Latest News

මුදල් ඇමති IMF අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා හමුවෙයි

මුදල් අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අමෙරිකාවේ වොෂිංටන් නුවර පිහිටි IMF මූලස්ථානයේදී යි.

මෙහිදී ආර්ථික ස්ථායීතාවය වෙනුවෙන් දැනට ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපරිම සහය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බව ක්‍රිස්ටලීනා පැවසූ බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා විසින් කඩිනම් මුදල් සහයක් සඳහා ඉල්ලීමක් කර ඇති අතර ඊට ඇප පාර්ශවයක් වශයෙන් ඉන්දියාව පෙනී සිටින බවයි.

මෙම කඩිනම් මුදල් සහය ලබා දීම මූල්‍ය සම්පාදන ක්‍රියාවලියේ සම්මත තත්ත්වයෙන් බැහැර වුවත් එය සලකා බැලීමට ජාත්‍යන්රතර මූල්‍ය අරමුදල එකඟ වූ බව ද මුදල් අමාත්‍යාංශය පවසනවා.

මේ අතර මුදල් අමාත්‍යවරයා ඊයේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ද හමුව තිබෙනවා.

අදාළ සාකච්ඡාව IMF මූලස්ථානයේ දී පවත්වා ඇතැයි වාර්තා වනවා.

මෙහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසා ඇත්තේ,ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට අවශ්‍ය උපරිම සහය ලබා දෙන බවයි.