Latest News

තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධ හිරුණිකාගේ නඩුව පෙබරවාරි 28 වනදා විභාගයට

2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවා තබාගෙන තර්ජනය කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 28 වනදා විභාගයට ගැනීමට දින නියම කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (30) නියෝග කළා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා නඩුව යළි පෙබරවාරි 28 වන දින කැඳවීමට නියම කළ අතර එදිනට නඩුව විභාගයට ගන්නා දිනයක් නියම කරන බවද ඔහු ප්‍රකාශ කළා.

2015 දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියන්ත නමැති තරුණයා පැහැරගෙන ගොස් රඳවා තබාගෙන තර්ජනය කළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඇයගේ ආධාරකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

2017 නොවැම්බර් 24 දින ඇයගේ ආධාරකරුවන් හත් දෙනෙකු අධිකරණය හමුවේ වරද පිළිගෙන වසර 12කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමකට යටත් කෙරුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරද පිළිනොගත් අතර ඇයට එරෙහි චෝදනා තවදුරටත් විභාග වෙමින් පවතිනවා.