විශේෂාංග

හස්බන්ඩ්ට පාඩමක් උගන්වන්න ඩේටින් සයිට් එකකින් කොල්ලෙක් හොයාගත්තා

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

අද මගේ මාතෘකාව පැහැදිලි කිරීම උදෙසා තෝරාගත්තේ ඉතා මෑතකදී මට මුණගැසුණු කාන්තාවක පිළිබඳව කතාවකි. නම් ගම් හෙළිකිරීම සුදුසු නැති නිසා මම ඇයව අනූෂා නමින් හඳුන්වමි.

දිනක් අනූෂා මා සොයා පැමිණියේ කුකුලාද අතින් ගෙනය. ඇයගේ මුහු‍ණේ ඉරියව්වලට අනුව ඇය සිටින්නේ දැඩි පීඩනයක බව මට පැහැදිලි විය.

මා ඉදිරියේ අසුන්ගත් ඇය විනාඩි කිහිපයක් බලාගත්වනම බලාගෙන කල්පනා කළාය. නිහඬතාවය බිඳිමින් අනූෂා පැමිණි කාරණය පිළිබඳව විමසීමට මම ඉක්මන් විය.

‘‘මගේ මිනිහා මගේ ජීවිතේම කාලකණ්ණි කළා මිස්. දැන් ඉතින් මට ජීවත් වෙලා වැඩක් නැහැ.’’

හැඬූ කඳුළින් කතාවට අවතීර්ණ වූ ඇයව අස්වසා දෙවනුව සිදුවූයේ කුමක්දැයි මම ඇගෙන් විමසීමි.

‘‘වෙන්න තියෙන සේරම හරිය වෙලා ඉවරයි. දැන් ඉතින් මැරෙන්න තමයි වෙන්නේ.’’

සිදුවී ඇති දෙය කුමක් වුවත් අනූෂා වෙනුවෙන් උපකාර කිරීමට මට හැකි බව වැටහුණු නිසා කාරණාව පැහැදිළිව පවසන සේ නැවතත් මම ඇයට කීවෙමි.

‘‘ඒ මිනිහට වෙන ගෑනියෙක් ඉන්නවා.’’

අනියම් සබඳතා නිසා ගැටළු ඇතිකරගන්නා දෙන්නා දෙමහල්ලන් නිරන්තරයෙන්ම මා හමුවට පැමිණෙන නිසා මෙයත් එවැනිම ගැටළුවක් වන්නට ඇතැයි මම අනුමාන ක‍ළෙමි.

‘‘බැඳලා අවුරුදු කීපයක් යනකල් අපි දෙන්නා කිරියි පැණියි වගේ හොඳට හිටියා. පස්සෙ පස්සේ මෙයා ඔෆිස් එක කරේ එල්ලගත්ත ගමන්මයි. ගෙදර හිටියත් කොයි වෙලෙත් ගෑනුන්ගෙන් කෝල් එනවා.’’

අනූෂා පැවසුවාය. එම දුරකතන ඇමතුම් ලැබුණේ කාන්තාවන්ගෙන් යැයි ස්ථිර ලෙස පවසන්නේ කෙසේදැයි මම ඇයගෙන් විමසා සිටියෙමි.

‘‘එහෙමම කියන්න දන්නේ නැහැ. ඒත් ඉතින් ගෙදර ඉන්න දවසට වෙන මොකා කතා කරන්නද?’’

සැමියා පිළිබඳව ඇතිවූ සැකය නිසා අනූෂා ඔහු සමඟ නිතර නිතර රණ්ඩු සරුවල් ඇති කරගෙන තිබිණි.

‘‘දවසක් මම රණ්ඩු කරනකොට, ‘ඔව් මට හොර ගෑනියෙක් ඉන්නවා උඹටත් ඕනෙ නම් වෙන මිනිහෙක් හොයාගනින්කියලා එයා මට කිව්වා. එදායින් පෙස්සේ මම එයාගේ හොර ගෑනු ගැන හොයන්න ගියේ නැහැ. එයාට පේන්න මිනිහෙක් එක්ක යාළු වෙන්න තමයි මටත් ඕන වුණේ.’’

එසේ පැවසූ අනූෂා නැවතත් හඬන්නට වුවාය. සිතුවාට වඩා මේ කතාවේ තවත් අඳුරු අහුමුළු තිබෙන බව ඒ කතාව ඇසූ මම සිතුවෙමි.

‘‘එදා ඉඳලා මම යාළු වෙන්න හොඳ මිනිහෙක් හෙව්වා. එයාගෙන් පලිගන්න තියෙන හොඳම විදිහ ඒක කියලයි මම හිතුවේ.’’

සැමියාගෙන් පලිගැනීම උදෙසා අනියම් සබඳතාවයක් සොයායාමට අනූෂා තීරණය කර තිබුණි. ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු තමාගේ ප්‍රදේශයේ නොවුණු නිසා සබඳතාවයක් ඇති කරගැනීමට සුදුස්සෙක් සොයා දෙන මෙන් ඇය ළඟම හිතවතියකට පැවසූ බව ඇය කියයි.

‘‘නයනා තමයි මට ඩේටින් සයිට් එක ගැන කිව්වේ. ඒකෙන් මට හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා තමයි එයා නම් මට කිව්වේ.’’

මිතුරියගේ උදව් උපකාරද ඇතිව අනූෂා ඔන්ලයින් ඩේටින් සේවාවක ලියාපදිංචි වී තිබිණි. ඒ හරහා හඳුනාගත් තරුණයෙකු සමඟ දින දෙක තුනක් පණිවුඩ හුවමාරු කරගත් ඇය ඉතා කෙටි කලකින්ම ඔහුව මුණගැසීමට යාමට ඉක්මන් වී තිබිණි.

‘‘ඒ කොල්ලා මට වඩා ගොඩක් බාලයි. හම්බුණ පළවෙනි දවසෙම ඌ මාව රූම් එකකට අරගෙන ගියා.’’

අනූෂාගේ ඒ කතාව ඇසු පසු මගේ ගතද මොහොතකට කීරි ගැසී ගිය සෙයක් මට දැනුණි.

‘‘මම ඒ ගමන ගියේ හස්බන්ඩ්ගෙන් පලිගන්නයි. අර මිනිහත් එක්ක සෙල්ෆියක් ගහලා ඒක මහත්තයට පෙන්නන්නයි මට ඕන වුණේ. එහෙම නැතුව වෙන උවමනාවක් මට තිබු‍ණේ නැහැ. රූම් එකට ගියාට පස්සේ මම මහ හයියෙන් අඬන්න පටන් ගත්තා. පස්සේ අර කොල්ලා බයවෙලා මාව ගෙදරට ඇරලවලා යන්න ගියා.’’

අනූ නවයෙන් බේරුණු අනූෂා වෙනුවෙන් සැනසුම් සුසුමක් හෙලූ මම ඇයට දිගටම කතා කරන්නට ඉඩදී නිහඬවම සිටියෙමි.

‘‘එදා වැඩේ හරි ගියේ නැති නිසා මම ආයිත් තව කෙනෙක් එක්ක චැට් කළා.’’

පලිගැනීමේ චේතනාවෙන් දෑස් අන්ධ වූ අයෙකුට සිහි බුද්ධියෙන් යමක් සිතා බැලීමට හැකියාවක් නැත. සිතේ පැලපදියම් වූ දැඩි පලිගැනීමේ චේතනාව නිසාම අනූෂා තවත් නන්නාඳුනන පුද්ගලයෙකු හමුවීමට ගොස් තිබිණි.

‘‘මම ඒ මනුස්සයා එක්ක බීච් එකට ගිහිල්ලා ටිකක් වෙලා කතා කරකර හිටියා. පස්සේ සෙල්ෆියකුත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. බස් එකට නැගලා බලද්දි මගේ ෆෝන් එකයි, පර්ස් එකයි දෙකම නැහැ. ඒ මිනිහා පල් හොරෙක්.’’

අනූෂා නැවතත් කඳුළු සලන්නට වූවාය. සැමියා පිළිබඳව ඇති සැකයත්, සිදුව ඇති පාඩුවත් නිසා ඇය පශ්චාත්තාපයෙන් පසුවන බව මට පැහැදිලි විය.

දුරදිග නොබලා සිදුකර ඇති කටයුත්තේ භයානකකම පිළිබඳව මම අනූෂාට පැහැදිලි කළෙමි. මුදල් පසුම්බිය සහ දුරකතනය අහිමි වීමෙන් මේ කතාව කෙළවර වූයේ ඇයගේ පෙර පිනකට බව මම ඇයට පැවසුවෙමි.

අනූෂාගේ සිතේ සැමියා පිළිබඳව තිබූ සැකයේ සත්‍ය, අසත්‍යතාවය හොයා බැලීමට නම් ඇයගේ සැමියා සමඟත් සාකච්ඡා කළ යුතු නිසා ඒ මොහොතේම දුරකතනයෙන් ඔහුව සම්බන්ධ කරදෙන ලෙස මම අනූෂාට පැවසුවෙමි.

ප්‍රථමයෙන් අනූෂාගේ සැමියාගේ සිතෙහි මා පිළිබඳ විශ්වාසයක් ගොඩනැංවූ මම ඔහුට වෙනත් සබඳතාවයක් තිබෙනවාද යන කරුණත්, බිරිඳට වෙනත් සබඳතාවයක් ඇති කරගන්නා ලෙස පැවසූයේ ඇයි දැයි යන්නත් ඔහුගෙන් විමසා සිටියෙමි.

‘‘අනේ නැහැ මිස්. මේ දවස්වල මම ඔෆිස් එකේ ලොකු ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නේ. ඒ අස්සේ මෙයත් මාව බොරුවට සැක කරනවා. මේ ප්‍රශ්න නිසා මටත් දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ. හිතට ආව තරහට එහෙම කිව්වට මට ඇති ගෑනියෙක් නැහැ.’’

හේතුව කුමක් වුවත් සැමියා පවසන එවැනි වදන් දරාගැනීමට බිරිඳකට අපහසු බව මම ඔහුට පහදා දුන්නෙමි. දෙදෙනාටම යම් යම් උපදේශන ලබාදෙමින් ඔවුන්ව ආදරයෙන් ළංකරවීමට පසුව මම කටයුතු කළෙමි.

තමා සිදුකළ ක්‍රියාවේ බරපතළකම වටහාගත් අනූෂා කාර්යාලයෙන් පිටව ගියේ නැවත කිසිදිනෙක එවැනි අඳ බාල ක්‍රියා සිදු නොකරන බවට මට පොරොන්දු වෙමිනි.

සැමියාගෙන් පලිගැනීමට සිතා අනියම් සබඳතා ඇති කරගන්නා මෙවැනි කාන්තාවන් ඕනෑ තරම් මගේ වෘත්තීය ජීවිතයේදී මට හමුවී ඇත. මෙවැනි අරුත් විරහිත ක්‍රියාවල අවසාන ප්‍රතිඵලය වන්නේ නිරපරාදේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවීමය.

ආවේගශීලී අවස්ථාවක යමෙකු පවසන වචන සිත තුළ ඔද්දල් කරගනිමින් ඒවාට එකට එක කිරීමට යාම සංකීර්ණ ගැටළු රැසක මූලාරම්භය බව නුවණින් අවබෝධ කරගත යුතුය. සැමියාගෙන් සිදුවුණු වරදක් නිසා අනියම් සබඳතාවයක් ඇති කරගැනීම ඉසේ ඇම්මට කොට්ටය මාරු කළා හා සමාන ක්‍රියාවක් බව තේරුම් ගැනීම වැදගත්ය.

සැමියා සම්බන්ධයෙන් සිතට නැගෙනා යම් ගැටළුවක් වේද ඒවා සැමියා සමඟ සුහදව සාකච්ඡා කර විසඳාගැනීමට බිරිඳක් දක්ෂ විය යුතුය. එසේත් නොමැති නම් නිසි උපදේශන සේවාවක් වෙත යොමු වීම වඩා යෝග්‍යයි.

අනූෂාගේ කතාවෙන් මට මතු කරලිය යුතු අනෙක් කාරණාව වන්නේ ඛේදවාචක රැසකින් කෙළවර වූ ඩේටින් වෙබ් අඩවි භාවිතා කිරීමට පෙර දෙවරක් නොව සියවරක්වත් සිතා බැලිය යුතු බවය.

සහකරුවන් සොයාගැනිමේ ශීර්ෂපාඨ යටතේ ක්‍රියාත්මක වුවත් මෙවැනි වෙබ් අඩවිවලින් වැඩි වශයෙන් සිදුවන්නේ ලිංගික සේවාවන් සැපයීමයි. ව්‍යාජ ඡායාරූප සහ තොරතුරු සහිතව සිදුවන මෙවැනි මරඋගුල්වලට හසුවී නිස්කාරණේ ජීවිතය වරදාවා ගන්නා තරුණ තරුණියන් වර්තමාන සමාජය තුළ හිඟ නැත.

එපමණක් නොව මෙම ව්‍යාජ ඩේටින් වෙබ් අඩවි ඉදිරියේදී පවුල් ජීවිත අවුල් කිරීම උදෙසා බලපාන ප්‍රධානතම සාධකයක් වීමට නියමිත බවට අනාවැකි පළකළ හැකිය. ඒ නිසාම මනා අවබෝධයකින් තොරව මෙවැනි වෙඩ් අඩවි සහ යෙදවුම් භාවිත නොකරන මෙන් ආදරණීයව ඉල්ලා සිටිමි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි