අල්ලපු ගෙදර ගෑනි ගොම දියකරලා දුන්නත් මෙයාට රහයි
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
නිමල් හතළිස්පස් හැවිරිදි රාජ්‍ය සේවකයෙකි. ඔහු මා හමුවීමට පැමිණියේ තනියම නොවේ. බිරිඳ වසන්ති ද සමඟය.
නිමල් සිටින්නේ තරමක ආවේගයෙන් බව ඔහු දුටුවනම මට වැටහුණි.
‘‘ඇත්තමයි මට මේ ගෑනිව දික්කසාද කරන්න හිතිලා තියෙන්නේ. ළමයි තුන්දෙනා හින්දා තමයි මෙහෙමවත් ඉවසගෙන ඉන්නේ.’’
මා යමක් විමසීමට හරිබරි ගැහෙද්දී නිමල් එසේ කතාවට මුලපිරුවේය.
‘‘ඔව්… ඔව් මාව දික්කසාද කරලා අල්ලපු ගෙදර ගෑනිගේ ලිප්බොක්ක අස්සේ රිංගන්න වෙන්න ඇති.’’
නිමලුත් වසන්තිත් දෙදෙනාට චෝදනා කරගැනීමට පටන්ගත් හෙයින් ගෝරනාඩුව ටිකකට පසෙකින් තබා ප්‍රථමයෙන් ගැටළුව පවසන මෙන් මම ඔවුන්ට පැවසුවෙමි.
‘‘නැහැ මිස්… මම රසමසවුළු දුන්නත් වැඩක් නැහැ. අල්ලපු ගෙදර ගෑනි ගොම දියකරලා හොද්දක් හදලා දුන්නත් මේ මිනිහට ඒක තමයි ලොකු. මෙයාට විතරක් නෙවෙයි මගේ ළමයින්ටත් එහෙමයි. ඒ ගෑනි මුන් ඔක්කොටම වශී ගුලියක් කවලද කොහෙද?’’
වසන්තිගේ ඒ කතාවත් සමඟ අල්ලපු ගෙදර කාන්තාව සහ තම සැමියා අතර සම්බන්ධතාවයක් ඇතිද යන්න පිළිබඳ සැකයක් ඇද්දැයි මම ඇයගෙන් විමසීමි.
‘‘නෑ එහෙම සම්බන්ධයක් නම් නැහැ කියලා මට විශ්වාසයි. හැබැයි මෙයාල සේරටම ඒ ගෑනි උයන කෑම තමයි රස.’’
වයසින් පරිණත වුවත් කටට රසට කෑමක්, බීමක් සාදාගත නොහැකි කාන්තාවන් මෙයට පෙරත් මට හමුවී ඇති නිසා වසන්තිගේ කෑම රසවත් නැතිදැයි මම නිමල්ගෙන් විමසා සිටියෙමි.
නමුත් නිමල්ට පෙර එවරද වසන්තිගේ කට ඉස්සර විය.
‘‘අපෝ… මගේ අත් ගුණේට ගහන්න ඔය ගම් හතේ එකෙක්ට බැහැ. ඒත් ඉතින් මම බොහොම අරපිරිමැස්මෙන් වැඩ කරන ගෑනිනේ. මං වගේ ගෑනියෙක් ලැබුණු එක ගැන හරි නම් මේ මිනිහා සතුටු වෙන්න ඕනේ.’’
දෙදෙනා සමඟ වෙන වෙනම කතා කිරීම වඩා යෝග්‍ය යැයි සිතූ මම නිමල් සමඟ තනිව කතා කිරීමට අවශ්‍ය බව පවසා වසන්තිට කාමරයෙන් මඳකට පිටවන ලෙස පැවසුවෙමි.
වසන්ති කාමරටෙන් පිටවූ වහාම නිමල් ඔහුගේ දුක්ගැනවිල්ල ඇරඹුවේය.
‘‘ඔය ගෑනිව බැන්ද දවසේ ඉඳලම මම පුදුම දුකක් මිස් වින්දේ. හරියට කන්න බොන්න නැහැ. ආසාවට ඇඳුමක් කැඩුමක් අඳින්න නැහැ. මට විතරක් නෙවෙයි ළමයි තුන්දෙනාටත් එහෙමයි.’’
රැකියාවෙනුත් අමතර ව්‍යාාපර කටයුතුවලිනුත් යහමින් මුදල් හරිහම්බ කළද තමාටත් තම දරුවන්ටත් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදුව ඇති බව නිමල් කියයි.
‘‘මට ඉන්නේ කොල්ලොම තුනදෙනෙක්. කටට රසට කන්න උන් හරි ආසයිනේ. අපි මාළු කෑල්ලක් දකින්නේ හරියට පෝයට හඳ දකිනවා වගෙයි. පස්දෙනොට කෑලි පහ ගානටම තියලා තමයි ඒකත් උයන්නේ. ලොකු මාළු කෑල්ල බෙදාගන්න බැරුව කොල්ලො තුන්දෙනා රණ්ඩු කරද්දි මට ලෝබයි. ඇත්තටම මට නම් දැන් ඒ ගමේ ඉන්නත් ලැජ්ජයි.’’
‘කුම්මැහි ගෙදර, කුණු ගෙදර’ නමින් ගමේ ඇතැමුන් තම පවුලට අපහාසාත්මක නම් රැසක් පටබැඳ ඇති බවත් නිමල් කීවේ වේදනාත්මක ස්වරයෙන්ය.
‘‘කන බොන එක විතරක් නෙවෙයි අපි ඇඳුමක් වුණත් ගන්නේ අවුරුද්දට විතරයි. ඒ විතරක්ද හරියටම රෑ දහයට ගෙදර ලයිට් ඔක්කොම ඕෆ් කරන්න ඕනේ. නැත්නම් අපට කනක් ඇහිලා ඉන්න නැහැ.’’
වසන්ති දරුවන්ගේ අත්‍යවශ්‍ය වියහියදම් පවා සිදුකර තිබුණේ දැඩි මසුරුකමින් යුතුවය.
අසල්වැසි නිවසේ කාන්තාව පිළිබඳව වසන්ති පැවසූ කතාව ගැනත් ඔය අතර මම නිමල්ගෙන් ඇසුවෙමි.
‘‘අපේ එහා ගෙදරට අලුතින් තරුණ ජෝඩුවක් ආවා. එයාලට තාම ළමයි එහෙමත් නැහැ. අපෙ කොල්ලො, කෑමවලට රණ්ඩු කරනවා ඇහිලද කොහෙද ඒ අය අඬගහලා ළමයින්ට කන්න, බොන්න දෙනවා. පස්සේ පස්සේ මටත් කතා කළා. බඩ පිරෙන්න බත් කටක් කන්නත් පුළුවන් නිසා අපි දැන් නිතරම වගෙ එහෙ යනවා. ඒකටත් ඉතින් මෙයාට තරහයි.’’
ගැටළුව වටහාගත්තද හුරුපුරුදු ක්‍රමයට වසන්ති සමඟත් තනිව කතා කිරීමට සිතූ මම නිමල් පැවසූ කරුණු සත්‍යදැයි ඇයගෙන් ඇසුවෙමි.
‘‘අල්ලපු ගෙදරින් කන එක මෙයාලා දැන් සෙල්ලමකට අරන්. ඒ නිසා සමහරදාට ගෙදර කෑම විසි කරනවා. මුන්ට කෑමවල අගයක් නැහැ. මම නම් හාල් ඇටයක්වත් අපතේ යවන්නේ නැහැ. ඇරපිරිමැස්මේ වටිනාකම කවදකහරි මෙයාලටත් තේරෙයි.’’
වසන්තිගේ මේ මසුරු හැසිරීම ඇයගේ සැමියාගේ සහ දරුවන්ගේ වෛරයට පාත්‍ර වී තිබිණි. ඇති හැකියාව තිබියදීත් කුසට නොකා ඉතිරි කිරීමේ අවසාන ප්‍රතිඵලය තම ආදරණීයයන් තමාගෙන් ඈත්ව යාම නම් එහි ඵලයක් නොමැති බව මම ඇයට පැහැදිලි කළෙමි. පසුව යම් යම් උපදේශන මගින් ඇයගේ සිත තුළ වූ දැඩි මසුරුකම යටපත් කිරීමට මම කටයුතු කළෙමි.
අරපිරිමැස්මෙන් කටයුතු කරන්නාට හොඳක් මිසක නරකක් නම් නොවන බව මා ද අවිවාදයෙන්ම පිළිගනිමි. නමුත් ප්‍රථමයෙන්ම අරපිරිමැස්ම සහ ලෝබකම අතර ඇති වෙනස වටහාගත යුතුය.
තමා සතු සම්පත් තම මූලික අවශ්‍යතා සඳහාවත් යොදා නොගැනීම අරපිරිමැස්ම නොවේ. එය ලෝබකමයි.
මූල්‍යමය ගැටළුවක් නොවන විටදීත් සීමිත සම්පත් සහිත දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදුවීම ඉතා ඛේදජනකය. මෙවැනි හැසිරීම් සහිත අයවලුන් නිසා තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ද දුකට පත්වීම වළක්වාලිය නොහැකිය. සහකරුවාගේ දැඩි මසුරුකම නිසාම අනියම් සබඳතා ඇති කරගත් බිරින්දෑවරුන් මෙන්ම ස්වාමිපුරුෂයින්ද මගේ වෘත්තීමය ජීවිතය තුළදී මට හමුවී ඇත.
තමා සන්තක මිල මුදල් නැති නාස්ති වේ යැයි බියෙන් පසුවන නිසා මසුරු තැනැත්තා නිතරම ජීවත් වන්නේ දැඩි ආතතියකින් යුතුවය. එපමණක් නොව යමෙකුගේ මෙවැනි හැසිරීම් ඔවුන් නොදැනුත්වම විවේචනයට ලක්වන අතර එයින් ඔවුන්ගේ පෞරුෂය පිළිබඳව වැරදි චිත්‍රයක්ද සමාජගත වේ.
මෙහිදී මතුකළ හැකි තවත් වැදගත් කාරණාවක් ඇත. ඒ පවුල තුළ ඇතිවන විසඳාගත නොහැකි මෙවැනි ගැටළු සඳහා නොපමාව උපදේශන සේවා වෙත යොමුවීම වැදගත් බවයි. නිමල් මෙයට පෙර වසන්තිව නිසි උපදේශන සේවාවක් වෙත යොමු කළා නම් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය මෙලෙස කටුක නොවීමට ඉඩ තිබිණි.
කෙසේ නමුත් නිමල් ඉතා මෑතකදීත් මට හමුවූ අතර ඔහු මා සමඟ පැවසූයේ දැන් ඔවුන් රිසි සේ කමින් බොමින් සැපවත් හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනා බවය.
සෙව්වන්දි හෙට්ටිආරච්චි