පියාගේ ඝාතකයන් පෝරකයට යවන්නට නීතීඥවරියක වූ දෝණී
ළාබාල දැරියකව සිටියදී නීතීඥවරියක වීමේ ආශාවක් සුගුෆා තබේසුම් අහමඩ්ගේ සිතේ කවදාවත් තිබුණේ නැත. පසුකලකදී සිය දෙමව්පියන්ගේ සිතැඟි ඉටු කිරීමට ඇය නීතීඥවරියක වීමට අදහස් කළත් එම තෝරාගැනීම ජීවිතයට අලුත් පාඩමක් කියාදේ යැයි ඇය නොසිතන්නට ඇත.
දෛවයේ හාස්කම් කෙතරම්ද කිවහොත් නීතීඥවරියක ලෙස ඇගේ පළමු නඩු කටයුත්ත වූයේ පියාගේ මිනීමරුවන් හා ගෙනගිය සටනය. දශක එක හමාරක අරගලයකින් පසු අවසානයේ නඩුවෙන් ඇයට ජය හිමි වුවත් ඒ අතරතුර ඇයට අහිමි වූ දේවල්ද බොහෝ ඇත. මේ සටහන සුගුෆාගේ ඒ සටන ගැනය.
“ඒ 2006 පෙබරවාරි 03 වෙනිදා. මට මතකයි ඒ වෙලාවේ ගෙදර තිබුණු පරිසරය. ඒත් එතැන හිටියේ කවුද කියලවත්, වෙලාව කීයද කියලවත් මට දැන් මතක නැහැ.”
සිය මතකය අලුත් කරමින් සුගුෆා පවසන්නීය.
“එක්වරම නිවසේ දුරකතනයට ඇමතුමක් ආවා. ඒ මගේ සොහොයුරාගෙන්. දුරකතනයට පිළිතුරු දුන්නේ කවුද කියලනම් මට මතක නැහැ. නමුත් මගේ සොයුරා ප්‍රකාශ කර තිබුණේ පියා මරා දමා ඇති බවත්, ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවත් සඳහන් ආරංචියයි. ඒත් එය කොහොම විශ්වාස කරන්නද?”
එම ආරංචිය ඇසූ ඇගේ මව සිහිසුන්ව ඇද වැටුණාය. මුළු ලෝකයම එකතැන නතර වූ බවක් සුගුෆාට හැඟුණි.
සුගුෆාගේ පියා ආචාර්ය තහීර් අහමඩ් සේවය කළේ බංග්ලාදේශයේ රාජෂාහි විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා කැණීම් අංශයේ මහාචාර්යවරයෙකු වශයෙනි. රාජෂාහි විශ්වවිද්‍යාලය පිහිටා තිබුණේ ඩකා නගරයේ සිට කිලෝමීටර 45ක් ඈත ඉන්දීය දේශ සීමාව ආසන්නයේය. මේ අතරතුර කවුරුන් හෝ ඔහුව ඝාතනය කර සිරුර කුණු වළකට දමා ගොස් තිබුණි.
“මගේ පියා විශ්වවිද්‍යාලයේ කා අතරත් ප්‍රසිද්ධව සිටියේ නිවුණු, නිරහංකාර මිනිසකු හැටියටයි. ඔහු නවීන කාරයකින් යනවා වෙනුවට නිතරම ප්‍රිය කළේ සාමාන්‍ය බස් රථයක ගමන් කිරීමට, මුළුතැන්ගෙයි වැඩවලදී මගේ මවට උදව් කිරීමට, ඇය හා වෙළෙදපොළට යාමටත් ඔහු බොහෝ සේ ප්‍රිය කළා. මට අවුරුදු 18ක් වුණාට පස්සෙත් ඔහු පාර මාරු වුණේ මගේ අතින් අල්ලාගෙනයි. එතරම් හොඳ මිනිසෙකුව මරා දමන්නට උවමනා වුණේ කාටද?”
ඉන් දින දෙකකට පෙර පියා අවසන් වරට ඔවුන්ගෙන් සමුගෙන බස් රියට ගොඩ වූ මොහොත සුගුෆාට සිහිපත් විය.
ඇයටත් ඇගේ සොහොයුරා සන්හිද්ටත් රාජෂාහි විශ්වවිද්‍යාලය ආගන්තුක තැනක් නොවේ. කුඩා කාලය ඔවුන් ගෙවා දැමූයේ එහි නිල නිවසකය. උදේ කාලය පාසලේ ගතකළ ඔවුහු සවසට අනෙකුත් සරසවි ආචාර්යවරුන්ගේ දරුවන් සමඟ එහි ක්‍රීඩා පිටියේ සෙල්ලම් කළහ. විශ්වවිද්‍යාලයේ සියලුම දෙනා ඔවුන් පිළිබඳව දැනගෙන සිටියේය. එය සැපෙන් හා සතුටින් ගෙවී ගිය කාලයක් විය.
පාසලෙන් අනතුරව ඩකා වෙත පැමිණි සන්හිද් එහි බහුජාතික සමාගමක සේවයට එක්විය. සිය සිතේ විශේෂ ආශාවක් නොවුවත් පියාගේ අදහස අනුව 2006 සුගුෆා නීති විද්‍යාලයට බැඳුණාය. ඇයට පූර්ණකාලීන නීතීඥවරියක් වීමට අදහසක් නොතිබුණි. තවදුරටත් ඉගෙනීම හෝ රාජ්‍ය නොවන සංවිධානයකට එක්වීම ඇගේ අපේක්ෂාව විය.
“ඔහු දින කිහිපයක් අප සමඟ ගත කරලා විශ්වවිද්‍යාලයට ගියා. රෑ 9ට පමණ නැවත ඔහු කතා කළේ කරදරයකින් තොරව ආ බව පවසන්න. පැය කිහිපයකින් නැවත කතා කරන බවත් ඔහු කීවා. මා දන්නවා ඔහු ඊළඟට නිදාගන්න යන බව. ඒත් ඊටපස්සේ ඔහු කතා කළේ නැහැ. මරණ පරීක්ෂණයේදී හෙළි වුණා ඔහු රෑ 10ට පෙර මියගිහින් තිබෙන බව.”
මහාචාර්යවරයා පිටව ගොස් තිබුණේ සිය රාජකාරි සගයෙකු වන ආචාර්ය මියා මොහොමඩ් මොහිදින්ගේ විනය සම්බන්ධව පැවති පරීක්ෂණයට එක්වීම සඳහාය.
කාලයකට පෙර මොහිදින් ඔහුගේ පවුලේ සමීපතම පුද්ගලයෙකු විය. එහෙත් එය ඉක්මනින්ම අවසන් වී තිබුණි. ඇගේ පියා ඔහුව හැඳින්වූයේ කොල්ලකාරයෙකු ලෙසය.
කෙසේ හෝ මහාචාර්ය අහමඩ් එම රැස්වීමට සහභාගී වී තිබුණේවත්, ඉන්පසු ඔහුට ලබාගත් දුරකතන ඇමතුම්වලට පිළිතුරු දුන්නේවත් නැත. සුගුෆාගේ සොහොයුරා රාජෂාහි බලා ගියේ ඒ නිසාය. අවසානයේදී අහමඩ්ගේ සිහිසුන් සිරුර විශ්වවිද්‍යාලයේ කුණු ටැංකියක තිබී සොයාගනු ලැබීය.
මහාචාර්ය අහමඩ් ඝාතනය බංග්ලාදේශය පමණක් නොව ලෝකයම කතා වන මාතෘකාවක් බවට පත්විය. පැහැදිලිවම එය මිනීමැරුමක් විය. ලොව සෑම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයකම ඊට අදාළ තොරතුරු ප්‍රකාශ වූයේය. එය පෞද්ගලික සතුරුකමක්ද? ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාවක්ද? මේ ගෞරවනීය පුද්ගලයා මරාදැමීමට ඔවුන් ක්‍රියා කළේ ඇයි?
සති කිහිපයක් ඇවෑමෙන් මේ ඝාතනයට සැකකරුවන් වශයෙන් ආචාර්ය මියා මොහොමඩ් මොහිදින්, නේවාසිකාගාර පාලක ජහන්ජිර් අලම්, අලම්ගේ සොහොයුරා හා මස්සිනා ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්හ. ඊට අදාළ විමර්ශන අතරතුර අලම් හා ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කළේ මුදල්, පරිගණක හා විශ්විද්‍යාලයේ රැකියා ලබාදෙන බව පවසා මොහිදින් මෙම කාර්යයට තමන්ගේ උදව් ලබාගත් බවයි. එහෙත් ඒ බවක් මොහිදින් උසාවියේදී පිළිගත්තේ නැත.
2008දී ඔවුන්ගේ මේ ඝාතනයට අදාළව සිව්දෙනෙකුට මරණ දඬුවම නියම විය. එහෙත් දඬුවමට එරෙහිව ඔවුන් සිව්දෙනා අභියාචනාධිකරණයට ගියේය.
“2011දී මගේ පියාගේ ඝාතන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මියා මොහොමඩ්ට ඇප නියම වුණා. හැම වාසියක්ම තිබුණේ ඔහුගේ පැත්තටයි. නීතීඥවරුන් 10ක් ඔහු වෙනුවෙන් පෙනී සිටියා.
මගේ මවගේ හා සොහොයුරාගේ බලකිරීම මත අධ්‍යයන කටයුතුවල යෙදිලා 2012දී නීති උපාධිය සම්පූර්ණ කරන්න මට හැකි වුණා. පසුව ප්‍රවීණ නීතීඥයන්ගේ සහායිකාවක් ලෙස පුහුණුව ලබන්න පටන්ගත්තා.”
2013දී මහාචාර්ය මොහිදින් හා ජහන්ජිර් අලම්ට මරණ දඬුවම් නියම වූ අතර අනෙක් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. එහෙත් ඔවුන් නැවතත් අභියාචනා ඉදිරිපත් කළෝය.
සුගුෆාගේ දිරිය ගමන පටන්ගත්තේ එතැනිනි. නඩු වාර්තා එකින් එක පෙරලා බලමින්, සාක්ෂි සොයමින්, අමතර කරුණ රැස් කරමින් සිය පියාගේ මිනීමරුවන්ට දඬුවම් ලබාදීමට හැකි මාර්ගය තමන්ම සොයා යන්නට ඇය තීරණය කළාය.
මියා මොහොමඩ් ධනවත් පුද්ගලයෙකි. ඔහුගේ ඥාති සහෝදරයෙකු බංග්ලාදේශයේ ප්‍රබල දේශපාලකයෙකු විය. ඔහුගේ නීතීඥයින් දිගටම ඇසුවේ ඇගේ පියා මරා දැමීමට මොහිදින්ට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්නයි. ඔහු නිදහස් වන බවට සැකයක් කිසිවකුටවත් තිබුණේ නැත.
කෙසේ වුවත් ළාබාල තරුණියකව සිටියදී සිය පියාගේ ආදරය අහිමි කළ, දැන් 30 ගණන්වල පසුවන නීතීඥවරිය සිය අරගලය අත නොහැරියාය. කුඩා කල පටන්ම මොහිදින් ඇතුළු පිරිසගේ තොරතුරු හා ගතිගුණ හොඳින් දැන සිටීමද ඇයට වාසියක් විය.
2022 අප්‍රේල් 05 වනදා උසාවි තීන්දුව ලැබුණි. එය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු හසන් සිද්ධික් පැවසුවේ මහාචාර්ය තහීර් අහමඩ්ගේ ඝාතනයට ආචාර්ය මියා මොහිදින්ට මරණ දඬුවම නියම කරන බවයි.
“දැන් මගේ පියාගේ ඝාතකයන්ට දඬුවම් ලැබී ඉවරයි. නමුත් ඔවුන් මගේ පියා මරා දැමීමෙන් ලබාගත්තේ මොනවද? මට මගේ තරුණ කාලය අහිමි වී ගියා. ආචාර්ය මොහිදින්ට සිය රැකියාව නැති වුණා.”
සුගුෆා පවසන්නීය.
වසන්ත විජේරත්න