොලර් ජොබ් එකක නැත්තම් උසස් නිලයක ඉන්දැද්දි ගොඩක් අයට පේන්නේ ඒ කෙනා ලස්සනට අර ලොකු පුටුවේ වාඩිවෙලා ඉන්න අපූරුව විතරයි. හැබැයි කාන්තාවක් විදියට එතැනට එන්න ඇය කරපු කැපකිරීම් ගැන කතා කරන පිරිස අඩුයි. කවී කියන්නෙත් විවිධ කැපකිරීම් මැද අභියෝග දරාගෙන ඒ තැනට ආපු ශක්තිමත් ගැහැනියක්. ඉතින් ඇගේ සාර්ථකත්වයේ ගමනෙදි ඇයට ආපු අභියෝග, කැපකිරීම් ගැන ඇය අපිත් එක්ක කිව්වේ තවත් කෙනෙක්ට හයියක් වෙන අරමුණ ඇතිවයි. අද ‘ධරණී’ කවරය හැඩවෙන්නෙත් ඇගේ සොඳුරු රුවෙන්.
“අම්මයි, තාත්තයි, මමයි, නංගියි තමයි පවුලේ හිටියේ. ප්‍රාථමික අධ්‍යාපනය කළේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. මට අවුරුදු හතේදි තාත්තා නැතිවුණා. ඊටපස්සේ අම්මා තමයි අපි දෙන්නව බලාගත්තේ. ඉස්කෝලේ බර තනියම දරාගන්න ටිකක් අමාරුවුණු නිසා තාත්තා නැතිවුණාට පස්සේ විශාකා විද්‍යාලයට මාරුවුණා.”
පුංචි සන්දියේ ඉඳලම ඇය ඉගෙනුමට බොහොම දක්ෂ ශිෂ්‍යාවක්ලු. ඉගෙනුමට අමතරව නාට්‍ය, විවාද, ක්‍රීඩා ඔය හැම අංශයකින්ම දක්ෂතා දක්වපු නිසා අවුරුදු දෙකක් එකදිගට ඉස්කෝලේ සෑම අතින්ම දක්ෂ ශිෂ්‍යාව වුණාලු.
“උසස් පෙළින් පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඒත් එක්කම පෞද්ගලික විශ්වවිද්‍යාලයකිනුත් රසායනික අංශයෙන් උපාධියක් කරන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉතින් ෆස්ට් ක්ලාස් එක්ක උපාධි දෙකක්ම එකපාර සම්පූර්ණ කළා.
රසායනික අංශයෙන් ඉගෙනගන්න ගොඩක් අය කරන්නේ ආචාර්ය උපාධියට රට යන එක. හැබැයි අපේ රටේ සල්ලිවලින් ඉගෙනගෙන පිටරට යන එක රටට කරන අපරාධයක් කියලයි මට හිතුණේ. ඒ නිසා මම රට යන්න හිතුවේ නැහැ. පස්සේ මම යුනිලීවර් ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන පැත්තට අයැදුම් කළා.”
මේ කියන තනතුරට අයැදුම්කරුවන් විශාල ප්‍රමාණයක් අයැදුම් කළත් තේරුණේ කවී ඇතුළුව තවත් අයැදුම්කරුවන් හයදෙනෙක් විතරලු.
“තත්ත්ව පරීක්ෂා වගේ දේවල් තමයි මුලින්ම කළේ. ඊටපස්සේ මාස තුනක ප්‍රොජෙක්ට් එකකට මාව අලෙවි අංශයට දැම්මා. එතැනදි මට ලංකාවේ ප්‍රසිද්ධ බියුටි ප්‍රඩක්ට් එකක් එළිදක්වන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු සාර්ථකත්වය නිසා ඒ අය මාව අලෙවි අංශයේම තියාගත්තා. ‘ඇස්ට්‍රා’ බ්‍රෑන්ඩ් මැනේජර් කියන තනතුර තමයි මට මුලින්ම ලැබුණේ.”
*රසායනික අංශයෙන් ඉගෙනගෙන මාර්කටින් පැත්තට යන්න කවී කැමති වුණාද?
“ඔව්, ගොඩක් ආසාවෙන් මම ඒඅභියෝගය බාරගත්තා. අනික පුංචි කාලෙ ඉඳලම මම නිර්මාණාත්මක වැඩවලට දක්ෂයි. බ්‍රෑන්ඩ් මැනේජර් විදියට ඔහොම වැඩ කරගෙන ඉන්දැද්දි ඇස්ට්‍රා ෆැක්ටරි තුනෙන් එකක් ගිනි ගත්තා. පස්සේ ඒ ප්‍රඩක්ට් එකෙන් ලොකු ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න ලංකාවේ ෆැක්ටරි එකක් නැතිවුණා. ඉතින් බ්‍රෑන්ඩ් මැනේජර් විදියට මම රට රටවල ගිහිල්ලා තැන් හොයාගෙන ඒ ප්‍රශ්නය විසඳුවා. මගේ ටීම් එකත් ඒකට මට ගොඩක් උදව් කළා.”
ඒ අභියෝගය සාර්ථකව ජයගත්තු කවී රාජපක්ෂ අලෙවිකරණය පැත්තෙනුත් ඇගේ අධ්‍යාපන සුදුසුකම් සපුරගත්තලු.
“අර ප්‍රශ්නය හොඳින් කළමනාකරණය කරපු නිසා සීනියර් බ්‍රෑන්ඩ් මැනේජර් තනතුරට උසස් වුණා. හැබැයි සොෆ්ට්ලොජික් එකෙන් මට අවස්ථාවක් ලැබුණෙත් ඒත් එක්කමයි. මාර්කටින් කළාට මම ඉන්ෂුවරන්ස් පැත්ත ගැන දැනගෙන හිටියේ නැහැනේ. ඒ නිසා ඒකත් කරලා බලන්න ආස හිතුණා. ඉතින් ජ්‍යේෂ්ඨ අලෙවි කළමනාකාරිනියක් විදියට සොෆ්ට්ලොජික් එකත් එක්ක එකතු වුණා. සොෆ්ට්ලොජික් එක ‘සොෆ්ට්ලොජික් ලයිෆ්’ කියලා අලුතින් පටන්ගත්තේ ඒ කාලේ. ඉතින් අපිට සම්පූර්ණයෙන්ම වගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න වුණා.
ඉන්ෂුවරන්ස් කිව්වහම ලංකාවේ තිබුණේ හරි අමුතු දෙයක්. දරුවා බලාගෙන ඉන්දැද්දි තාත්තා මැරෙන එක තමයි ප්‍රොමෝට් කළේ. ඒ සංස්කෘතිය වෙනස් කරන්නයි මට ඕන වුණේ. ඍණාත්මකව තිබුණු ඒ දේ ධනාත්මක විදියට වෙනස් කළා. ඒ නිසාම මේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ ඉහළම තැනකට ගේන්න පුළුවන් වුණා.”
කවීගේ ආගමනයත් එක්ක සිද්ධවෙච්ච ඒ වෙනස්කම්වලින් පස්සේ ඇගේ ආයතනයට සම්මාන රාශියක් ලැබෙනවා. හැබැයි ඒ හැම කටයුත්තක් පිටිපස්සෙම ඇගේ කණ්ඩායමත් හිටිය බව විශේෂයෙන්ම ඇය මතක් කළා.
“ආයතනයට ලැබුණු සම්මානවලට අමතරව ‘Women Top 50’ සම්මාන උළෙලේ 2022 වසරේ හොඳම අලෙවිකරු සම්මානය දිනාගන්නත් මට පුළුවන් වුණා.”
මේතාක් වෙලා ඇය කතා කළේ සාර්ථකත්වය ගැන. ඒ පිටිපස්සේ තිබුණු මහන්සිය, කැපකිරීම් ගැනයි දැන් කවී කියන්නේ.
“මම වාසනාවට වඩා මහන්සිය විශ්වාස කරන කෙනෙක්. සාර්ථකත්වය වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අවුරුදු 26 ඉඳලා මට මයිල්ඩ් ස්කොලියෝසිස් කියන කොන්ද ආශ්‍රිත ආබාධය තියෙනවා. තුන් තැනකින් කොන්ද කැඩිලයි තියෙන්නේ. 2014 මම ඇස්ට්‍රා බ්‍රෑන්ඩ් එක කරන කාලෙදි මගෙ කොන්දේ අමාරුව වැඩිවුණා. මේකට සැත්කමක් කළොත් මට ඇවිදින්න බැරිවෙන්නත් පුළුවන්. ඒ නිසා කොන්දේ මස් දියකරලා කරන ආයුර්වේද ප්‍රතිකාරයක් කළා. ඒ දවස්වල මම නොසෑහෙන වේදනාවක් වින්දා. කාලයක් ඇවිදගන්නත් බැරිවුණා. හැබැයි ඒ අතරෙත් මම මගේ වැඩ කළා. බිත්තියට වාරුවෙලා ඔෆිස් ගියපු කාලෙකුත් තිබුණා. තරමක් හොඳ වුණත් තාමත් මගේ රෝගය සුව නැහැ. හැබැයි ඒ ගැන හිත හිතා ඉන්නේ නැතිව මම හැම වැඩක්ම කරගන්නවා.”
ඒ දරාගැනීම ගැන කවී කතා කළේ බොහොම ආඩම්බර ලීලාවෙන්.
“මාකටින් එකේ ප්‍රධානියා වෙනකොට මට ලොකු වයසක් නැහැ. ඉතින් මම තරුණ ගැහැනු කෙනෙක් නිසා මම කියන දේවල් පිළිගන්න සමහරු අකමැති වුණා. ‘ඔයා දන්නේ නැහැ, ඔයාට තේරෙන්නෙ නැහැ’ කියලා මූණටම කියලා තියෙනවා. ඉතින් අනිත් අයට යමක් තේරුම් කරවන්න පිරිමි කෙනෙක්ට වඩා වැඩියෙන් මහන්සි වෙන්න වෙච්ච තැන් තියෙනවා. අනික ගෑනු කෙනෙක් වුණහම හරි සියුම්වට යටහත් පහත්වට කතා කරන්න ඕන කියලා මතයක් තියෙනවනේ. ප්‍රධානියෙක් විදියට රාජකාරි වැඩවලදි අපිට උස් හඬින් කතා කරන්න වෙන තැන් තියෙනවා. හැබැයි ඉතින් ඒක ඒ වෙලාවට විතරයි. ඒත් පුරුෂ පාර්ශවයේ අය ඒ දේවල් හිතේ තියාගෙන ඉන්නවා. ගෑනියෙක්ගෙන් බැනුම් අහන එක මදිකමක් කියලා ඒ අය හිතනවා වෙන්නත් පුළුවන්.”
මොනතරම් කැපකිරීම් කරලා ඉහළට ගියත් ලොකු පුටුවල ඉන්න ගොඩක් බවලතියන්ට අහන්න වෙන්නේ වෙන කයිකතන්දර. ඒ ගැන කවී කිවවේ මෙහෙම කතාවක්.
“ගෑනු කෙනෙක්ට රස්සාවක් කරන එකත් ලේසි වැඩක් නෙමෙයි. බොත්තමක් ගැලවිලා තිබුණත් අමුතු විදියටනේ බලන්නේ. උඩ පුටුවකට ගිය ගමන් අපෝ මෙයා වැරදි පාරෙන් ආපු කෙනෙක් කියලා කියනවා. කියන්නම දෙයක් නැත්නම් පදයක් හදලා හරි කියනවා. මම කරලා තියෙන වැඩ සහ සුදුසුකම් එක්ක කිසිම කෙනෙක්ට මගේ හැකියාව ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඒ නිසා මගේ චරිතයට ඒ වගේ කතා හැදිලා නැහැ. අනික කවුරු මොන දේ කිව්වත් පිරිමි එක්ක කරට කරට වැඩ කරන්න මට හයියක් තියෙනවා.”
කවී රාජපක්ෂ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේත් (SLIM) සාමාජිකාවක්. SLIM එකත් එක්ක මේ දවස්වල ඇය රට වෙනුවෙනුත් අලුත් ව්‍යාපෘතියකට අතගහලා.
“දැන් හිතන්නකෝ ජපානය කිව්වහම අපේ ඔලුවට එන්නේ ‘ජපනා හපනා’ කියන එක. ඇමරිකාව කිව්වහම ‘ලෝකයේ බලවත්ම රට.’ මේවා ඒ අය දවසින් දෙකෙන් අපේ ඔලුවලට දාපු දේවල් නෙමෙයි. රටක් බ්‍රෑන්ඩ් එකක් විදියට මාකට් කරන එකත් සූක්ෂම විදියට කරන්න ඕන වැඩක්. SLIM එකෙන් රටට ජාතික සන්නාමකරණයක් හදන වැඩක් පටන්ගත්තා. ඒ ව්‍යාපෘතියේ ප්‍රධානියා විදියට වැඩ කරන්නේ මම. මේක පසු ප්‍රතිලාභ බලාපොරොත්තු නොවී අපේ රට ලෝකෙට අරගෙන යන්න අලෙවිකරණ ක්ෂේත්‍රයේ දක්ෂයෝ ටිකක් එකතු වෙලා කරන වැඩක්.”
බ්‍රෑන්ඩ් එකක් වෙලා අපේ රට ලෝකෙට අරගෙන යන්න කරන ඒ උත්සාහයට කතාව අතරතුරදිම අපිත් සුබ පැතුවා. වෘත්තිය කතාවලින් පස්සේ ඇගේ පෞද්ගලික ජීවිතේ කළමනාකරණය කරගන්න හැටිත් ටිකක් කතා කළා.
“මම උයන්න සෑහෙන කැමැති කෙනෙක්. රසට උයන්නත් පුළුවන්. කොච්චර කාර්යබහුල වුණත් ගෙදර වැඩ ටික මගේ අතින්ම කරන එකෙන් මට ලොකු තෘප්තියක් ලැබෙනවා. ඒ වැඩවලට අමතරව මම මහනවා, චිත්‍ර අඳිනවා, ඩාන්ස් කරනවා. සමහර ආයතන ප්‍රධානියෝ ඉන්නවා එයාලගේ පෞද්ගලික පීඩන පවා යවන්නේ ඔෆිස් එකේ ටීම් එකෙන්. මට ස්ට්‍රෙස් එකක් ආපු හැටියේ මම කරන්නේ මැහුම් ගෙතුම් කරන එක. ඒකෙන් මගේ ස්ට්‍රෙස් එක අඩුවෙනවා වගේම නිර්මාණශීලීත්වයත් වැඩි වෙනවා.”
දැන් කාලේ ගොඩක් කාන්තාවන් අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යන නිසා මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම් වගේ දේ ඉගෙනගන්න අවශ්‍ය නැහැ වගේ මතයක් තියෙනවනේ. හැබැයි ඉගෙනගන්න ඒ කිසිම දෙයක් අහක දාන්න වෙන්නේ නැහැ කියලයි ඇය කිව්වේ.
“ආදරේ කරන අයගෙන් ඇගයීම්, ප්‍රශංසා ලබාගන්න ගෑනු හරි කැමතියි. තමන් ආදරේ කරන අයට තමන්ගේ අතින් කාර්ඩ් එකක් හදලා දුන්නහම, රස කෑමක් හදලා දුන්නහම ඒ ලැබෙන අගය කිරීම සල්ලිවලට ගන්න බැහැ. මම කවදාවත් මගෙ අයට කඩෙන් කාර්ඩ් අරගෙන දීලා නැහැ. අනිවාර්යයෙන්ම මම්ම හදනවා. ඒකෙන් මටත් ලොකු සතුටක් දැනෙනවා.”
‘අපිට අයින් කරන් පුළුවන් හොඳම බර අනිත් අයගේ අදහස්වල බරයි.’ පත්තරේ සාකච්ඡාවට කතා කරන්න කවීගේ දුරකතන අංකය සේව් කරගත්තහම ඇගේ වට්සැප් එකේ පේන්න තිබුණු ඔය කතාවේ තේරුම ගැනත් මම ඇගෙන් අහලා බැලුවා.
“ගෑනු අගය කරනවට හරි කැමතියි කියලා කිව්වනේ. ඒ වගේම තමයි පිරිමින්ට වඩා අනිත් අය කියන දේවල්වලින් ඔලු නරක් කරගන්නත් ගෑනු හරි දක්ෂයි. වෙන මිනිස්සු කියන ඒවා 100%ක්ම ගණන් නොගෙන ඉන්න ගෑනුන්ට බැහැ. මොකද ඒක මනෝවිද්‍යාත්මකයි. ඒ නිසා ඒ ගන්න ප්‍රතිශතය අඩු කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. අනිත් අයට ඕන විදියටම ජීවත් වුණොත් වයසට ගිහිල්ලා ආපස්සට හැරිලා බලද්දි අපේ ජීවිතවල අපි ජීවත්වෙලා නැහැ කියලා දැනෙයි. ඒ නිසා අනිත් මිනිස්සු කියන ඒවා ගොඩක් ඔලුවට ගන්න යන්නත් එපා.
තව දෙයක්. කොච්චර සාර්ථක වුණත් නැති දේ ගැන හිතලා දුක්වෙන අය ඉන්නවා. සාර්ථක කෙනෙක්ව දැක්කහම අනේ මෙයා වගේ මටත් ඉන්න පුළුවන්නම් කියලා කෙනෙක් හිතනවා. හැබැයි අපි නොදන්නවා වුණාට අර කෙනා හිත ඇතුළෙන් දුකෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්.
එක එක්කෙනා සාර්ථකත්වය මනින විදිය වෙනස්. කෙනෙක්ට සාර්ථක ගැහැනියෙක් කියන්න එයා ලොකු පුටුවක ඉන්න කෙනෙක් වෙන්නම ඕන නැහැ. මාවයි, නංගිවයි හොඳ තැන්වලට ගෙනාපු එක තමයි මගේ අම්මගේ සාර්ථකත්වය. ඒ නිසා නිතරම නැති දේ ගැන නොහිතා තියෙන දේවල් ගැන හිතන්න. දුක, සතුට කියන්නේ තෝරාගැනීමක්. ඉතින් නිතරම සතුට තෝරගන්න.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්