විශේෂාංග

අම්මයි, දුවයි, මිනිබිරියයි එකම දවසේ දීග ගිය ගුරුගම මඟුල්ගෙදර

කුරුගම මුරුගන් කෝවිලට ආ සරස්වතී තම සැමියා වන ආරුමුගම් දෙස බැලුවේ කෝල හැඟීමකිනි. වසර තිස්හතරකට පෙර එක වහලක් යටට වී දරු මුණුබුරන් ලැබූවද එතෙක් සරස්වතීගේ විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කර තිබුණේ නැත.

ඒ අනුව සරස්වතීට ඉකුත් දෙසැම්බර් පහළොස්වැනිදා දැනුණේ සුබ දිනයක් ලෙසිනි. ඒ තම දියණිය මිනිපිරිය හා එතෙක් විවාහය නීත්‍යානුකූලව සිදුනොකළ ගමේ දන්නා කියන හිතවතුන් හිතවතියන් රැසකගේ අතැඟිලි නීතියෙන් බැඳෙන දවස එදා නිසාය. ඒ අනුව පවුල් දහනවයකට අයත් පිරිසගේ සමූහ විවාහ ලියාපදිංචිය එදින සිදුවුණි.

මෙම වැඩසටහන යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන්නට යෙදුණේ, විවාහ ලියාපදිංචි සහතික නොමැතිවීමෙන් එම අඹු සැමියන් ඇතුළුව එම පවුල්වල දරු මුණුබුරන් මුහුණදෙනු ලැබූ ප්‍රායෝගික ගැටලු ගණනාවකට විසඳුම් ලබාදීමේ අරමුණ ඇතිවය.

මෙම ගම්මානයේ පවුල් තම ජීවිකාව ගෙන ගියේ තේ කර්මාන්තය ආශ්‍රිතව රැකියාවේ නියැලෙමිනි. ඔවුන්ගේ ජීවිත තේ දල්ල තරමට මටසිලුටු නොවීය. සරස්වතීගේ ජීවිතයද එසේය. ඇය ආරුමුගම් හා ජීවත්වන්නට පටන්ගත්තේ වයස දහඅටේදීය. දැන් ඇයගේ වයස අවුරුදු පනස්දෙකකි. ඔවුනට දරුවන් පස්දෙනෙකි. ඒ අතරින් මාරියන් ඇගේ වැඩිමහල් දියණියයි. ඇය තිස්හතර හැවිරිදිය. ඇයටද දැන් දරුවන් හයදෙනෙකි.

මේ පවුලේ සරස්වතී කියන අම්මයි, එයාගේ දුව මාරියනුයි, මාරියන්ගේ දහඅට හැවිරිදි ලොකු දුවයි තුන්දෙනාම මුරුගන් කෝවිලේ චාරිත්‍රවලින් පස්සේ නීත්‍යානුකූලව විවාහ දිවියට පත්වුණා. ඒ වගේම දිගු කාලයක් එකට ජීවත්වුණත් විවාහ සහතික නොලද ගමේ පවුල් ගණනාවක් අපි හඳුනාගෙන තිබුණා. අම්මා තාත්තා විවාහ නොවුණම දරුවට උප්පැන්නය සෑදීමේ ගැටලු එනවා. ඒ විතරක් නෙවෙයි හැඳුනුම්පත ගන්න, මරණ සහතිකය ගන්න විවාහ සහතිකය ඉදිරිපත් කරන්න ඕන. වතු කම්කරුවෝ හැටියට ඔවුන්ට තියෙන එකම හිමිකම සේවක අර්ථ සාධක අරමුදල. සේවක භාරකාර අරමුදලට අයිතිවාසිකමක් නැතුව බොහෝදෙනෙක් ගැටලුවලට මැදිවෙලා හිටියා. විශේෂයෙන්ම දරුවෙකුව ඉස්කෝලෙකට ඇතුළත් කරන්න වගේම ඒ දරුවට සුජාතභාවය පිළිබඳ ගැටලු දෙමව්පියන් නීත්‍යානුකූලව විවාහ නොවීම මත ඇතිවෙනවා. ඒ ජීවිතවලට සවියක්, සුරක්ෂිත බවක් ඇති කරන්න තමයි මේ වැඩසටහන යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්වෙලා සංවිධානය කළේ.

ඒ 158 ගුරුගම වත්ත ග්‍රාම නිලධාරිනී, සමන්මාලි හලංගොඩ මහත්මියයි. ඇය එහි සේවයට පැමිණ වසර හතරක කාලයකි. පැමිණි මුල් කාලයේම මෙම ගැටලුව හඳුනාගනු ලැබුවත්, කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වැඩසටහන කල්ගිය බව ඇය කීවාය.

කෙසේ වුවද කුරුගම ශ්‍රී මුරුගන් කෝවිලටද එම දිනය සුවිශේෂී විය. ඒ එකමදා චාරිත්‍රානුකුලව වාගේම නීත්‍යානුකූලවද එම භුමියේදී විවාහ ගිවිසගැනීමේ වැඩසටහනක් සංවිධානය කිරීම හේතුවෙනි. මුරුගන් කෝවිලේ ප්‍රධාන කුරක්කල් සොමේෂ් පූජකතුමන් විසින් චාරිත්‍ර සිදුකිරීමෙන් අනතුරුව, පැමිණි යුවළවල්හි විවාහය ලියාපදිංචි කෙරිණි.

එම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, යටිනුවර ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමරත්න, සහකාර ප්‍රාදේශීය ලේකම් විජිතා මැනික්සිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසකුත්, 158 ගුරුගම වසමේ ග්‍රාම නිලධාරීන්ද එම අවස්ථාවට පැමිණ සිටියේ, තම වසම තුළ සිදුවිය යුතු නීත්‍යානුකූල කටයුත්තක සාක්ෂිකරුවන් වීමට සිතායි.

මෙහිදී ඉතාම තරුණ වයසේ යුවළවල් වාගේම වයස හැට ඉක්මවූ අඹු සැමියන්ද බොහෝ පිළිවෙලට හැඳ පැළඳ පැමිණ සිටියහ. කාන්තාවන් විවිධ වර්ණයේ සාරි හැඳ සිටියේ පමා වී ආවත් මේ දිනය තම ජීවිතයේ වැදගත්ම දිනයක් හෙයිනි. ඔවුන්ගේ ගෙලෙහි මල්මාලද විය. අත්වල එල්ලී මුණුබුරු මිනිබිරියන්ද කෝවිලට පැමිණ තිබුණි. ඔවුන් සියල්ලන්ගේම මුහුණුවල ඇඳුණු සිනහව ප්‍රියමනාපය. ලස්සනය. ලැයිමේ කටුක ජීවිතයට හුරුවුවත් හිත බැඳි ආදරයද ඒ මුහුණුවල නොමැකී සටහන්ව තිබුණි.

මම අවුරුදු දහඅටෙන් කසාද බැන්දේ. දැන් වයස 34යි. මට දුවලා තුන්දෙනයි පුතාලා තුන්දෙනෙකුයි ඉන්නවා. අපි දෙන්නම වත්තේ වැඩ කරන්නේ. ඇත්තටම මේ මහත්තුරු නෝනලා කරපු මේ වැඩේ ගොඩක් හොඳයි. සමහරවෙලාවට අපිට ආපු ප්‍රශ්න දැන් අපේ දරුවන්ට එන්නේ නැතිවෙයි.

ඒ මාරියන්ගේ බලාපොරොත්තුවය. මාරියන්ගේ අම්මා සරස්වතීත්, ළඟදී චාරිත්‍රානුකූලව විවාහ වී වෙනම ගෙදරක විසූ මාරියන්ගේ වැඩිමල් දියණියත් එදින එකම විටක විවාහ සහතික ලැබුවේ ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු සමඟිනි.

වතුකරේ ගත්තම නීත්‍යානුකූලව විවාහ නොවීමේ ප්‍රශ්නය ඔවුන්ගේ ජීවිතවලට ගොඩක් දුරට බලපානවා. ඔවුන්ට එදිනෙදා ජීවිතේ එන ප්‍රශ්න එක්ක විවාහයේ නීත්‍යානුකූල බව ගැන එතරම් නොසිතුවත් රජයේ වරප්‍රසාද ලබාගන්න වගේම නීතිමය අයිතිවාසිකම්වලදී මතුවන ගැටලු ගැන මේ අයම දන්නවා. ඔවුන් විශ්වසනීයව අවුරුදු ගාණක් එකට ජීවත්වෙලා තියෙනවා. විවාහ සහතික නැති තවත් පිරිසක් ඉන්නවා. ඔවුන්වත් ඉදිරියේදී නීත්‍යානුකූලව විවාහ කරවන්න මේ ආකාරයෙන්ම කටයුතුකිරීමේ වැදගත්කම නිලධාරීන් පෙන්වා දුන්නා.

සමන්මාලි මහත්මිය විස්තර කළාය. තම වසමේ රාජකාරී අතරතුර මෙම කටයුත්තට දායක වන්නට ලැබීම ගැන ඇය සිටින්නේ සතුටිනි. එදින විවාහ වුණත් මේ ඇතැම් මව්වරුන් විවාහ උළෙලේ සමූහ ඡායාරූපයට පෙනීසිටියේ තම කුඩා බිලිඳිය කිහිලි ගන්වාගෙනය. තවත් බිලිඳියක් අතේ එල්ලී සිටිනු පෙනුණි. තම ආච්චිලා සීයලාට විවාහ ලියාපදිංචියෙන් පසුව ලබාදුන් රසවත් ආහාරවේලද පුංචි පැටවුන් රස බැලුවේ අලුත් ජීවිතයකට එළැඹි ආච්චිලා සීයලාගේ අතිනි.

ලොකු උත්සව නැතත් මෙම විවාහ ලියාපදිංචි කටයුතු කෝවිල් භූමියේදී සිදුකළේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් මනෝලිකා විජේසේකර මහත්මියගේ සහභාගිත්වයෙනි.

අපි මේ හැමදෙනාටම සුබ පතනවා වගේම ඉදිරි ජීවිත කාලයත් මෙතෙක්කල් බලපෑ නීති ගැටලුවලින් තොරව සතුටින් සමාදානයෙන් ඉන්න ඉඩ ප්‍රස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ඒ හඬ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේය. බලාපොරොත්තු අහුලා ගනිමින්, ඒවාට ආදරය කරමින්, ජීවිතය ජීවත් කරවන්නට වෙර දරණ සරස්වතීලාටත්, ආරුමුගම්ලාට වාගේම මාරියන්ලාගේ දෑසට බලාපොරොත්තු ගෙනෙමින්‍ රාජ්‍ය නිලධාරින් දුන් මෙම ආදර්ශය නම් රටටම වටින්නේය.

 

දීපා වසන්ති එදිරිසිංහ