ලෝජිනී කබලෙන් ලිපට වැටෙයිද?
රූබන්ගේ ත්‍ර්‍රීවීලරය සැර දමා වේගයෙන් යමින් තිබිණි. ඒ අතර කෙටි කාලයක් දෙදෙනා අතර නිහඬතාවය රජ කළේය. රූබන් ද නිශ්ශබ්දය.
‘‘මම ආවට මේ මනුස්සයා කවුද? කොහේද ඉන්නෙ? අම්මා, තාත්තා කවුද? මොනවත් දන්නෙ නැහැ. මම ආවෙ අමාරුවේ වැටෙන ගමනක්ද?’’
ලෝජිනීට සිතිණි.
‘‘ඇත්තටම මම රූබන් ගැන දැනගෙන හිටියෙ එයා ත්‍රීරෝද රථ රියදුරෙක් කියලයි, එයා ගැන එයා කියපු දේවල් විතරයි. ඒ ඇරෙන්න මම ඉඳපු තත්ත්වය අනුව රූබන් ගැන හොයන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඒ නිසා මගෙ ඉරණම මොකක් වෙයිද කියලා හිතුණා. හැබැයි මට ලොකුවට බය වෙන්න හේතුවක් තිබුණෙත් නැහැ.’’
සැබවින්ම ලෝජිනී සාමාන්‍ය තරුණියක ලෙස සිතාගෙන රූබන් කටයුතු කළද ලෝජිනීගේ අභ්‍යන්තර කතාන්දරය ඊට හාත්පසින්ම වෙනස් විය. ඇය හමුදාමය පුහුණුව ලැබූවෙකු වූවාය. ඒ නිසා අවශ්‍ය වුවහොත් පිරිමියෙකු සමඟ සටන් කිරීමට හැකි මානසිකත්වයක ඇය සිටියාය. ඒ සියල්ලම වඩා ඇයට ශක්තියක් වූයේ ඇයගේ මුඛය තුළ සඟවාගෙන සිටින සයනයිඩ් කරල් දෙකයි.
‘‘කරන්නම දෙයක් නැති වුණොත් සයනයිඩ් කරල් හපාගෙන මැරෙනවා.’’
ඇය සිතුවාය.
‘‘රූබන් මට කෝවිලට යන්න ඕන.’’
නිහඬතාවය බිඳිමින් ලෝජනී හඬ අවදි කළාය.
‘‘මොන කෝවිලටද?’’
රූබන් එලෙස අසන ලද්දේ වව්නියාව ප්‍රදේශය තුළ හින්දු කෝවිල් සිය ගණනක් තිබෙන බැවිනි.
‘‘මොකක් හරි කෝවිලක්. අපේ දෙවියෝ ඉන්න තැනකට.’’
‘‘ෂිවම් කෝවිලක් තියෙනවා. එතනට යමුද?’’
රූබන් විසින් එලෙස අසන ලද්දේ හින්දු භක්තිකයන් අදහන දෙවිවරු රැසක් සිටි බැවිනි. අධ්‍යාපනය හදාරන්නන් සරස්වතී දෙවියන්ට වැඳුම් පිදුම් කරන අතර, ධනය සඳහා ලක්ෂ්මී දෙවියන්ද, වීරත්වයට කාලි දෙවියන්ද අදහති. ඊට අමතරව පුල්ලෙයාර්, කතරගම ආදී වශයෙන් දෙවියන් රැසකට වැඳුම් පිදුම් කරති.
කෙසේ නමුත් මඳ වේලාවක් යනවිට සිය ත්‍රීරෝද රථය කෝවිලක් ඉදිරිපිට නවතන ලදි. එය සාමාන්‍ය මට්ටමේ කෝවිලකි.
‘‘මේ කෝවිල එච්චර විශාල නැති වුණාට හොඳට හාස්කම් තියෙනවා.’’
රූබන් කීවේය.
කෝවිලට ඇතුළුව වන ස්ථානයේ තිරුහුරු (සුදුපාට කුඩු වර්ගයකි) හා සන්දහම් (කහ පැහැති ද්‍රාවනයකි) තබා තිබිණි. සාමාන්‍යයෙන් ඕනෑම බැතිමතෙකු දෙවියන් අදහන විට තිරුහුරු හා සන්දහම් නළලේ හෝ ගෙලේ ආලේප කරගනිති. තිරුහුරු අතට ගත් රූබන් මඳක් කල්පනා කරන්නට විය. හින්දු බැතිමතුන් සැමියා-බිරිඳ, පෙම්වතා-පෙම්වතිය, සහෝදර-සහෝදරියන්, මව්පියන්-දරුවන් ආදී තම සමීපතමයන්ගේ නළලේ තිරුහුරු ආලේප කරති. රූබන්ට ලෝජීනීගේ නළලේ තිරුහුරු ආලේප කර සන්දහම් පොට්ටුව (තිලකය) තැබීමට අවශ්‍ය බී තිබුණද චකිතයට පත්ව සිටියේය.
මෙහිදී ලෝජිනීගේ ආදරණීය බැල්ම රූබන්ගේ චකිතය නැතිකර දැමුවේය.
ලෝජනීගේ හිසට අත තැබූ රූබන් මුලින්ම තිරුහුරු නළලේ තවරා අනතුරව සන්දහම්වලින් තිලකය තැබුවේය. එම අවස්ථාව ලෝජිනීගේ ජීවිත කාලය තුළ පිරිමියෙකුගෙන් ආදරණීය ස්පර්ශයක් ලැබූ ප්‍රථම අවස්ථාව විය. අනතුරුව ලෝජිනී විසින්ද රූබන්ගේ නළල් තලයේ තිරුහුරු ගල්වා සන්දහම් තිලකය තැබුවාය. කෝවිලට ඇතුළු වූ දෙදෙනාම ෂිව දෙවියන් ඉදිරිපිට සිටගත්හ. දෑත් එකතු කරගනිමින්,
‘‘කඩවුලේ නාන්ගල් ඉරෙන්ඩු පේරුම් ඔන්ඩු සේරු වේනුම් (දෙවියනේ අපි දෙන්නවම එකතු කරන්න ඕන)’’
දෙදෙනාම දෙවියන් යදින්නට වූහ. කෝවිලෙන් එළියට පැමිණෙන විට ලෝජිනීගේ හිතට මහත් සැහැල්ලුවක් දැනිණි. එමෙන්ම හිතද සතුටට පත්ව තිබිණි. ඒ සතුට වැඩිවෙලා තිබුණේ නැත. අනතුරුව මුහුණ දෙන්නට වූ සිය අත්දැකීම විස්තර කළ ලෝජිනී.
‘‘ත්‍රීවිල් එක වව්නියාව නගරයේ ඉඳලා කිලෝමීටර 2-3ක් වගේ ගිහින් ලොකු වත්තක් ඇතුළට හැරෙව්වේ. ඒ වත්තෙ පොඩි ගෙයක් තිබුණා. ත්‍රීවිල් එක නවත්තද්දිම දිග ගවුමක් ඇඳපු ගෑනු කෙනෙක් එළියට ආවා. ‘මේ තමයි මගෙ අම්මා’ කියලා රූබන් කීවා. මම හිතුවේ අම්මා ආපු ගමන් මාව වැළඳගෙන පිළිගනීවි කියලා. මොකද රූබන් මට කියලා තිබුණෙ අම්මා මා ගැන සේරම දන්නවා කියලා. ඒත් අම්මා මගේ දිහා බලාගෙන ඉඳපු විදිහට මට හිතුණා එයා කිසි දෙයක් දන්නෙ නැහැ කියලා.
‘ෂිවා (ලෝජිනීගේ ව්‍යාජ හැඳුනුම්පතේ නම – ෂිවනේෂ්වරී) මේ මගේ අම්මා.. ඔයා බහින්න.’
කියලා රූබනුත් බැස්සා.
‘අම්මේ මේ ෂිවා. මම යාළුවෙලා ඉන්න ළමයා. මෙයා නැවතිලා ඉන්න තැනින් ප්‍රශ්නයක් වෙලා එතන ඉන්න බැහැ. ටික දවසකට නවතින්න මෙහෙ එක්කරගෙන ආවා.’
කියලා රූබන් කීවා. රූබන් එහෙම කියද්දී අම්මගේ ප්‍රතිචාරෙ හොඳට බැලුවා. ඒක අහද්දි අම්මගෙ මුහුණ අඳුරු වුණා. මොනවත් කියන්නෙ නැතිව අම්මා ගේ ඇතුළට ගියා. ඒ ගෙදර කාමර දෙකක පොඩි ගෙයක්. පොඩි ඉස්තෝප්පු කෑල්ලකුයි කුස්සියකුයි තිබුණා.
‘ෂිවා වාඩි වෙන්න කියලා’ රූබන් මාව වාඩි කරලා ගේ ඇතුළට ගියා.’’
ගේ ඇතුළත කසුකුසුවකි. දෙදෙනා රහසින් මෙන් කතා කළද දෙදෙනාට නොදැනී උස් හඬින් කතා කරති.
‘‘උඹ මොකක්ද මේ කරපු වැඩේ? කාගේ කවුද, මොනවද කරන්නෙ කිසි දෙයක් දන්නෙ නැතුව එක්කරගෙන ආවා. ඒ ළමයගෙ අම්මලා තාත්තලා ඇවිත් මොනවා කියයිද දන්නේ නැහැ. අනිත් අතට හමුදාව, පොලිසිය ඇවිල්ලා චෙක් කරද්දි, මේ ළමයා කවුද කියලා අහද්දි දෙන උත්තරේ මොකක්ද? අනිත් එක ෆැමිලි කාඩ් එකේ (යුද සමයේදී උතුරේ පදිංචිකරුවන්ගේ නිවාස සඳහා ග්‍රාම නිලධාරී හා පොලිසිය මාර්ගයෙන් නිකුත් කර ඇති කාඩ්පතකි. එම කාඩ්පතේ නිවසේ පදිංචිකරුවන්ගේ නම, වයස, උපන්දින හා හැඳුනුම්පත් අංක සඳහන් අතර එම පිරිසේ ඡායාරූපයක්ද අමුණා තිබිය යුතුය) මේ ළමයගෙ නම නැතිව හමුදාව, පොලිසිය අහද්දි අපි දෙන උත්තරේ මොකක්ද?’’
රූබන්ගේ මව ආඬපාලි කියන්නට වූවාය.
‘‘අනේ අම්මේ මගේ යාළුවො මාර්ගයෙන් විස්තර හොයලා බැලුවා. ෂිවාගෙ තොරතුරු ලැබුණා. එයාගෙ අයියා ප්‍රංශයේ ඉන්නේ. මෙයත් ප්‍රංශයට යන්න ඉන්නෙ. ඒ වැඩවලට කොළඹට යන්න වෙනවා. යාපනයේ ඉඳලා කොළඹට යන්න කරදර නිසා (එකල යාපනය–කොළඹ ගොඩබිම් ගමන් මාර්ගයන් වසා දමා තිබිණි) වව්නියාවට ඇවිත් ඉන්නෙ.’’
රූබන්ද නිදහසට කරුණු කියන්නට වූහ.
‘‘එවලෙනම් මට හිතුණෙ කබලෙන් ලිපට වැටුණා වගේ කියලා. ඕන දෙයක් වෙච්ච දෙන් කියලා තනියම ආපහු යන්නත් හිතුණා. ඒත් යන්න පාරවල් දන්නෙත් නැහැ. නගරේ වගේ නෙමෙයි ගමක් නිසා පිට කෙනෙක් බව ගමේ අය දැන ගන්නවා. ඒක මගෙ ආරක්ෂාවට හොඳ නැහැ. ඒ නිසා එන ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා හිතාගත්තා.’’
සනත් ප්‍රියන්ත