තට්ටු 81ක් පඩි බැස දිවි බේරාගත් දුහුවිලි ගැහැනිය – මාසි බෝඩර්ස්
මිලක් නියම කළොත් මේ දිනවල වැඩිම වටිනාකම හිමිවන්නේ මෙතෙක්කල් නොමිලේ ඉහළට ගත් හුස්ම ටිකටය. ඒ අන් හැමදේටම වඩා හුස්ම යදින මිනිසුන් වැඩිවී ඇති නිසාය. එලෙස ජීවිතය වෙනුවෙන් තනි තනිව සටන් වදින මිනිසුන් කොතෙක් ඇතිද? මාසි බෝඩර්ස් ද එවැන්නියකි. මහා ඛේදවාචකයක වින්දිතයකු වීමට ඇයට කිසිසේත් අවශ්‍ය වූයේ නැත. එනිසාම ඈ තනිව සටන් කළාය. මේ ඇගේ කතාවයි.
2001 අගෝස්තු මාසයේදී මාසි බෝඩර්ස් ඇමරිකානු බැංකුවේ සිය නව රැකියාව ඇරඹුවාය. නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳපොළ ද්විත්ව ගොඩනැගිල්ලේ උතුරු කුලුනේ අසූ එක්වන මහලෙහි ඇගේ සේවා ස්ථානය පිහිටා තිබිණ. සැප්තැම්බර් එකොළොස් වන අඟහරුවාදා ඇය සුපුරුදු ලෙස සේවයට වාර්තා කළාය. වෙනදා මෙන්ම සුන්දර ලෙස පිළිවෙළට සැරසී සිටි විසිඅට හැවිරිදි ඇය සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරත වූවාය. උදෑසන 08.46 වනවිට ගොඩනැගිල්ලේ අසාමාන්‍ය කම්පනයක් ඇතිවෙද්දී කිසිවකුට කිසිවක් සිතාගත නොහැකි විය. අල්ක්වයිඩා සාමාජිකයන් විසින් පැහැරගනු ලැබූ ගුවන්යානයක් කුලුනෙහි අනූ තුන්වන සහ අනූ නවවන මහල් අතර ගැටී තිබිණ. මාසි බෝඩර්ස් සිදුවීමෙන් මහත් කම්පාවට පත් වූවාය.
“මගේ මිතුරන් මාව සන්සුන් කරන්න උත්සාහ දැරුවා. ඔවුන් මට කිව්වා ගැඹුරින් හුස්ම ගන්න කියලා. ඒත් ගොඩනැගිල්ල සෙලවුණු විදියට මට තවත් එතැන රැඳී සිටීමට හැකි වුණේ නෑ.”
ජනෙල් කවුළු අතරින් දුටු දර්ශන නිසා ඇය තවත් භීතියට පත් කළාය. පුටු, මේස පමණක් නොව මිනිසුන්ද පහළට වැටෙන අයුරු ඇය දුටුවාය. කළමනාකරුගේ උපදෙස් නොතැකූ ඈ තරප්පු පෙළ වෙත දිව ගියාය. මහල් 81ක් පඩි බැසීමට තිබුණත් ඇය ඒ ගැන දෙවරක් සිතුවේ නැත. නමුත් තරප්පු බසින අතරතුර දුටු දේවල්වලින් ඇය තව තවත් කම්පා විය.
“වීදුරුවලින් ඈත් වෙන්න, විදුරුවලින් ඈත් වෙන්න කිය කිය මිනිස්සු කෑ ගැහුවා. සමහරුන්ගේ සිරුරුවලට විවිධ ද්‍රව්‍ය කිඳා බැහැලා. ඇතැමුන්ගේ හිස් ගිනිගන්නා අයුරු මම දැක්කා. මට තව ඉතිරිව ඇත්තේ මොනවද කියලා ඒ වෙලාවෙ හිතන එකත් පිස්සුවක්.”
පටු තරප්පු පෙළ දිගේ මාසි පහළට ගමන් ගද්දී ගිනි නිවන නිලධාරීහු ඉහළට ගමන් කළහ. දිවි ගලවා ගැනීමට දිව යන්නන්ට ඔවුන් උපදෙස් දුන්නේ පසු නොබලා දුවන ලෙසයි.
මේ අතර උදෑසන 09.03 වනවිට තවත් යානයක් දකුණු කුලුනෙහි ගැටීමට ප්‍රහාරකයන් ඉඩ සලස්වා තිබිණ. ද්විත්ව ප්‍රහාර සමඟ ගොඩනැගිල්ලට ගිනි ඇවිලුණි. එදින ගොඩනැගිල්ලේ සිටි 17,400 ක් පමණ වූ අය අතුරින් ඉහළ මහල්වල සිටි පුද්ගලයන්ට ගැලවීමේ මගක් නොවීය. නිව්යෝර්ක් නගරය දුමින් වැසී ගියේය.
දකුණු කුලුන බිමට පතිත වද්දීම වාගේ වම් කුලුනෙන් පිටතට පැමිණීමට මාසි බෝඩර්ස් සමත් වූවාය. ඊට පෙර ඇගේ රුව නිදහස් ඡායාරූප ශිල්පිනියකගේ කැමරා කාචයට හසුවිය. ඒ හිසේ සිට දෙපතුල දක්වා දුහුවිල්ලෙන් වැසී තිබියදීය. AFP වෙනුවෙන් සේවය සැපයූ ස්ටැන් හොන්ඩා ඡායාරූපයේ හිමිකාරියයි. දූවිලි අතරින් පැමිණීම ගැන බෝඩර්ස් පසු කලෙක අදහස් පළ කළාය.
“හුස්ම ගන්න හැම වාරයකදීම මගේ මුව දූවිල්ලෙන් පිරුණා. මගෙ හුස්ම හිරවුණා. මගේ අත මූණ ඉදිරියට ගෙනාවත් දකින්න බැරිවුණා. ඒ තරමට පරිසරය දූවිල්ලෙන් වැහිලා. මං මටම කියාගත්තා මට මැරෙන්න බෑ කියලා. මං හයියෙන් කෑ ගැහුවා මට මැරෙන්න බෑ කියලා.”
මහල් 110 කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල පැය දෙකකට අඩු කාලයකදී බිමට කඩා වැටුණේ සුන්බුන් සහ දූලි වළාවක් නංවමිනි. ගුවන්යානා හතරක් පැහැරගෙන මෙම ශතවර්ෂයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන ප්‍රහාර මාලාවෙන් රටවල් 77 ක පුද්ගලයෝ 2977 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. ඉන් 2606 දෙනකුම ද්විත්ව ගොඩනැගිල්ලේ සිටියවුන් බව වාර්තා විය.
නිව්යෝර්ක් ප්‍රහාරයේ මාධ්‍ය වාර්තාවලදී ස්ටැන් හොන්ඩා ලබාගත් මාසි බෝඩර්ස්ගේ ඡායාරූපය ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය. එය නොමැති පුවත්පතක්, සඟරාවක් නොවූ තරම්ය. ඒ සමඟින් ඡායාරූපයේ වූ තැනැත්තිය දූවිලි කාන්තාව (dust lady) ලෙස අන්වර්ථ නමක් ලැබුවාය. මෙම ඡායාරූපය ගැන මාසි බෝඩර්ස් කිසිවක් දැන සිටියේ නැත. ඇගේ මව පුවත්පතක වූ ඡායාරූපය සිය දියණියගේ බවට හඳුනාගත්තාය. ඒ අනුව මාසි බෝඩර්ස්, ස්ටැන් හොන්ඩා ඇමතුවාය. ප්‍රහාරයෙන් සති දෙකකට පසු දෙදෙනා හමුවූහ.
ඒ වනවිට දූවිලි කාන්තාවගේ ඡායාරූපය ප්‍රහාරයේ සළකුණක් ලෙස ලොව පුරා ප්‍රචලිතව අවසන්ය. අදටද එය එසේමය. එමෙන්ම ප්‍රහාරයේ අඳුරු මතක බෝඩර්ස්ගේ ජීවිත කාලයම වසා ගත්තේය. සැන්ටා හමුවනවිට ඇය සිටියේ බලවත් මානසික අවපීඩනයෙනි. නිව්යෝර්ක් නගරයට බිය වූ ඇය කුඩා කාලයේ සිට හැදුණු වැඩුණු නිව් ජර්සිහි ඇන්ඩෲ වීදියේ පදිංචියට ගියාය. උස් ගොඩනැගිලි මාසි බෝඩර්ස් භීතියට පත් කිරීමට සමත් විය. ගුවන්යානා කෙරෙහි ද ඈ දැක්වූයේ අසීමිත බියකි. 9/11 ප්‍රහාරය ඇගේ ජීවිතය වනසා දැමීය. නිරන්තර බියකින් පසුවූ ඇය මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූවාය. දරු දෙදෙනාගේ භාරකාරත්වයද ඇයට අහිමි විය. මෙම මානසික පීඩාවට දශකයක පමණ කාලයක් ඈ ගොදුරුව සිටියාය.
ප්‍රහාරය සිදුවන විට මාසි බෝඩර්ස්ගේ වයස අවුරුදු 8ක් වූ දියණිය නොයෙල් බෝඩර්ස් පවසන්නේ සිය මව ඡායාරූප දැකීමට ද අකමැති වූ බවයි. ප්‍රහාරය ගැන මතක අලුත් වීම ඊට හේතු විය. නිරන්තර භීතියකින් පසුවූ මාසි, තමා ආරක්ෂිත බව සැලකුවේ ඔසාමා බින් ලාඩ්න් මියගිය බව දැනගැනීමෙන් පසුවය. අනතුරුව මව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බව නොයෙල් පවසයි. සාමාන්‍ය ජීවන රටාවට යළි අවතීර්ණ වූ බෝඩර්ස් පසුව පශ්චාත් කම්පන සහගත මානසික ආතතියෙන් පෙළෙන්නන්ගේ සුබ සාධනය වෙනුවෙන් දායක වූවාය. ජීවිතය නව ගමනක් අරඹා තිබියදී 2014 වසරේ ඇය ආමාශයේ පිළිකාවකට ගොදුරු වූවාය. 2015 අගෝස්තු 24 වන දා වයස අවුරුදු 42 ක් වනවිට මාසි බෝඩර්ස් පිළිකාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවාය. මියයාමට පෙර ඇය පවසා තිබුණේ ඇමරිකානු ඩොලර් 190,000 ක රෝහල් ගාස්තු ගෙවීමේදී දැඩි අර්බුදවලට ලක්වූ බවයි. ඇයගේ පිළිකාවට ප්‍රහාරයේ බලපෑමක් පැවතියද යන්න තහවුරු නොවීය. එහෙත් වෙනත් කිසිඳු රෝගයක් නොතිබූ තමා පිළිකාවට ගොදුරුවීමට හේතුව 9/11 ප්‍රහාරය බව බෝඩර්ස් තරයේ විශ්වාස කළාය. එමෙන්ම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් 3700 දෙනෙකු පසුකාලීනව පිළිකාවට ගොදුරුව තිබිණ.
මහා ඛේදවාචකයක් අතරතුර තට්ටු 81 ක් පඩි බසිමින් මාසි බෝඩර්ස් සටන් කළේ ජීවිතය වෙනුවෙනි. දෑස ඉදිරියේ මැවුණු භයංකාර දර්ශන හමුවේ ඇය සටන අත් නොහැරියාය. ලෝකයට දූවිලි කාන්තාව වුවද සිය මෑණියන් තමාගේ වීරවරිය බව නොයෙල් බෝඩර්ස් පවසයි.
“මා තුළ ඈ හැමදාම ජීවමානයි. දැන් දූවිලි නිවී ගිහිල්ලා. මගේ අම්මා දැන් නිදහස්.”
රෂ්නිකා ලියනගේ