රිජ්වේ ආර්යා ළමා රෝහලේ උග්‍ර ආහාර අර්බුදයක් ?
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ වන විට ඖෂධවලට අමතරව උග්‍ර ආහාර අර්බුදයක් ද මතුව ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
දරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවීමට නම් ආහාර වේල තුළ ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු වනවා.
කෙසේවෙතත් මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල තුළ මස්, මාළු බිත්තර තබා පරිප්පු හෝ අන්තර්ගත නොවන බවයි එම ආරංචි මාර්ග අනාවරණය කරන්නේ.
පිළිස්සුම් තුවාල ලබා රෝහල තුළ මේ වන විට ප්‍රතිකාර ලබන ඇතැම් රෝගී දරුවන්ට දෛනිකව බිත්තර 10ක් දිය යුතු වුව ද මේ වන විට එය ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.
මේ අතර පිළිස්සුණු සම, යථා තත්ත්වයට පත්වීමට ප්‍රෝටීන් ආහාර ලබා දීම අනිවාර්යය වන බවද වෛද්‍යවරුන් සඳහන් කරනවා.
නමුත් පිළිස්සුම් තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ට පරිත්‍යාග ශීලීයෙකුගෙන් බිත්තර සීමිත ප්‍රමාණයක් ලැබි ඇති බවත් එම ප්‍රමාණය අවසන් වූ පසු ව එම දරුවන්ට ද බිත්තර ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වන බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
මේ අතර දෛනික රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ළමයින් උසට සරිලන බරකින් යුක්ත නොවීම, වයසට සරිලන උසකින් යුක්ත නොවීම වැනි මන්දපෝෂණ ලක්ෂණයන් පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දෙනවා.
මේ අතර නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගී දරුවන් බහුතරයක් රෝහලෙන් ලබා දෙන ආහාර ලබා නොගත්ත ද මේ වන විට එම තත්ත්වය වෙනස් වී රෝහලෙන් ලබා දෙන ආහාර ලබා ගැනීමට පෙළඹී සිටිනවා.
එසේම රෝහල තුළ පවතින උග්‍ර ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මේ වන විට යම්තාක් දුරකට පියවා ගන්නේ, දෙස් විදෙස් පරිත්‍යගශීලීන් ලබාදෙන පරිත්‍යාගවලින් යැ යි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජගත් විජේසූරිය පවසනවා.