තමන්ට තමන් විශ්වාසනම් මුලින් සීනිබෝල හදලා විකිණුවත් මොකද?
80 – 90 දශකවල ලෝකයේ බොහෝමයක් ක්ෂේත්‍රවල මුල්පුටුවලට පත්වෙලා හිටියේ පිරිමි. ඒත් 90 දශකයේ අගභාගය වගේ වෙනකොට ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් වුණා. උදාහරණයක් විදියට ගත්තොත් ඇමෙරිකානු ජෙනරල් මෝටර්ස් සමාගම කියන්නේ දැනට ලෝකයේ තියෙන ප්‍රධාන මෝටර් රථ සමාගමක්. 2014 වසරේ එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වෙන්න මේරි බර්රාට හැකියාව ලැබුණා. ඇගේ පත්වීම සැලකුනේ ලොව ප්‍රධාන මෝටර් රථ සමාගමක එම ධුරයට පත් පළමු කාන්තාව විදියට. ඒ නිසාම එයින් අවුරුද්දක් ගිය තැන 2015දී ෆෝබ්ස් ලැයිස්තුවට අනුව ලොව බලවත්ම කාන්තාව වෙන්නත් ඇයට පුළුවන් වුණා.
එතැනින් ගියාම කලක් ලොව විශාලත්වයෙන් දෙවැනි ආහාරපාන නිෂ්පාදන ආයතනය වන ඉන්දියාවේ පෙප්සි කෝලා සමාගමේ ප්‍රධාන විධායක නිලධානිය වූ ඉන්ද්‍රා නූයි, අධිතාක්ෂණික ආරක්ෂක ගුවන්යානා තාක්ෂණ සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන ඇමෙරිකාවේ Lockheed Martin සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වූ මර්ලින් හෙව්සන්, තුර්කියේ දෙවන විශාලතම කාර්මික හා මුල්‍ය සමාගම වන Sabanci Holding අධ්‍යක්ෂිකාව වූ ගුලර් සබන්සි, ප්‍රංශයේ විදුලි උත්පාදක සමාගමක් වන Engies හි ප්‍රධාන විධායක නිලධානිරිය වූ ඉසබෙල් කෝචර් වැනි අයත් ඒ ගොඩට අයිතියි.
අපේ රටෙත් මේ වගේ කාන්තා චරිත කිහිපයක්ම අපිට නම් කරන්න පුළුවන්. අද අපේ කතාබහට එකතුවෙන මනෝජි වඩුගොඩපිටිය කියන්නෙත් එහෙම චරිතයක්. ඇය තමයි ලංකාවේ පෞද්ගලික ජලවිදුලි බලාගාරයක් වෙන ‘PAMS HYDRO POWER’ සමාගමේ අයිතිකාරිය. ඉතින් විදුලි බලය උත්පාදනය වැනි තරඟකාරී නිෂ්පාදන ක්ෂේත්‍රයක නියැළෙන ඇය එක්කයි මේ කතාබහ.
“පුංචි කාලේ ඉඳන් මගේ එක පුරුද්දක් තිබුණා. ඒ තමයි මට දෙයක් හිතුණොත් ඒක කරලම තමයි පස්ස බලන්නේ. එහෙම හිතපු දෙයක ප්‍රතිඵලයක් තමයි මගේ ජලවිදුලි බලාගාරය. මට ආසාව තිබුණේ හැම කාලයේම ආදයම් උපයාදෙන ලොකු ඉල්ලුමක් තියෙන මගේම ව්‍යාපාරයක් කරන්න. ඒත් ඒක විදුලි බලාගාරයක් වෙයි කියලා මං හිතුවේ නෑ.”
නමුත් මනෝජි අවසානයේ නැවතුණේ ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 3.5ක විදුලිබල ධාරිතාවක් උපයා සපයාදෙන ‘PAMS HYDRO POWER’ සමාගමේ අයිතිකාරිය වෙලා. ඒක තමයි මේ වෙනකොට අපේ රටේ කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන එකම පෞද්ගලික ජලවිදුලිබල උත්පාදන සමාගම. එහි ආරම්භය ගැන මනෝජි කිව්වේ මෙහෙමයි.
“මං උසස් පෙළ කළේ නීතිඥවරියක් වෙන්න හිතාගෙන. ඒත් ලකුණු පහක් මදිවෙලා මට ඒ හීනයට යන්න බැරිවුණා. ඔය අතරේ මං දැක්කා එයාර්ලංකා එකට ගුවන් සේවිකාවෝ බඳවාගන්නවා කියලා පත්තරේක දාපු දැන්වීමක්. පස්සේ මං ඒකට ඉල්ලුම් කළා. මට ඒ රැකියාව ලැබුණා. අවුරුදු හයක කාලයක් ගුවන් සේවිකාවක් විදියට සේවය කළා. මං විවාහවුණේ වෛද්‍යවරයෙක් එක්ක. එයාට පෞද්ගලික රෝහලක් තිබුණා. ඉතින් මං ඒ වෙනකොට කරමින් හිටපු රැකියාවෙන් අයින්වෙලා සැමියගේ රෝහලේ පරිපාලනය අතට ගත්තා.”
ඔන්න ඔය කාලේ තමයි මනෝජි අද ඉන්න තැනට එන්න පාර කැපුණු කාලේ. ඇගේ ඒ කතාව ඇහුවම උත්සාහය තියෙනවා නම් ගැහැනුන්ටත් කරන්න බැරි දෙයක් නෑ කියලයි අපට හිතුණේ.
“මගේ සැමියගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඒ කාලේ එයා ලොකු විදුලිබලගාරයක් හදමින් හිටියා. මමත් එතැන වැඩට ගියා. ගිහින් ඒ දේවල් ඉගෙනගත්තා. ඔය අතරේ මට හිතුණා මමත් විදුලිබලාගාරයක් හදන්න ඕනේ කියලා. මං ඒක සැමියට කිව්වට පස්සේ එයත් ඒකට කැමති වුණා. ඒත් ඒකට මට තැනක් තිබුණේ නෑ. ඔය කාලේ මට ආරංචි වුණා කිතුල්ගල, අර්සුලාන පැත්තේ ගඟක් ළඟ තියෙන අක්කර පනහක ලොකු ඉඩමක් ඩොලර්වලට විකුණන්න යනවා කියලා. ඒ වෙනකොට මං ගුවන් සේවිකාවක් විදියට සේවය කරපු කාලේ එකතු කරපු ඩොලර් ටිකක් තිබුණා. මං ඒවගෙන් අර ඉඩම ගත්තා. ඒ අරන් තමයි ජල විදුලිබලගාරය හැදුවේ.”
මේ වෙනකොට මනෝජිගේ ‘Pams Hydro’ ජලවිදුලි බලාගාරය ආරම්භ කරලා අවුරුදු 16ක්. 2003දී ඉදිකිරීම් ඇරඹුණු එයින් 2007 වසරේ සිට මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 3.5ක විදුලිබල ධාරිතාවක් උපයා සපයාදෙන බවයි මනෝජි අපිට කිව්වේ.
“Pams Hydro අපේ ජලවිදුලිබලාගාරය තියෙන්නේ කලවැල්දෙනියේ, ගිනිගත්හේන කිතුල්ගල ප්‍රදේශයේ. ඒක දැනට ලංකාවේ හොඳටම ක්‍රියාත්මක වෙන ජලවිදුලිබලාගාරවලින් එකක්. ඒ හරහා අවට ගම්වල බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලැබිලා තියෙනවා.”
මනෝජි කියන විදියට ඇගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට රහස එක්ව කටයුතු කිරීමලු. ඉංජිනේරුවන් ප්‍රමුඛව සියයකට අධික සේවක සේවිකාවන් පිරිසක් විදුලිබලගාරයේ සේවය කළත් ඔවුන් එහි සේවක සේවිකාවන් නොව කොටස්කරුවන් බවයි ඇය සඳහන් කරන්නේ. හදිසි අසනීප තත්ත්වයක් නිසා සැමියාගේ සමුගැනීම තමාගේ ගමනට දැඩි අභියෝගයක් වූ මොහොතක ඔවුන් ඇයව අත්නොහැර සිටීමම තමාට විශාල ශක්තියක් වූ බව මනෝජි කිව්වේ ටිකක් සංවේදීවෙමින්.
“මේ වෙනකොට විදුලිබලගාරයෙන් ලැබෙන ආදායමෙන් හතරෙන් එකක් මං සමාජ සුබසාධනය වෙනුවෙන් යොදවනවා. ඒ හරහා ආගමික ස්ථාන නඟාසිටුවීම, වැඩිහිටි නිවාසවලට පිහිටවීම වගේ දේවල් කරනවා. අනික තමයි ‘Simply Women’ ව්‍යාපෘතිය. ඒක අපි ආරම්භ කළේම දුකට අසරණභාවයට පත්වුණු කාන්තාවන්ට පිහිටවීමේ අරමුණින්. අපේ රටේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ අයට අපි ‘Simply Women’ ව්‍යාපෘතිය හරහා මේ වෙනකොටත් බොහෝ දේවල් කරලා තියෙනවා.”
මේ අතර 2018 අවුරුද්දේ මනෝජි තමන්ගේ විදුලිබලගාරය සමීපයෙන් තවත් ව්‍යාපාරයකට අතහැහුවා. ඒ සොබාදහමට ඇලුම් කරන විදේශීය සංචාරකයින් ඉලක්ක කරගෙන පරිසර හිතකාමී සංචාරක නිකේතනයක් ඉදිකිරීම. ඒක තමයි ‘Arsulana Eco Lodge’ කියන්නේ. ඒ ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්.
“මං කොහොමත් ව්‍යාපාරික ක්ෂේත්‍රයට කැමතියි. ව්‍යාපාර කීපයක් කරන එකේ වරදක් මං දකින්නේ නෑ. මොකද එක ව්‍යාපාරයක් වැටුණොත් අනික තියෙන නිසා බයක් නෑ. සාර්ථක වෙන්න ඕනම කාන්තාවකට පුළුවන්. ඒකට තමන් ගැන විශ්වාසයක් ඇතිකරගන්න ඕනේ. මං හිතන දෙයක් තමයි කිසිම කාන්තාවක් පිරිමියෙකුගෙන් යැපෙන තැනට පත්වෙන්න උවමනා නෑ. පොඩියට හරි ආදායම් මාර්ගයක් හොයාගන්න ඕනේ. ඒ වෙනුවෙන් මුලදි සීනිබෝල හදලා විකුණුවත් කමක් නෑ.”
මනෝජිගේ කතාව ඇත්ත. අද ලෝකයේ ඉහළට ගිහින් ඉන්න බොහෝමයක් කාන්තාවෝ ඒ තැනට ගිහින් තියෙන්නේ හරි පුංචි තැන්වල ඉඳලා. මනෝජිත් එහෙමයි. ඇය ඉපදිලා තියෙන්නේ මහනුවර. අම්මා, තාත්‍තා ඇරුණම ඇයට ඉන්නේ අක්කයි, මල්ලියි. ඉතින් ඇය ආ ගමන දුෂ්කර වුණත් ඒ ගමන්මගේ ජයග්‍රහණ ගැන කතා කරන්නත් අමතක කළේ නෑ.
“පසුගිය ජනවාරි 11 වැනිදා මට ශ්‍රී ලංකාවේ සාර්ථකම ව්‍යවසායිකාවට හිමි රිදී සම්මානය ලැබුණා. ඒ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අතින්. ඒ වගේම දකුනු ආසියා කලාපයේ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් විදියට මට විවිධ රටවලින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායිකයින් දිරි ගැන්වීමට හා දැනුවත් කිරීම සඳහා සම්පත් දායිකාවක විදියට ආරාධනා ලැබෙනවා. තව ලෝක කාන්තා ව්‍යවසායිකයින්ගේ සමුළුව පවා අවස්ථා කීපයකදිම අමතලා තියෙනවා.”
මනෝජි එහෙම කියද්දි අපිටත් ඇය ගැන ආවේ ලොකු ආඩම්බරයක්. ඒ ඇය අපේ රටේ කාන්තාවක් නිසා. ඉතින් වැඩ ගොඩක් එක්ක සතුටින් ජීවිතය දරන මනෝජිට සමුදෙන්න කලින් අපි ඇයට පුංචි ඉල්ලීමක් කළා. ඒ දාසය වසරක් පුරාවට ජාතික විදුලිබල පද්ධතියට දායකත්වය දක්වන එකම ලාංකික කාන්තාව විදියට ‘ධරණී’ කියවන කාන්තාවන්ට යමක් කියන්න කියලා. ඇය කිව්වේ මෙහෙම කතාවක්.
“ගොඩාක් අය හිතන්නේ කාන්‍තාවන් කියන්නේ නැතිබැරිකම් හෝ අහිමිවීම් හමුවේ හඬා වැටෙන්න උපන් පිරිසක් කියලා. ඒත් මං හිතන්නේ කාන්තාවක් කියන්නේම අභියෝග හමුවේ නොසැලී ධෛර්යය පෙරදැරිව ජයග්‍රහණය කරා ගමන් කළ හැකි පිරිසක් කියලා. මොකද කාන්තාවන් සතු ශක්තිය අප්‍රමාණයි. උත්සාහය, ධෛර්යය අනන්තයි. ඔවුන්ට එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒකට ගැහැනුකම කිසිම බාධාවක් නෙවෙයි. අර මං මුලින් කියපු විදියට ලැජ්ජා නොවී සීනිබෝල හදන තැනකින් හරි පටන්ගන්න. වැඩේ හරියට කළොත් ඔබටත් මං වගේ සාර්ථක ගැහැනියක් වෙන්න පුළුවන්.”
රුවන් එස්.සෙනවිරත්න