Latest News

ළමුන් අතරටත් ගිය ලාදුරු…

පසුගිය වසරේ වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වන විට මෙරට වයස අවුරුදු 14ට අඩු පාසල් දරුවන් අතරේ ලාදුරු රෝගය ව්‍යාප්තවීම වැඩිවීමේ අවදානමක් මතුව ඇති බවයි.

ශ්වසනමයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රෙ නමැති බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයක් වන ලාදුරු රෝගය මිනිස් ශරීරයේ සමට සහ ස්නායු පද්ධතියට බලපෑම් එල්ල කරනු ලබනවා.

මෙම රෝගයේ බෝ විම සිදුවෙන්නේ රෝගය බෝකළ හැකි මට්ටමේ පවතින අයෙකුගේ කෙළ සහ සෙම බිඳිති තවත් පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියෙන් ශරීරයට ඇතුළු වීම මගින්.

මේ වන විට මෙරටින් වසරකට රෝගින් 1,500ත් – 2,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනවා.

මේ පිළිබඳ අදහස් දැක්වු ලාදුරු මර්දන ව්‍යාපාරයේ, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය,

“ඉස්සර හිතුවා ලාදුරු කියන්නේ අල්ලලා බෝවෙන්නේ. දැන් උනත් කෙනෙක් කොන් කරනකොට ආ මට ලාදුරු කියලා හිතනවා ද අහනවා. ඒක ඇත්තටම වැරදියි. ස්පර්ශයෙන් බෝවෙන්නේ නෑ. හුස්මෙන් බෝ වෙන්නේ. හැබැයි කොවිඩ් වගේ ඉතා පහසුවෙන් බෝ වෙන්නේ නෑ. දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තියෙන්නේ. රෝග කාරක විෂබීජ පිටකරන්න පුළුවන් කෙනෙක් එක්ක සාමාන්‍යයෙන් සතියකට පැය 20ක වගේ ආශ්‍රයක් මාස තුනක් හතරක්වක් සිටියොත් මෙය බෝ විය හැකියි.”

ලාදුරු මර්දන ව්‍යාපාරයේ, අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා,

“දළ වශයෙන් වාර්තාවන රෝගීන්ගෙන් 10%ක් පමණ ළමයි. ගිය වසර ගත්තත් මුළු රෝගීන් සංඛ්‍යාව 1,326යි. එයින් 137ක් ළමයි. ළමයින් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ළමයි අතර මේක පැතිරෙනවා කියලා. ළමයි ඉන්නවා කියන්නේ සමාජය තුළ මේ රෝගය සම්ප්‍රේෂණය වෙනවා කියන නිදර්ශකයක්.”