මැලේසියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට රු 5,015,000ක මුදලක් ලබා ගෙන සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වනවා.
සංචාරක වීසා මගින් මැලේසියාවට යාම සඳහා පසුගිය 4 වනදා ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අදාළ පුද්ගලයින්ගේ ලේඛන පිළිබඳව සැක සිතූ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසීමේදී මැලේසියාවේ රැකියා සඳහා යන බව තහවුරු කරගෙන තිබෙනවා.
පසුව ඔවුන්ගේ විදේශගත වීම වළක්වා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ඔවුන්ව භාරදී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න මගින් අනාවරණය වී ඇත්තේ තංගල්ල ප්රදේශයේ කාන්තාවකට මුදල් ගෙවා මෙලෙස විදේශගත වීමට වීසා ගෙන්වා ගත් බවයි.
එහිදී විමර්ශන නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට තංගල්ල ප්රදේශයේ ඇයගේ නිවසට ගිය ද ඒ වනවිටත් ඇය නිවසෙන් පළා ගොස් තිබුණා.
පසුව එම කාන්තාවගේ පුත්රයාට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
එහිදී අදාළ කාන්තාව සිය ස්වාමියා සමග පැමිණ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා පසුව මීගමුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී අදාළ කාන්තාව විසින් පැමිණිලිකරුවන්ගෙන් ලබාගත් සියලුම මුදල් ගෙවන බවට අධිකරණයේ දී පොරොන්දු වී තිබෙනවා.