උපත් පාලන පෙති බීපු මීයො වෙනදා වගේම ලිංගිකව ක්‍රියාශීලී වුණා
අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමේ මුඛ උපත් පාලන පෙති මෙතෙක් වෙළඳපොළේ තිබුණේ කාන්තාවන් වෙනුවෙන් පමණි. නමුත් දැන් පිරිමින්ටද භාවිත කළහැකි එවැනි උපත් පාලන පෙත්තක් ඇමරිකාවේ නිෂ්පාදනය කර ඇති බව දැනගන්නට ඇත.
පිරිමින් සඳහා එවැන්නක් නිෂ්පාදනය කිරීමට බොහෝ විද්‍යාඥයන් කාලයක් තිස්සේ විටින් විට උත්සාහ දැරුවද ඒ එකක්වත් සාර්ථක වුණේ නැත. නමුත් ඇමෙරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් එම අභියෝගය භාරගෙන පසුගියදා පිරිමින්ටද උපත් පාලන පෙත්තක් නිර්මාණය කළහ. අතුරු ආබාධ රහිතව සාර්ථක පිරිමි උපත් පාලන පෙත්තක් නිපදවූ මුල්ම අවස්ථාව මෙය ලෙසයි සඳහන් වෙන්නේ. අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා එම පෙත්ත 99% ක්ම ඵලදායී බව සතුන් ආශ්‍රිතව කරන ලද අධ්‍යයනයක් හරහා දැනටමත් සනාථ වී ඇත.
“අපි මීයන් යොදාගෙන මේ උපත් පාලන පෙත්තේ සාර්ථක අසාර්ථක බව බැලුවා. එතැනදි අපිට මේ පෙත්ත ඉතා සාර්ථක බව ඔප්පු වුණා.”
එසේ පවසන්නේ මෙම පර්යේෂණයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළ අබ්දුල්ලා අල් තෝමන් ය. ඔහු වැඩිදුරටත් පවසන්නේ නව උපත් පාලන පෙති ලබාගත් පිරිමි මීයන් සමඟ සම්බන්ධ වූ ගැහැනු මීයන්ගේ ගැබ් ගැනීම් වැළකුනු බවයි.
“මේ පෙත්ත ක්‍රියාකරන්නේ ‘RAR’ කියන ජානයක් ඉලක්ක කරගෙන. ශුක්‍රාණු තුළ කළල වර්ධනයටත්, දරු පිළිසිඳ ගැනීමටත් විටමින් ‘A’ කියන අත්‍යවශ්‍ය වගේම තීරණාත්මක පෝෂකය අවශ්‍යයි. විටමින් ‘A’ කියන්නේ රෙට්නොයින් අම්ලයේ ප්‍රකාරයක් වන අතර එය නිපදවීම ඉහත සඳහන් ජානය විසිනුයි සිදුකරන්නේ. එතැනදී මේ පෙත්ත එම ක්‍රියාවලිය අවහිර කිරීමක් සිදුකරනවා.”
එසේ පවසන්නේ පර්යේෂණාගාර ප්‍රධානී මහාචාර්ය ගුන්ඩා ජෝර්ජ් ය. ඔහු පවසන පරිදි එම පර්යේෂණයේදි මීයන්ට සති හතරක් සඳහා ඖෂධය ලබාදුන් විට ඔවුන් වඳ බවට පත්වන තරමට ශුක්‍රාණු ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇත. එසේම එය ලබාදීම නතර කරන ලද සති හතරත් හයක් අතර කාලයේදී නැවත ශුක්‍රාණු වර්ධනය වී සාමාන්‍ය සරු සතුන් බවට එම මීයන් පත්වී තිබේ.
මේ අතර පසුගියදා ඔහු ඇමෙරිකානු රසායනික සංගමයේ වාර්ෂික රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ අදාළ ඖෂධය හා 99% ක් ඵලදායී වූ අතර, කිසිඳු අන්දමක අතුරු ආබාධයක් එම සත්වයින්ට ඇති නොවූ බවයි.
“උපත් පාලන පෙති දීපු මීයෝ වෙනදා වගේ හොඳින් කෑවා බිව්වා. ඒ වගේමයි පැටවුන් උපද්දන්න බැරිවුණත් ඔවුන් ලිංගිකව ක්‍රියාශීලීව හිටියා. ඒ වගේම අපි ඵලදායී මාත්‍රාවට වඩා සිය ගුණයක් වැඩි මාත්‍රාවකට ගිය විට පවා ඔවුන්ට කිසිම අතුරු ආබාධයක් ආවේ නෑ.
1970 වසරේ ඉඳන් ලෝකයේ විද්‍යාඥයෝ පිරිමි උපත් පාලන පෙත්තක් නිර්මාණය කිරීමේ ක්‍රම පිළිබඳව බොහෝ පර්යේෂණ කළා. ඊළඟට එහෙම පෙත්තක් නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒත් අදටත් පිරිමින් වෙනුවෙන් අනුමත කරපු එකම එක උපත් පාලන පෙත්තක්වත් වෙළඳපොළේ නෑ.”
එසේ පවසන්නේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාඥ එම්.ඩී.අබ්දුල්ලා අල් නොමන් ය. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙවැන්නකි.
“දැන් සෞඛ්‍ය ක්ෂේත්රය දියුණුයි. මේ පිරිමි උපත් පාලන පෙත්තත් එහි එක ප්‍රතිඵලයක්. මං විශ්වාස කරනවා ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව ලෝකයේ සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ප්‍රජනන සෞඛ්‍ය පාලනය කරගැනීමට ඉදිරියේදී ඉඩ සැලසෙයි කියලා.”
මේ වනවිටත් ඇමෙරිකාවේ නිෂ්පාදිත මෙම පිරිමි උපත්පාලන පෙත්ත පිළිබඳ ලෝකයේම අවධානය යොමුවී තිබේ. පර්යේෂකයින් පවසන්නේ මේ වසර අවසන්වීමට පෙර එය මිනිසුන් ඇසුරෙන් අත්හදා බැලීමට හැකියාවක් පවතින බවයි. මේ අතර දිනපතා උරහිස මත ගල්වනු ලබන ජෙල් එකක් ලෙස නිර්මාණය වෙන තවත් පිරිමි උපත් පාලන ක්රමයක්ද මේ වනවිට ඇමෙරිකාව විසින්ම සොයාගෙන තිබේ. නමුත් එය තවමත් සායනික පරීක්ෂණ මට්ටමේ පවතියි. ඒ සම්බන්ධව සිටින ප්‍රධාන විමර්ශකයෙක් වන වෛද්‍ය වැන්ග් පසුගියදා පවසා සිටියේ එම ජෙල් වර්ගයද තවත් වසර පහකින් පමණ පිරිමි උපත් පාලන ක්‍රමයක් ලෙස වෙළඳපොළට පැමිණෙනු ඇති බවයි. කෙසේ වෙතත් පිරිමින්ට උපත් පාලන පෙත්තක් හඳුන්වා දීම, අනාගතයේ කුමන අන්දමින් බලපායිද යන්න පැවසීමට තවමත් කල්වැඩිය.
රුවන් එස්.සෙනවිරත්න