MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
ඇමෙරිකා එක්සත් ජනපද millennium challenge corporation මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය දීමේ ගිවිසුම අත්සන් කිරිමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව ප‍්‍රකාශ කරන ලෙසද, එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීන්දු කර ඇත.
ඒ අනුව ලබන බදදා (13) බුවනෙක අළුවිහාරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලෙනු ඇත.
මෙලෙස පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සළකා බැලෙන පෙත්සම් වනුයේ නීතීඥ දර්ශන වේරදූවගේ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එම ගිවිසුමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනය.
මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කරන්නැයි පෙත්සම්කාර පාර්ශවය අගවිනිසුරුවරයාගෙන් ඉකුත් සතියේ ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළේය.
පසුව පෙත්සම් ලබන 13 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
