සිංහල වචන කතා කරගන්න බැරිවුණාට එයාලා බෙරපද, වන්නම් හරියටම කියනවා
“දුවේ, ඔයා කවදාහරි හොඳට නැටුම් ඉගෙනගන හොඳ නැට්ටුක්කාරියක් වෙනවා දකින්නයි මට ඕන.”
මහේෂිකාට යන්තම් හය හතර තේරෙන වයසට එද්දී ඇගේ සීයා මන්තරයක් ජප කරන්නා සේ දිගටම එහෙම කිව්වේය. මහේෂිකා එරංගි නැටුමට උපන් හපන්කම් ඇති දැරියක් කරන්නට සීයාට තිබුණේ එසේමෙසේ උනන්දුවක් නම් නොවේ. විටෙක කන්දොස්කිරියාවක් වූ සීයාගේ මේ නැටුම් කතාවට ඇයට තරහා ආ වෙලාවල්ද තිබුණි. නමුත් මහේෂිකාගේ හිතෙත් ඒ වනවිට නර්ථනය ගැන මොකක්දෝ ආසාවක් අතු ඉති දා වැඩෙමින් නොතිබුණාම නොවේ.
“මං ඉස්කෝලේ ගියේ බොරැල්ල කන්නන්ගර මහා විද්‍යාලයට. ඒ කාලේ ඉඳන්ම මං නැටුම් ඉගෙනගත්තා. අට වසරේ ඉඳන් උසස් පෙළ දක්වාම බුධවත්ත රංගායතනයෙන් උඩරට නර්තනය හැදෑරුවා. ඒ වගේම පත්මිණි දහනායක මිස්ගේ රංගායතනයෙන් භරතනාට්‍යම් ඉගෙනගත්තා. භරතනාට්‍යම් විශාරද විභාගය දක්වාත් කළා. කොහොමින්හරි අන්තිමට නැවතුණේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්ථන උපාධිධාරිනියක් වෙලා.”
මහේෂිකා සීයාගේ බලාපොරොත්තු ඉටුකළේ එහෙමය. ඇය හැකි පමණින් නර්ථනයේ ඇසිදිසි මානයන් සොයා ගියාය. නමුත් 2018 වසරේ විවාහ දිවියට එළැඹ ඉතාලියේ පදිංචියට යාමත් සමඟ ඈ ආ ගමන් මාර්ගය එක්වරම වෙනස් විය. උගත් දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිවීම ගැන ඇය සිටියේ පසුතැවීමෙනි .
“ඒ නිසා සෑහෙන්න හිතලා අන්තිමට මම ඉතාලියේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික නර්ථනය උගන්වන පන්තියක් පටන්ගත්තා. එහෙම දේකට මුලපුරන්න හේතු දෙකයි තිබුණේ. එකක් තමයි මට ඕනකම තිබුණා මං ඉගෙනගත්ත දෙයින් වැඩක් ගන්න. අනෙක තමයි යුරෝපීය රටක් වෙන ඉතාලිය වගේ රටක ජීවත්වෙන අපේ දරුවන්ට අපේ කලාව උගන්වන්න තිබුණු ආසාව. මොකද මං ඉතාලියේ හිටියට ලංකාවේ කලාවට ගොඩාක් ආදරෙයි.”
නටන්න බැරි උදවිය පොළොව ඇදයි කීවාට දේශීය නැටුමට උපන් හපන්කම් ඇති මහේෂිකාට ඉතාලි පොළොවත් පෙනුනේ පංකාදු පහටය. ඒ නිසා සියලු අභියෝග සුබ ලකුණු සේ දකිමින් ඈ ඉතා සාර්ථකව පන්තිය කරගෙන ගියාය.
“මේ පන්තියට එනකොට දරුවන්ට හරියට සිංහල කතා කරන්නවත් බෑ. මුල්ම දවස්වල නම් එයාලට අපේ බෙරපද, වන්නම් එහෙම කියද්දි වෙන වෙන දේවල් තමයි කියැවුණේ. ඒත් මේ වෙනකොට ඔවුන්ට අපේ වන්නම් ගායනය වගේම බෙරපදත් ඉතාම හොඳින් උච්චාරණය කරන්න පුළුවන්.”
ඉතාලියේ ඉපදුණු ලාංකීය දරුවන්ට නර්ථනය උගන්වන ගමන් ඇය අපූරු හීනයක් දකින්නීය. ඒ එරටේ ලාංකීය සම්ප්‍රදායික නර්ථන කලාව ප්‍රචලිත කිරීමටයි. එසේම ඉතාලි දරුවන්ට ලාංකීය නර්ථනය ඉගැන්වීමටද ඇය සැලසුම් කරන්නීය.
“ඉතාලි දරුවොත් ලංකාවේ නර්ථනය ඉගෙනගන්න උනන්දුයි. ඉතාලි ජාතිකයන් නිතරම මගේ පන්තියට ඇවිත් ඒක කියනවා. ඒ වගේම කියන්න ඕන ඉතාලි ජාතික ප්‍රසිද්ධ ඉන්දියානු නර්ථන ශිල්පිනියක් වෙන රොසෙල්ලා ෆැනෙල්ලි මේ වෙනකොට අපි එක්ක එකතුවෙලා වැඩමුළුවක් පවත්වන්න ආසාවෙන් ඉන්නේ. ඇයත් අපේ ලාංකීය නර්තන කලාවට ආසයි. ඇත්තටම අපිට අපේ කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් නර්ථන කලාවක් තියෙනවා. ඒක අපි රැකගන්න ඕන. මට ඕන දවසක අපේ නර්ථන කලාව ජාත්‍යන්තරයට අරන් යන්න.”
මහේෂිකා ඉතාලියේ සිට අපේ සම්ප්‍රදායික නර්ථනය රැකගැනීමට ගන්නා උත්සාහය අගය කරන අතරම ඇය අරමුණු කරන්නා සේම යුරෝපයේ දේශීය නැටුම් කලාව ප්‍රචලිත කිරීමටත් ශක්තිය ලැබේවා යන්නයි අපේ ප්‍රාර්ථනය.
රුවන් එස්.සෙනවිරත්න