ජනාධිපති කාර්යාලය අසල ගංජා වැවූ ආදිවාසී නායකයා අත්අඩංගුවට
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල ගංජා වැවූ ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ නායකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, පොලිසිය විසින් ජනාධිපති කාර්යාලය අසල තිබූ ගංජා පැළ කිහිපයක් ගලවා දමා ඇති බවයි.
මෙම ගංජා පැළ, ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ සමාජ ක්‍රියාකාරීන්ට අයත් වූ අතර, ඔවුන්ගෙන් ඇතැම් පිරිස් වසර තුනක් තිස්සේ මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිට ඇත.
‘කොයිසාන් රජු’ ලෙස හඳුන්වාගන්නා මෙම සංවිධානයේ නායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇදගෙන යද්දී, ඔහු විශාල ගංජා පැළයක එල්ලී සිටි බව සඳහන්.
ඔහු ඒ අවස්ථාවේ “පොලිසිය… උඹලා යුද්ධයක් පටන්ගත්තේ”යි කෑ ගැසූ බව AFP ප්‍රවෘත්ති ආයතනය වාර්තා කරනවා.
“අපි සාමකාමීව මෙහේ හිටියා. අපි උඹලා ගැන බලාගන්නම්,” යනුවෙන් ඔහු තවදුරටත් පොලිසියට අභියෝග කර තිබෙනවා.
එම පුද්ගලයා මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.
ඔහුත්, ඔහුගේ මිත්‍ර ක්‍රියාකාරීන් කීපදෙනෙකුත්, ගංජා විකිණීම, නීතිවිරෝධී ලෙස වගා කිරීම මෙන්ම පොදු ස්ථානයක මුහුණු ආවරණයක් පළඳින ලෙස පොලිස් නිලධාරියෙකු අණ කළ පසුවත් එසේ කිරීමට අපොහොසත් වීම,” හේතුවෙන් රඳවාගෙන සිටින බව ආරක්ෂක අංශ වෙත ප්‍රකාශකර තිබුණා.
2018 දී, මෙම පිරිස තම භාෂාව නිල වශයෙන් පිළිගන්නැ යි ඉල්ලමින් උද්ඝෝෂණය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් පිටත ඇති, නෙල්සන් මැන්ඩෙලාගේ යෝධ පිළිරුව අසල පිහිටි හරිත අවකාශයේ සිය කඳවුරු බැඳ ගනු ලැබුවා.
විදෙස් පුවත් සේවා වාර්තා කළේ, දකුණු අප්‍රිකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කොයිසන් රජුගේ බිරිඳ සිද්ධිය පිළිබඳව සිය කෝපය පළ කර ඇති බවයි.
“මට මේ ගැන හරිම කේන්තියි,” සින්තියා රැජින පැවසුවා ය. ඔවුන් සමග කතා කිරීම සඳහා “එන්න ජනාධිපතිතුමාට ඕනකමක් නැහැ,” ඇය ප්‍රකාශ කළා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ කොයිසන් ජනතාවට අවශ්‍ය වන්නේ පිළිගැනීම පමණක් බවයි.
අතීතයේ සිටම, පිළිකා සහ අධි රුධිර පීඩනය වැනි ලෙඩරෝග සඳහා ප්‍රතිකාර ලෙස මිනිසුන් ගංජා භාවිතා කර ඇතැ යි ඇය තවදුරටත් පෙන්වා දී තිබෙනවා.
මෙම ගංජා වගා කර තිබී ඇත්තේ එළවළු කොරටුවක බව සඳහන්.
2018 දී දකුණු අප්‍රිකාව පුද්ගලික ස්ථානවල පුද්ගලික ගංජා භාවිතය සාපරාධී වරදක් නොවන බව ප්‍රකාශ කළා.
කොයිසන්වරුන් දකුණු අප්‍රිකාවේ පැරණිතම ජන වර්ගය වන අතර, දැන් එරට සුළුතරයක් බවට පත්ව සිටිනවා.