විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කල 14 හැවිරිදි දැරියට පිරිසකගෙන් අමානුෂික පහර දීමක්
විවාහ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් විසින් එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට, අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
අදාළ පිරිස විසින් කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණ එම නිවසේ විසූ දැරියට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පැනගොස් තිබුණේ පසුගිය ජනවාරි 1 වනදා රාත්‍රියේදී යි.
ඔවුන් යතුරුපැදිය, ත්‍රිරෝද රථ සහ මෝටර් රථවලින් පැමිණ ඇති අතර, මේ වනවිට එම පිරිසෙන් පුද්ගලයින් සිව්දෙනෙක් යතුරුපැදියක් ද සමග වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන මේ වනවිට පවත්වන බවයි පොලිසිය සඳහන් කලේ.
ජනවාරි 1 වනදා කළුතර හෝටලයක පැවති උත්සවයක් අතරතුර දී පුද්ගලයෙකු විසින් පහරකෑමට ලක්වූ දැරියට විවාහ යෝජනාවක් සිදුකර තිබෙනවා.
එහිදී අදාළ සිදුවීමට උරණ වූ දැරිය එම පුද්ගලයා තල්ලුකර බැනවැදී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දී දැරියගේ ඥාතීන් ද එයට මැදිහත් වී බහින්බස් වීමෙන් ආරවුලක් ඇතිව තිබුණා.
පසුව දැරියව ඥාතීන් විසින් නිවසට ඇරලවා සුළු වේලාවක දී වාහන හා යතුරුපැදිවලින් විශාල පිරිසක් පැමිණ මෙලෙස පහරදීම සිදුකර තිබෙනවා.
එම අවස්ථාවේ දී වයස අවුරුදු 70ක් වන දැරියගේ සීයා පහරදීම වැළැක්වීමට ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට ද කඩු ප්‍රහාරයක් එල්ල වී බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
දැරියගේ පියා ද එම අවස්ථාවේ දී රැකියාව නිම වී නිවසට පැමිණ ඇති අතර, ඔහුව ද කඩුවලින් කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි වාර්තා වනවා.
තුවාලකරුවන් මේ වනවිටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වාද්දුව පොලිසිය සිදුකරනවා.