අනිත් අයට නැති විදියේ ජීවිත කතාවක් මට තියෙනවා
පූනේ, ඉන්දියාවේ මහාරාශ්ට ප්‍රාන්තයේ විශාලතම නගරය. ඓතිහාසික අතින් විශාල වටිනාකමක් තියෙන නගරයක් වුණාට මේ නගරයේ දුප්පත්කම තියෙන්නේ ඒ වටිනාකම්වලට වඩා ඉහළින්. ඉතින් 1979 අගෝස්තු 13 වෙනිදා මේ කියන පූනේ නගරයේ අහසට වහලක්වත් නැති මුල්ලක ලස්සන කෙල්ලෙක් ඉපදෙනවා. අදටත් ඉන්දියාවේ සමහරු දුවකගේ ඉපදීම පිළිගන්න කැමති නැහැ. ඉතින් මේ කියන ගෑනු ළමයගේ දෙමාපියොත් ඇයව පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ පිළිගත්තත් ඇයට කන්න කෑම වේලක් දෙන්නවත් ඔවුන්ට වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඉපදිලා මාසයක් යන්න කලින් මේ දෙමාපියෝ ඇයව පූනේ ශ්‍රීවාස්තව ළමා නිවාසෙට බාරදුන්නා. ළමා නිවාසෙන් පුංචි දෝණිට නම තිබ්බේ ‘ලයිලා’ කියලා.
හරේන් සහ සූ ස්ටාලේකර් ජීවත්වුණේ ඇමරිකාවේ මිචිගන්වල. හරේන් ඉන්දියානු ජාතිකයෙක්. සූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. පවුලට බරක් කරගෙන සමහරු දරුවන්ව පාරට විසි කරද්දී මේ දෙන්නා දරුවෙක්ගේ සුරතල් බලන්න අවස්ථාවක් දෙන්න කියලා දිවා රෑ දෙවියන් වැන්දා. දෙවියන් ඒ ප්‍රාර්ථනාවලට කන් නොදුන් නිසා ඔවුන් දුප්පත් බංග්ලාදේශ දියණියක්ව දරුකමට හදාගත්තා.
“දුවෙක් වගේම මට පුතෙකුත් ඕනේ.”
සූ ඊළඟට පැතුවේ පුතෙක්ව. ඉතින් මේ යුවළ පූනේ ශ්‍රීවාස්තව ආශ්රමයට යන්නේ පිරිමි පුතෙක් හොයාගෙන. ඒ වෙලාවේ ආශ්රමයේ පුංචි පුතෙක් නොහිටි නිසා සූගේ ඇස් දෙක ඉබේටම වගේ ලයිලාගේ දිහාවට හැරුණා.
“මෙන්න බලන්නකෝ. මේ කෙල්ලගේ මූණ අහිංසක පාටයි, ඇස් දෙක තරු දෙකක් වගෙයි.”
සූ හරේන්ගේ කනට කරලා කිව්වා.
නීතිමය වශයෙන් ලයිලව දරුකමට හදාගන්න ගත්තු ස්ටාලේකර් යුවළ ඇයට ලීසා ස්ටාලේකර් කියලා අලුත් නමක් දුන්නා. පසුව ඔවුන් ඇමරිකාවෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා.
අනුන්ගේ දරුවන්ට තමන්ගේ ලේ වලින් හදාපු දරුවන්ට වගේ සලකන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. හරේන් සහ සූත් ලීසාට සැලකුවේ එහෙම. හරේන් උපතේ ඉඳලා ක්‍රිකට්වලට ආදරේ කළ මනුස්සයෙක්. ඉතින් ඔහු ලීසාවත් පුංචි කාලේ ඉඳලම ක්‍රිකට්වලට යොමු කළා. පාසල් කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩා කරපු ලීසා ඒ අතරම සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍ය ශාස්ත්‍රපති උපාධියත් සම්පූර්ණ කෙරුවා.
මනෝවිද්‍යාව ඉගෙනගත්තත් ලීසාට අවශ්‍ය වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට යන්න. ඉන්දියානුවන්ගේ ලේ වල ක්‍රිකට් ක්‍රීඩාව තියෙන බව ඈ නිතරම විශ්වාස කළා. 1997 දී පන්දු යවන්නියක් විදියට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලීගයට ඇතුළුවෙන ලීසා ඇගේ මංගල තරඟයේදීම හොඳින් දස්කම් පෙන්නුම් කළා. ඊටපස්සේ ක්‍රීඩා කරපු හැම තරඟයකම හොඳින් ක්‍රීඩා කළ නිසා 2000 වර්ෂයේදි ඇයට ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා ක්‍රිකට් කණඩායමට ඇතුළු වෙන්න වාසනාව ලැබුණා.
ලීසාගේ මංගල ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන්නේ එංගලන්තෙට එරෙහිව. ඔය තරඟෙදිත් ඇය නරඹන්නන් පුදුමවෙන තාලේ පිතිහරඹක නිරත වුණා. ඊටපස්සේ 2001 අවුරුද්දේ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ තරඟකාරියක් විදියට ක්‍රීඩා කළා. 2005 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟෙදි නොදැවී ලකුණු 120ක් ගහන ලීසා ඒ තරඟාවලියේ හැම තරඟයකම වාර්තාගත විදියට විකට් දවාගන්නවා. ඔය දස්කම් නිසාම 2007දී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පූනේ ළමා නිවාසෙන් ඔස්ට්‍රේලියාවට ගිය ලීසාට ලැබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වෙච්චි ලීසා ස්ටාලේකර් ලෝකයේ ප්‍රමුඛතම තුන් ඉරියව් ක්‍රීඩිකාව විදියට ශ්‍රේණිගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එක්දින තරඟවලදී ලකුණු 1000ක් සහ කඩුලු 100ක් දවාගත් පළමු ක්‍රිකට් ක්‍රීඩිකාව ඇයයි.
2013 ඔස්ට්‍රේලියාව කාන්තා ලෝක කුසලානය දිනාගනිද්දී ලීසාත් ක්‍රිකට් කණ්ඩායමට තරඟ කළා. කොහොම නමුත් 2013 අවුරුද්දෙදී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න ලීසා තීරණය කළා. ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනකොට ඇය ක්‍රීඩා කරලා තියෙන ජාත්‍යන්තර තරඟ ප්‍රමාණය 187ක්. මේ වෙනකොට ඇය ඔස්ට්‍රේලියානු තරඟ විස්තර විචාරිකාවක් විදියට කටයුතු කරනවා.
“අරන් හදාගත්තු කෙනෙක් කියලා දැනගත්තම සමහරු පුදුමෙන් වගේ මගේ දිහා බලනවා. දරුකමට හදාගත්තු කෙනෙක්ද කියන එකට වඩා ඒ කෙනාගෙන් ලෝකෙට වෙන සේවයයි වටින්නේ. අනික අනිත් යාළුවොත් එක්ක බැලුවහම මට කියන්න විශේෂ කතාවක් තියෙනවා. ඒ ගැන මට සතුටුයි.”
ලීසා කියන්නේ අර ලස්සන ඇස්වලින් හිනාවෙවී. ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට අද ඇගේ නම ක්‍රිකට් ඉතිහාසයේ ලියැවිලා. උත්සාහය කැපවීම තියෙනවා නම් කාගේ කවුද, එන්නේ කොතැනින්ද කියන එක අදාළම නැහැ කියන එක නෙමෙයිද ලීසා අපිට කියලා දෙන පාඩම?
සෙව්වන්දි හෙට්ටිආරච්චි