Latest News

රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් රුහුණු විශ්වවිද්‍යාලයෙන්

කෝවක්කා ශාකය මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කරාපිටියේ පිහිටි එම සරසවියේ වෛද්‍ය පීඨයේ ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

කෝවක්කා ශාකයේ රසායනිකයන් පිළිබඳ දීර්ඝ කාලයක් කරන ලද අධ්‍යයනයකින් පසු ව මෙම ඖෂධය නිපදවීමට හැකිවූ බව එහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය පීඨයේ ජෛව රසායාන විද්‍යා අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක කියා සිටියා.

පර්යේෂණයේ ප්‍රතිඵල අනුව කෝවක්කා ශාක පත්‍රයේ රසායනිකයන් රුධිරගත සීනි අඩු කිරීමට සමත්වන බව පර්යේෂකයින් තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව එමගින් ඖෂධීය කරලක් නිපදවීමට යි ඔවුන් පියවර ගෙන තිබෙනවා.

මෙම ඖෂධය සායනික පර්යේෂණ සඳහා යොමුකර ඇති අතර, එය දියවැඩියා රෝගීන් 158 දෙනෙකු යොදා ගනිමින් සිදුකර ඇති බව වාර්තා වනවා.

පර්යේෂණයට එක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ කායික විද්‍යා මහාචාර්ය තිලක් වීරරත්න කියා සිටියේ, මෙම ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

.