පිරිමි විනිසුරුවරු කියලත් ජාතියක් ඉන්නවද?
‘‘තරුණ කෙල්ලේ, නීති වෘත්තියට එකතු වෙන්න කලින් විවාහයක් කරගත්තොත් හොඳයි නේද?’’
‘‘සර්, මම දැනටමත් විවාහකයි.’’
‘‘එහෙනං ගිහින් දරුවෙක් හදන්න.’’
‘‘මට දරුවෙක් ඉන්නවා.’’
‘‘දරුවෙක් තනියෙන් තියන එක සාධාරණ නෑ. ඔබට තවත් දරුවෙකු ඉන්න ඕනෙ.’’
‘‘සර්, මට දරුවො දෙන්නෙක්ම ඉන්නවා.’’
‘‘එහෙනං මගෙ කාර්යාලයට එන්න. ඔබ ස්ථාවර කාන්තාවක්. නීති ක්ෂේත්‍රයට ඔබ යමක් කරාවි.’’
මේ ඉන්දියාවේ හිටපු විනිසුරුවරියක වූ ලෙයිලා සෙත් නීතීඥ වෘත්තියට ප්‍රවිශ්ට වීමේදී ඇය සහ ඇගේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයා අතර ඇති වූ සංවාදයයි. අයියලා දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සිය ලෙස ලෙයිලා සෙත් උපත ලැබූවේ 1930දීය. දුම්රිය සේවයේ නියුතු පියාටත්, මවටත් දියණියගේ උපත එනිසා ප්‍රීතියක් විය. දරුවන් ස්වාධීන වනු දැකීමයි එම දෙමාපියන්ගේ එකම අපේක්ෂාව වූයේ. ඒ නිසාම පියාගේ එක් ප්‍රකාශයත් ලෙයිලාගේ හදවතේ ගැඹුරටම කා වැදී තිබිණි.
‘‘මම දුවට කවදාවත් දෑවැදි දෙන්නෙ නෑ. ඔයා තමන්ගේම දෙපයින් නැගී සිටින්න ඕනෙ.’’
ඒ එම ප්‍රකාශයයි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇයව විදෙස්ගත කරවන බවට පියා ලෙයිලා සෙත්ට පොරොන්දු වී තිබිණි. නමුත් ඒ සිහින හැබෑ වෙන්නට පෙරාතුව ලෙයිලාට වයස අවුරුදු එකොළහක් වෙද්දී පියා හදිසියේ මිය ගියේය. හෙතෙම විශ්‍රාම වැටුපකටද හිමිකම් නොකී බැවින් මව දැඩි අර්බුදයකට මුහුණ දුන්නාය. ඈ සියලු පීඩා දරාගනිමිනුයි දරුවන් උස්මහත් කළේ. බාධක ඉහටත් උඩින් තිබුණද දරුවන් තිදෙනාට හැකි ඉහළම අයුරින් අධ්‍යාපනය ලබාදීමට ඇය පියවර ගත්තාය.
පාසල් අධ්‍යාපනයෙන් පසු ලෙයිලා සෙත් කල්කටාහි රැකියාවකට එක් වූයේ ලඝු ලේඛිකාවක ලෙසිනි. මිතුරෙකුගේ හඳුන්වාදීමෙන් ඇයට සුවිශේෂ තැනැත්තකු මුණගැසුණේ එහිදීය. ඒ ප්‍රේම් සෙත් ය. මේ දෙදෙනාගේ ටික කලෙක මිතුදම විවාහයට මංතැනීය.
විවාහය ලෙයිලාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විය. විවාහයෙන් වසර කිහිපයකට පසු ප්‍රේම් රැකියාව වෙනුවෙන් ලන්ඩනයට යන්නේය. ප්‍රේම් සමඟ ලන්ඩනයට ගිය ලෙයිලාගේ සිතේ පියා රෝපණය කළ බලාපොරොත්තුවේ බීජය දළු ලා වැඩෙන්නට විය. නමුත් ඒ වනවිට පුංචි පුතු රැකබලාගන්නා ගමන් ලෙයිලාට හැදෑරීමට පහසු විෂයය වූයේ නීතිය පමණි. ඒ පිළිබඳ එතරම් තැකීමක් නොවූවද විකල්පයක් නොමැති බැවින් ඇය නීතිය හැදෑරීම තෝරා ගත්තාය. පුතා පෙරපාසලට යොමු කරන අවස්ථාවල දේශන සඳහා සම්බන්ධ වීම ඇය මග නොහැරියාය. ඒ වෙහෙසීමේ ප්‍රතිඵලය වාර්තාගත එකක් විය. 1958දී පන්සියයකට අධික පිරිසක් අතුරින් ලන්ඩන් නීති විභාගයේ අවසන් අදියර පළමුවැනියා ලෙස සමත් වූ ප්‍රථම කාන්තාව වීමට ඇයට හැකිවිය.
ඒ වසරේම ඉන්දියාවට පැමිණි ලෙයිලා සෙත් ජ්‍යේෂ්ඨ නීතීඥවරයකු යටතේ වසරක කාලයක් පුහුණු වූවාය. සිය සැමියාගේ ස්ථාන මාරුවක් සමඟ පැට්නා මහාධිකරණයේ වෘත්තිය ආරම්භ කරනවිට ඇයට අමතරව එහි සිටියේ තවත් එක් නීතීඥවරියක පමණි. ඒ ධර්මශීලා ලාල් ය. හින්දි භාෂාව මෙන්ම ප්‍රාදේශීය භාෂා පිළිබඳ තිබූ අඩු දැනුම නිසා ඇයට මුලදී යම් යම් අපහසුතාවලට මුහුණදීමට සිදුවිය. එහෙත් මිත්‍රශීලී සහ මහත්මා ගුණයෙන් පිරිපුන් ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් සහ කාරුණික විනිසුරන්ගේ අභිප්‍රේරණය ඇය දිරිමත් කිරීමට සමත් විය. රජයේ නීතීඥවරියක ලෙස කටයුතු කරමින් සිටියදී වරක් ඇය ස්ත්‍රී දූෂණ නඩුවක වින්දිතයා වෙනුවෙන් පෙනී සිටියාය. ඒ පිළිබඳ කිසිඳු දැනීමක් ඇයට නොතිබූ අතර අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයෙකු වූ ධර්මශීලා ලාල් චූදිතයා වෙනුවෙන් පෙනී සිටීම ඇයට යම් තිගැස්මක් ඇති කළේය. කෙසේ වෙතත් පැට්නා මහාධිකරණයේ සිටි එකම නීතීඥවරියන් යුවළ ප්‍රති පාර්ශව වෙනුවෙන් පෙනී සිටි එම නඩුව ජයග්‍රහණය කිරීමට ලෙයිලා සෙත් සමත් විය.
දික්කසාද, ස්ත්‍රී දූෂණ වැනි ‘කාන්තා නඩු’ ලෙස ප්‍රචලිත නඩු කටයුතු වෙනුවෙන් පමණක් නීතීඥවරියන් ලේබල් ගැසීම ලෙයිලාට රිසි වූයේ නැත. එනිසා සමාගම්, බදු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතී ක්ෂේත්‍රයන්හිද ඈ සිය හැකියාව තහවුරු කළාය.
පැට්නා හිදී ඈ පෙනී සිටි තවත් විශේෂ නඩුවක් තිබුණි. උත්සව සමයේ දුම්රියවල වහලෙහිද මිනිසුන් ගමන් ගැනීම සාමාන්‍යය. එවන් එක් අවස්ථාවක පහත් පාලමක් යටින් දුම්රිය ගමන් ගන්නා විට වහලෙහි සිටි මගීන්ගේ හිස් ඒවායේ ගැටී ඇත. එහිදී රියැදුරු සහ ආරක්ෂක නියාමකවරයාට එරෙහිව චෝදනා ගොනු කෙරිණ. ඔවුන්ට සිර දඬුවම් නියම කෙරුණු අතර රැකියා අහිමි වීමට නියමිත විය. දුම්රිය රියදුරා පැමිණ ලෙයිලා සෙත්ව මුණගැසුණේය. ඔහුට ගෙවිය හැකිව තිබුණේ එක නඩු වාරයක් වෙනුවෙන් පමණි. රැකියාව අහිමි වූ පසු සිය පවුල නඩත්තු කරන්නේ කෙසේද යන්න පිළිබඳව හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි ලෙයිලා වහලය මත නැගි මගීන් සම්බන්ධ වගකීම රියදුරුට ගත නොහැකි බව කරුණු සහිතව අධිකරණයට පෙන්වා දුන්නාය. නඩුව දිනා නැවත රැකියාව ලද රියැදුරා සිය පවුලම සමඟ ලෙයිලා සෙත් හමුවී ස්තුතිය පළ කළේ ගිතෙල් බඳුනක්ද තිළිණ කරමිනි. එය බෙහෙවින් සංවේදී අවස්ථාවක් වූ අතර අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට තිබූ උනන්දුව ඉන් තවත් වැඩිවිය.
පසුව නවදිල්ලියේ රාජකාරි අරඹා වසර හත අටක් ගතවනවිට ඇයට විනිසුරු ධුරයකට ආරාධනා ලැබිණ. නවදිල්ලි මහාධිකරණයේ පළමු විනිසුරුවරිය බවට පත්වෙමින් ඇය එය බාරගත්තාය. අනතුරුව පැවති උත්සවයකදී ඇයව සභාවට හඳුන්වා දුන්නේ ‘Lady Judge’ ලෙසය. ලෙයිලා සෙත් එහිදී සභාවෙන් ඍජුව ප්‍රශ්න කළේ කාන්තාවන් හැඳින්වීමට ‘Lady Judge’ යන වචනය භාවිතා කරන්නේ නම් පිරිමි විනිසුරන් හැඳින්වීමට ‘Gentleman Judge’ යනුවෙන් භාවිත නොකරන්නේ මන්ද යන්නයි. ඇගේ පත්වීම කෙතරම් සුවිශේෂවීද යත් එක්තරා අවස්ථාවක ඈ දැකගැනීමට පැමිණි මිනිසුන්ගෙන් අධිකරණ ශාලාව පිරී ඉතිරී ගොස් තිබිණ.
විනිසුරුවරියක සහ මවක ලෙස කටයුතු සමබර කරගැනීමට ඇයට ශක්තිය වූයේ සැමියා ප්‍රේම් සෙත් ය. ස්වාධීන මෙන්ම විවෘත මනසක් ඇත්තෙකු වූ ඔහු බිරියට සිය පූර්ණ සහයෝගය දුන්නේය. දරුවන්ටද සිය තෝරාගැනීම් නිදහසේ සිදු කිරීමටද හෙතෙම සහාය විය.
2017 වසරේ වයස අවුරුදු 86 දී මියයන තෙක්ම ඉතාම සාර්ථක දිවියක් ගෙවීමට ඇයට අවස්ථාව හිමි වූයේ නිවැරදි තෝරාගැනීම් මෙන්ම ස්ථාවරභාවය නිසාම වන්නට ඇත.
1991දී ඇය හිමාචල් ප්‍රාන්ත මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය වූවාය. ඉන්දීය ප්‍රාන්ත මහාධිකරණයක ප්‍රධාන විනිසුරු ධුරයට පත් ප්‍රථම කාන්තාව ඇයයි. විනිසුරු වර්මා කමිටුවේ සාමාජිකාවක ලෙස කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසා ඇය දැඩි දායකත්වයක් ලබා දුන්නාය. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නිරතුරු පෙනී සිටි ඈ පවුලක දේපළ බෙදාදීමේදී දියණිවරුන්ට සම අයිතිය ලබාදීම දැඩිව අවධාරණය කළාය. දියණියන්ට දෑවැද්ද නොව උරුමය ලබාදිය යුතු බව ඇගේ ස්ථාවරය විය. සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටි ලෙයිලා සෙත් පැවසුවේ ඔවුනට වැඩියෙන් ආදරය අවැසි බවයි.
රෂ්නිකා ලියනගේ