කන කර පළඳන ආභරණ වල කල්පැවැත්මට මේ ටික දැනගන්න…
බොහොම ඉස්සර දවසක පෙතිගම්මන කියන ගමේ ජීවත් වුණා පෙතන්ගොඩ බිසව කියලා කාන්තාවක්. ඇය බොහොම හොඳින් පිංදහම් කරගෙන ජීවත් වුණු බෞද්ධ මහෝපාසිකාවක් කියලයි පොතපතේ සඳහන් වෙන්නේ. ඒ කාලේ දරුණු නියඟයක් ඇවිල්ලා මේ ගමේ ගම්වැසියන් ඒකෙන් බැටකද්දී මේ පෙතන්ගොඩ බිසවට ඕනෑ වුණාලු තමන්ගේ ගම්වාසීන් මේ නියඟයෙන් ආරක්ෂා කරගන්න. එහෙම අධිෂ්ඨාන කරගෙන ඉන්නකොට ඇය එක දවසක සිහිනයක් දැක්කලු. මේ සිහිනයෙන් පෙන්නුම් කරලා තිබුණේ ළිඳක් හාරන්න සුදුසු තැනක් පිළිබඳව. ඉතින් මේ සිහිනයට පස්සේ වහාම එතැන ළිඳක් හාරන්න කියලා බිසව රාජපුරුෂයන්ට අණ කරලා.
අර කිව්වත් වගේ රාජපුරුෂයා ළිඳේ කැණීම් කටයුතු කරද්දී එකපාරටම එතැනින් මහා දිය උල්පතක් මතුවුණා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ ළිඳට දාර හතක් තිබුණු නිසා පෙතිගම්මන දාර හතේ ළිඳ කියලා තමයි පසුකාලීනව මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ජනප්‍රවාදවලට අනුව නම් කවදාවත් මේ ළිඳේ වතුර හිඳෙන්නෙ නෑ. ඔහොම ටික දවසක් යනකොට පෙතංගොඩ බිසවට ආව සතුරු ආක්‍රමණයක් නිසා ඇයට මේ ගමෙන් පලායන්න සිද්ධ වෙලා. එහෙම යද්දී ඇය තමන්ගේ සියලුම ආභරණ මේ ළිඳේ තමයි සඟවලා ගිහින් තියෙන්නේ. ආක්‍රමණ සියල්ලටම පස්සේ ආපහු තමන්ගේ රාජධානියට එනකොට පෙතංගොඩ බිසවට තමන් හංගපු ආභරණ පොට්ටනිය ළිඳ ඇතුළේ තිබිලා හම්බ වුණාලු. හැබැයි ළිඳේ සඟවන්න කලින් ආභරණවල තිබ්බ දිස්නේ නම් ඒ විදියටම තිබිලා නෑ. ඉඩෝරයට ජල උල්පතක් හොයාගත්තට පාට ගියපු ආභරණවලට විසඳුමක් එතුමිය හොයාගත්තද නැද්ද කියලා නම් අපි කියන්න දන්නේ නෑ.
හැබැයි පෙතංගොඩ බිසවට එදා මතු වෙච්ච ගැටලුව අදටත් ආභරණ පළඳින බොහෝ තරුණියන්ට නැතුව නෙවෙයි. ඉතින් ඒ නිසා රන්, රිදී, සුදු රත්තරන්, රෝස රත්තරන්, ඉමිටේෂන්, මිශ්‍ර ලෝහ, තඹ, පිත්තල වගේ මොන මූලද්‍රව්‍යයකින් හදපු ආභරණ පළඳිනවා වුණත් ඒ ආභරණවල කල්පැවැත්ම ගැන සැලකිලිමත් වීම වටිනවා.
රත්තරන්වලට වඩා මිශ්‍ර ලෝහවලින් හදපු ආභරණවල ඉක්මනින්ම මලකඩ බැඳෙනවා. ඒ වගේම ඒවායේ වර්ණ වෙනස් වෙනවා. නැත්නම් දිරාපත් වෙනවා. අද කාලෙ ගොඩක් වෙලාවට රත්තරන්වලට වඩා මිශ්‍ර ලෝහවලින් හදපු ඉමිටේෂන් ආභරණ තමයි අපේ ගොඩක් යුවතියෝ භාවිත කරන්නේ. මොකද ආභරණ සොරුන්ගෙන් පරිස්සම් කරගෙන රත්තරන් මාලයක් කරාඹු දෙකක් දාගෙන පාරේ යනවා කියන එකත් මේ කාලෙ හැටියට අභියෝගයක්. හැබැයි මේ ඉමිටේෂන් ආභරණ පාවිච්චි කරද්දී ඒවයේ සංයුතිය වෙනස්වීම නිසා විවිධ ගැටලු ඇති වෙන්නේ අපි ඒ ආභරණ පාවිච්චි කිරීමේ පවතින දුර්වලතා නිසාමයි. ඒ නිසා එහෙම ආභරණ පාවිච්චි කරන අය මේ ගැනත් ටිකක් හිතන්න.
ඔයා නිතරම වගේ ආභරණ පළඳින කෙනෙක් නම් ආභරණ වෙන වෙනම ගබඩා කරන්න පුළුවන් විදියේ මිනි කන්ටේනර් බොක්ස් එකක්, ආභරණ බහාලනයක් ඔයා ළඟ තියාගන්න එක වැදගත්. මෙතැනදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි එක ආභරණයක් තවත් ආභරණයක් එක්ක නොගැටෙන විදියට ආභරණ තැන්පත් කරන්න ඕන කියන එක. ආභරණ වෙන් වෙන්ව තියන්නයි ඕන. මොකද කිව්වොත් ලෝහ ලෝහත් එක්කත් ප්‍රතික්‍රියා කරන නිසා විවිධ ලෝහ වර්ගවල ආභරණ එකට ගැටුනහම ආභරණවල මල බැඳීම ඉක්මනින් සිද්ධවෙන්න පුළුවන්.
මෙහිදී ආභරණ තැම්පත් කරන බොක්ස් එක හිරුඑළිය නොවැටෙන ස්ථානයක නොතබා කාමර උෂ්ණත්වයේ තිබීම වැදගත්. ඒ වගේම ඒ බහාලනය වියළි තත්ත්වයේ පැවතීමත් අවශ්‍යයි.
ආභරණයක් පළඳලා ඉවර වුණාට පස්සේ ඒ ආභරණය මෘදු රෙදි කැබැල්ලකින් පිහින්න අමතක කරන්නත් එපා. එතකොට ආභරණවල නිතරම දූවිලි තැන්පත් වෙන එක අවම වෙනවා වගේම ආභරණයේ පැවැත්මටත් හානියක් වෙන්නෙ නෑ.
ආභරණ මලකඩ කන්න ප්‍රධාන හේතුවක් තමයි ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීම. ඒ නිසා ඔයා දාගෙන ඉන්න කරාඹු දෙක, මාලය, බ්‍රේස්ලට් එක ස්නානයට කලින් ගලවලා අරන් තියන්න. පිහිනුම් තටාකවලට බහිනකොටත් ආභරණ පසෙකින් තියලා ඉන්න එක හුඟක් වැදගත්. ඒ වගේම තමයි මුහුදු වෙරළක් වගේ ස්ථානයකට යනවනම් ආභරණ නොපළඳින එක ඉතා සුදුසුයි. මොකද ලවණ මිශ්‍ර ජල අංශු ආභරණවල ගැටුණහම මලකඩ කෑමේ සම්භාවිතාවය සාමාන්‍ය ජල අංශුවලට වඩා වේගවත්ව සිද්ධ වෙනවා.
හදිසියේ හරි ඔයාගෙ ආභරණ ජලය සමඟ ගැටුණොත් ඔයාට හැකියාවක් ලැබුණ විගසම ආභරණ මෘදු රෙදි කැබැල්ලකින් පිරිසිදු කරලා වියළි ස්ථානයක ගබඩා කරන්න. ඒකෙන් ආභරණයට වෙන්න තියන හානිය යම්තාක් දුරකට අවම කරගන්න ඔයාට පුළුවන්.
ගොඩක් වෙලාවට ඇතැම් යුවතියෝ ආභරණ කොලෝන් වර්ග සහ සුවඳ විලවුන් වර්ගවලින් පිරිසුදු කරනවාත් දක්නට ලැබෙනවා. නමුත් මේකෙනුත් සිද්ධ වෙන්නේ ඍජුව සුවඳ විලවුන් හා ගැටීම නිසා ආභරණ මල බැඳීම වේගවත් වීම. ඒ නිසා ඔයා ආභරණ පළඳින්න කලින් සුවඳ විලවුන් භාවිතා කරලා ඊටපස්සේ ආභරණ පැළඳීම සිදුකළ යුතුයි. සුවඳ විලවුන් වර්ග විතරක්ම නෙමෙයි විවිධ රසායන වර්ග මිශ්‍රවෙලා තියන ක්‍රීම් වර්ග, බොඩිලෝෂන් වර්ග නිසාත් ආභරණ මලකඩ කනවා.
මේ ආභරණ පරිස්සම් කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඔයා රාත්‍රියේ නිදා ගැනීමට කලින් පැළඳගෙන ඉන්න හැම ආභරණයක්ම ආභරණ බහාලනය තුළ තැන්පත් කිරීම. රාත්‍රී නින්දෙදි මේ ආභරණ නිසා අපේ බාහිර ශරීරයට හානියක් වෙන්න පුළුවන් වගේම ඇඳ ඇතිරිලි, කොට්ට උරවල ආභරණ පැටලීම නිසා ආභරණවලට හානියක් වෙන්නත් පුළුවන්.
මුදු සහ කරාඹු වැනි කුඩා ප්‍රමාණයේ ආභරණවල අවර්ණ නිය ආලේපනයක් ආලේප කිරීමෙනුත් ආභරණ බාහිර ප්‍රතික්‍රියාවලින් වළක්වගන්න හැකියාව තියෙනවා.
ශරීර උෂ්ණත්වය වැඩි කෙනෙක් නම්, නිතරම දාඩිය දාන කෙනෙක් නම් ඔයාගෙ ආභරණ ඉක්මනින්ම වර්ණ විපර්යාසවලට භාජනය වෙන්න තියෙන හැකියාව වැඩියි. ඒ නිසා අව් රශ්මිය සහිත දිනවල නිතර එළිමහනේ ගැවසෙන දිනවල ආභරණ නොපැළඳ සිටීම වඩා සුදුසුයි.
ඉතිං මේ වගේ පුංචි උපක්‍රම හරහා ඔයාට ඔයා පළඳින ආභරණ කල් පැවැත්මක් ඇතුව පිරිසිදුව පිළිවෙලට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ආභරණ වෙනුවෙන් නිතර නිතර මුදල් වැය කරන්න ඕන වෙන්නෙත් නැහැනෙ එතකොට. ඉතිං ඔයත් ඔයාගෙ ආභරණ පරිස්සම් කරගන්න ගමන් මේ ගැන නොදන්න ඔයාගෙ යහළුවටත් ‘ධරණී’ අපි ගෙනාව මේ උපක්‍රම ගැන කියන්න අමතක කරන්න එපා.
පවනි වාසනා