නවතම ප්‍රවෘත්ති

ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ දුව වෙන්න ලැබුණු එකම මට ලොකු ගෞරවයක් – ලිමන්සා තිලකරත්න

ක්‍රිකට් ක්‍රීඩාව තුළ ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි විස්ස යන තරඟ රටා තුනටම හැඩගැහුනු ක්‍රීඩකයෙක් වෙයි නම් ඔහු සැබෑම දක්ෂයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගත්විට හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන මෙන්ම තිලකරත්න ඩිල්ෂාන් යනු එවන් දක්ෂයෝය. ඒ අතරිනුත් ඩිල්ෂාන් සුවිශේෂී වූයේ ඔහු ක්‍රිකට් පිටියේ ඉරියව් තුනකින් රජ වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු නිසාය. පන්දු යවන්නන් ඉදිරියේ ඔහුගේ අනුකම්පා විරහිත සුපිරි පිතිහරඹයත්, පිතිකරුවන් අසරණ කරන ඔහුගේ දඟ පන්දුවත්, මෙන්ම තරඟයක් උඩුයටිකුරු කළ හැකි ඔහුගේ අතිවිශිෂ්ට උඩපන්දු රැකීමත් නිසා ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයෙකු වුවද අදටත් මුළු ලංකාවම මේ ක්‍රීඩකයාට ආදරේ කරන බව රහසක් නොවේ.

මේ අතර පසුගිය දිනවල ඩිල්ෂාන් යළි මතකයට නැගූ ඡායාරූපයක් මෙරට සමාජමාධ්‍ය තුළ කරනම් ගසමින් තිබුණි. ඒ පින්තූරයේ වූයේ ඩිල්ෂාන් ක්‍රීඩා කරන අවධියේ ඔහු රැකගත් විශිෂ්ට උඩපන්දුවකට සමාන උඩපන්දුවක් රැකගත් ලාබාල ක්‍රිකට් ක්‍රීඩිකාවකි. දෙදෙනාගේ උඩපන්දු රැකීම සමාන වූ නිසාම බොහෝදෙනෙක් පවසා තිබුණේ අනාගතේ ඇයත් ඩිල්ෂාන් මෙන් සුපිරි ක්‍රීඩිකාවක් වෙනු ඇති බවයි. පසුව දැනගන්නට ලැබුණේ ඒ හපන්කම කර තිබුණේ වෙනින් කිසිවෙකුත් නොව ඩිල්ෂාන්ගේම වැඩිමල් දියණිය ලිමන්සා තිලකරත්න බවයි. ඒත් සමඟ ලිමන්සා කාගෙත් අවධානයට ලක්වූ අතර එනිසාම මෙවර ‘ධරණී’ කවරය හැඩ කරන්නටද අපි ලිමන්සාට ආරාධනා කළෙමු. ඒ තනිව නොව ඇගේ ආදරණීය පියා වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ද සමඟිනි.

“පුංචි කාලේ ඉඳන්ම මම ක්‍රිකට්වලට කැමතියි. අම්මා කියනවා පුංචි කාලේ ටීවී එකේ මැච් එකක් එහෙම යනවා නම් ඒ දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒත් මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න ආසාවක් ආවේ මගේ තාත්තා ක්‍රිකට් ගහනවා දැකලා. එයා ගොඩාක් වේගෙන් බැට් කරද්දි ඊටපස්සේ බෝල් කරලා කඩුලු ගනිද්දි හිතන්නවත් බැරි උඩපන්දු රැකගනිද්දි මමත් හිතුවා මං කවදා හරි දවසක තාත්තා වගේ ක්‍රිකට් ගහනවා කියලා.”

පුංචි කාලයේ ගැහැනු දරුවන් කැමති බෝනික්කන්ට ටෙඩිබෙයාර්ලාට වුවද ලිමන්සා අතපත ගෑවේ බැට් බෝලය. ඩිල්ෂාන්ට හොරා ඩිල්ෂාන්ගේ ක්‍රිකට් බෑගය හැර ඔහුගේ හෙල්මටය පැළඳ බැට් එක ගෙන එහෙට මෙහෙට වනන හැටි දෙතුන් විඩක්ම ඩිල්ෂාන්ගේ අතටම හසුවිය. එවන් අවස්ථා වල ඔහු දියණියව වෙනස් කරන්නට ගියේ නැත. ඒ වෙනුවන් ඩිල්ෂාන් කළේ දියණියත් කැටුව ගෙදර මිදුලට ගොස් ඇය සමඟින් ක්‍රිකට් ගැසූ එකය. ඒ කිසි මොහොතක තමා සමඟ සෙල්ලම් කරන පියා ක්‍රිකට් පිටියේ විශිෂ්ටයෙකු බව ඈ දැන සිටියේ නැත.

“හැබැයි අවුරුදු හය හතක් වෙද්දි මං දැනගත්තා තාත්තා ක්‍රිකට් ගහනවා කියලා. මොකද ටීවී එකේ මැච් එහෙම යද්දි අම්මා පෙන්නනවා අන්න තාත්තා ඉන්නවා කියලා. ඒත් මං පොඩි හින්දා එතැනින් එහාට ඒ ගැන අවබෝධයක් තිබුණේ නෑ. හැබැයි තාත්තා බැට් කරන වෙලාවට බෝල් කරන වෙලාවට අමුතු සතුටක් දැනුණා. මොකද එයා 6ක් 4ක් ගහද්දි කඩුල්ලක් ගනිද්දි කැච් එකක් ගනිද්දි වටේ බලාගෙන ඉන්න කට්ටිය කෑ ගහනවා. මාත් එහෙමයි. සමහරක් දවස්වලට නම් අපිත් ග්‍රවුන්ඩ් එකටම ගිහින් තාත්තට කෑ ගහනවා. කොහොමහරි ඒවා දැකලා දැකලාම මටත් තාත්තා වගේ වෙන්න ඕන වුණා.”

ඩිල්ෂාන් ක්‍රිකට් පිටියට සමුදුන් පසු බිරිඳ මංජුලා තිළිණිත් දරුවනුත් සමඟ ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. පවුලේ වැඩිමලීගේ හිතේ තිබුණු ආසාව මල්ඵල ගැන්වුණේ එහිදීය.

“මං ඉස්කෝලෙදි ක්‍රිකට් ගැහුවා. ඒක දැකලා පාසලෙන් මාව ඒ රටේ ක්‍රිකට් ක්ලබ් එකකට යොමුකළා. ක්‍රිකට් ගහන්න තිබුණු ආසාව සහ උනන්දුවත් එක්ක පොඩි කාලෙකින් මට ක්‍රිකට්වලින් ඉස්සරහට එන්න ලැබුණා.”

ක්‍රිකට්වල අයන්න කියවා වසර තුනකටත් අඩු කාලයක් තුළ ලිමන්සා ක්‍රිකට්වලින් කොතරම් දුර පැමිණියාද කිවහොත් ඔස්ට්‍රේලියාවේ පළමුපෙළ තරඟවලට ක්‍රීඩා කළ ලාබාලම ක්‍රීඩිකාව වන්නට ලිමන්සාට හැකිවූවාය. එයින් නොනැවතුණු ඇය අවුරුදු 16න් පහළ වික්ටෝරියා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමටද වරම් හිමිකරගත්තාය. ඇගේ ජයග්‍රහණ පිටුපස නිහඬ වීරයා වූයේ වෙන කිසිවෙක් නොව ලිමන්සාගේ පියා වූ ඩිල්ෂාන් ය. මන්ද ඇය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවනදා සිටම ඇගේ පුහුණුකරුවා ඔහුය. තම පියා හිටපු ක්‍රීඩකයෙක් වීම ඇගේ වාසනාව බවයි ලිමන්සා ‘ධරණී’ට පැවසුවේ.

“තිලකරත්න ඩිල්ෂාන් කියන ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ දුව වෙන්න ලැබුණු එක මට ලොකු ගෞරවයක්. ඒ ගැන මං හුඟාක් ආඩම්බර වෙනවා. අදටත් මං නිදහසේ ඉන්න වෙලාවට තාත්තා හිටපු මැච්වල තාත්තා සෙල්ලම් කරපු හැටි බලනවා.”

15 හැවිරිදි වියේ පසුවෙන ලිමන්සා තිලකරත්න ඩිල්ෂාන් මෙන් තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. වමත් පිතිකාරිනියක් මෙන්ම දකුණත් පා දඟ පන්දු යවන්නියක් වෙන ඈ සමාජමාධ්‍යයේ ප්‍රසිද්ධ වූ උඩපන්දුව රැකගෙන තිබුණේ පසුගියදා පැවති වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේදීය. ඒ ‘දඹුල්ල’ කණ්ඩායම නියෝජනය කරමිනි.

“අපි හැමෝම නිවාඩුවකට ලංකාවට ආවා. ඒ අතරෙදි තමයි මට ඒ ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ. මට තුන්ඉරියව්වෙන්ම දස්කම් පෙන්වන්නත් ලැබුණා. තාත්තා වගේ උඩ පන්දුවකුත් ඇල්ලුවා. ඒත් එක්ක අපේ ලංකාවේ ගොඩාක් අය මං කවුද කියලා හෙව්වා. දැන් නම් ගොඩාක් අය දන්නවා මං ඩිල්ෂාන්ගේ දුව කියලා.”

 

*ලිමන්සා ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

“අංක එක තාත්තා තමයි. තාත්තගෙන් පස්සේ ඉන්දියාවේ විරාට් කෝලිටයි, යශස්වි ජයිස්වාල්ටයි කැමතියි. ක්‍රිකට් ක්‍රීඩිකාවන් ගත්තොත් ඔස්ට්‍රේලියාවේ එලිස් පෙරීටයි, නවසීලන්තේ ඇමෙලියා කෙරීටයි, අපේ රටේ චමරි අතපත්තුටයි කැමතියි.”

ලිමන්සා ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුද සිදුකරන ගමන්ය. තවත් වසර දෙකකින් ඇයට උසස්පෙළට මුහුණදීමට තිබේ. ඒ නිසා අධ්‍යාපනයත් ක්‍රීඩාවත් සමබරව සිදුකරගෙන ගොස් කවදා හෝ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමයි ලිමන්සා දියණියගේ එකම අපේක්ෂාව. ඇයට ඒ වෙනුවෙන් සුබපතන ගමන් ඇය පිටුපස සිට ඇයට ශක්තියක් වෙන ඇයගේ පියා ඩිල්ෂාන්ගෙන්ද ලිමන්සා ගැන ඇසුවෙමු.

“මෙයා ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ. පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට්වලට ආසයි. ඒත් මං කීයටවත් හිතුවේ නෑ දුව ක්‍රිකට් ගහන්න යොමුවෙයි කියලා. ලිමන්සා ක්‍රිකට්වලට කොච්චර උනන්දු වුණාද කිව්වොත් අවුරුදු දෙක තුනක් ඇතුළත එයාගේ වයසට වඩා දුරක් ආවා. හිටපු ක්‍රීඩකයෙක් විදියට මං හිතනවා දුවට ක්‍රිකට්වලින් හොඳ ගමනක් තියෙනවා කියලා.”

ඩිල්ෂාන් දියණියගේ අනාගතය එලෙසින් දකිද්දී ඇය තමන්ගේ පාරේ යන්නට ගත් තීරණය ගැනද ඔහුගෙන් අසා බැලුවේ ඔහුට දියණියව ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකිරීමට යම් කැමැත්තක් තිබුණාදැයි කියා දැනගැනීමේ අදහසිනි.

“ලිමන්සා කැමැත්තෙන් තමයි ක්‍රිකට් තෝරගත්තේ. මං දුවට ක්‍රිකට් ගහන්න කියලා කිසිම බලපෑමක් කළේ නෑ. එයා ක්‍රිකට් ගහන්න ඕන කිව්වම එයාගේ දෙමව්පියන් විදියට මමත් මංජුලාත් ඒකට ඉඩ දුන්නා. දුව ගත්ත තීරණය ගැන මටත් සතුටුයි. මොකද මං ක්‍රිකට් ගහපු නිසා එයාගේ ගමනට මට හොඳ සහයෝගයක් දෙන්න පුළුවන්.”

ඩිල්ෂාන්ට සමාන අයුරින් ක්‍රීඩාවේ යෙදෙන ලිමන්සා පසුගියදා ඩිල්ෂාන් රැකගත් උඩපන්දුවකට සමාන අයුරින් රැකගත් උඩපන්දුව ගැන අසද්දී ඩිල්ෂාන් පැවසුවේ තමාගේ දියණිය රැකගත් එම උඩපන්දුව ඔහුව අවුරුදු දහයක් පමණ ආපස්සට ගෙන ගිය බවයි.

“දුව නිතරම මගේ ඔය පරණ වීඩියෝ බලනවා. බලලා ඒ ගැන මගෙන් ප්‍රශ්න කරනවා. ක්‍රීඩකයෙක් කියන්නේ බැට් කරන එක, පන්දු රකින එක විතරක් නෙවෙයි. පන්දු රැකීමත් හොඳට කරන්න ඕන. මොකද එක උඩපන්දුවකින් තරඟ කණපිට පෙරළෙනවා. ඔය කියන උඩ පන්දුව සමාජ මාධ්‍යවලත් ප්‍රසිද්ධ වෙලා තිබුණා මං දැක්කා. ගොඩක් අය ඒකට  කියලා තිබුණා දුවත් තාත්තා වගේමයි කියලා. එහෙම ප්‍රතිචාර ලැබෙනකොට මටත් හරි සතුටුයි. මේ හැමදේම දුවගේ උනන්දුවයි කැපවීමයි හින්දා තමයි.”

ලිමන්සාගේ පුහුණුකරු ලෙසින්ද ඔහු දියණියට දෙන ගුරුහරුකම් ගැන අසද්දි ඩිල්ෂාන් පැවසුවේ තමා ක්‍රිකට්පිටියේ ලද අත්දැකීම් සියල්ලක්ම ඇයට ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

“පුහුණුකරු විදියට මං ලිමන්සා එක්ක මගේ අත්දැකීම් බෙදාගන්නවා. එහෙම කරන එක එයාගේ දක්ෂතාවලට ලොකු පිටිවහලක් කියලා මං හිතනවා. මං බැට් කළේ දකුණෙන්. ඒත් දුව බැට් කරන්නේ වමෙන්. බෝල් කරනකොට මං දැම්මේ දකුණත් පිට දඟපන්දු වුණාට දුව දාන්නේ දකුනින් පා දඟ පන්දු. පුහුණුකරු විදියට මං එයාගේ ඒ දේවල් ලොකුවට වෙනස් කරන්න ගියේ නෑ. මං එහෙම කළා නම් එයාගේ උපරිම දක්ෂතාව එළියට ගන්න මට බැරිවෙනවා.”

ඩිල්ෂාන්ලාගේ වත්මන් පදිංචිය ඔස්ට්‍රේලියාවේය. දැනට මාස දෙකකට ඉහතදී ඔවුන් කෙටි නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ තිබේ. මේ ජූලි මාසයේ නැවතත් ඔවුන් ඔස්ට්‍රේලියාවට යාමට තීරණය කර ඇති අතර ඒ නිසාම සිය දියණිය ලිමන්සාගේ අනාගතය පිළිබඳ ඩිල්ෂාන්ගෙන් අපි අසා බැලුවෙමු. එහිදී ඔහු පැවසුවේ මෙවැන්නකි.

“දුවට තව අවුරුදු දෙකකින් උසස්පෙළ ලියන්න තියෙනවා. ඒ නිසා එයා ක්‍රීඩාව කරගෙන යන්නේ ඒ අධ්‍යාපන කටයුතු මැදින්. අපි මේ සැරේ ඔස්ට්‍රේලියා ගියාම එයාගේ පාසලත් එක්ක කතාබහ කරලා ලිමන්සා ගැන තීරණයක් ගන්නවා.”

ඩිල්ෂාන්ගේ ආසාව සිය දියණිය දිනෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහුටත් වඩා ඉහළට යනු දැකීමයි. ඒ ආසාව නිසැක වශයෙන්ම ඉටුවෙන්නක් බව ලිමන්සා ඔප්පු කර තිබෙන මොහොතක ඩිල්ෂාන් හා කළ කතාබහ නිමාකරමින් ලිමන්සා ගැන මෙරට ක්‍රීඩාලෝලීන්ට ඇති දැවෙන ප්‍රශ්නයකට ඩිල්ෂාන්ලාගෙන් පිළිතුරක් පැතුවෙමු. ඒ තමන්ගේ දියණිය ඉදිරියේ ක්‍රිකට් නියෝජනය කරන රට පිළිබඳවයි.

“මං නියෝජනය කළේ ශ්‍රී ලංකාව. ඉතින් මං දුවත් ලංකාව නියෝජනය කරනවා නම් කැමතියි. ඒත් ඒකට තවත් ගොඩක් කල් තියෙනවා. හරි අඩු වයසෙන් ජාතික කණ්ඩායමක් නියෝජනය කරනවට වඩා අත්දැකීම් එක්ක ඒ ඉලක්කයට යන එක තමයි වටින්නේ. අපි බලමු. දුවගේ ආසාව තමයි මගෙත් එකම ආසාව. ලිමන්සාගේ ආසාවකට මං ඉඩ දෙනවා.”

ලිමන්සාගේ අනාගතය පිළිබඳව ඩිල්ෂාන් එසේ පවසද්දී ලිමන්සාගේ මව වන මංජුලා තිළිණිගෙන්ද අප දියණිය ගැන ඇසුවේ එසේ නොඇසුවා නම් එය මේ කතාබහට අඩුවක් වෙන නිසාවෙනි.

“ලිමන්සා මැච් බලන්න ගත්තේ හරිම පුංචි වයසකදි. ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එහෙම මැච් බලද්දි ඇස් තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ විතරමයි. ටී.එම්.ඩිල්ෂාන් එයාගේ තාත්තා කියලා දැනගත්තට පස්සේ ඒ ආසාව තව වැඩිවුණා. ගෙදරදි ඩිල්ෂාන් එක්ක ක්‍රිකට් එහෙමත් ගහලා තියෙනවා. වයස 15ක් වුණාට ලිමන්සා කියන්නේ කැපවීම උනන්දුව කියන ඒවා ඉහළින්ම තියෙන දරුවෙක්. මට මතකයි සැරයක් ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයක් වෙලාවේ එයා දුවන තරඟයක් තිබුණා. ඒ දුවද්දි ලිමන්සාගේ සපත්තුවක් කැඩිලා විසිවුණා. ඒත් එයා නැවතුනේ නෑ. තරඟය ඉවර කළා. ඒ දේවල් එක්ක මට හිතෙන දෙයක් තමයි අනාගතේ දවසක ක්‍රිකට් ක්‍රීඩාවෙන් එයා එයාගේ තාත්තා තරම්ම දුරක් යාවි. මගෙත් ආසාව ඒකමයි.”

මංජුලා එසේ කියද්දී ලිමන්සාගේ ඇස් දිළිසෙන අයුරු අප බලාගෙනය. ඒ ඇස්වල තිබුණේ දැඩි ආත්මවිශ්වාසයම පමණි. එදා තිලකරත්න ඩිල්ෂාන් ක්‍රිකට් පිටියේ හරඹපෑවේ කෙසේද ඩිල්ෂාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්නටද එකී ශක්තිය නොඅඩුව ලැබේවායි ‘ධරණී’ අපි අවසානයේ ඇයට සුබපැතුවෙමු. කාටත් කලින් මේ පුංචි ක්‍රීඩිකාව සොයා ‘ධරණී’ අපගේ පැමිණීම ගැනත් පුංචි ලිමන්සා දියණියට තිබුණේ නොසෑහෙන සතුටකි.

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

පසුතලය – Paradise Inn Bolgoda

(0112614437)