ඉරාන කාන්තා ව්‍යාපාරයට සහය දැක්වූ “මේසාමි” දිවි පරදුවට තබා උපවාසයක
හිජාබ් පැළඳීම අනිවාර්ය කරමින් පැනවූ නීතිවලට එරෙහිව ඉරාන කාන්තා ව්‍යාපාරයට සහය දැක්වීම නිසා සිර දඬුවමකට යටත්ව සිටින පුද්ගලයෙකු විසින් ආරම්භ කර ඇති උපවාසයක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති බියකරු බව පිළිබඳව මේ දින වල විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
53 හැවිරිදි ගුරුවරයෙකු සහ මානව හිමිකම් ආරක්ෂකයෙකු වන ෆර්හාඩ් මේසාමි වසර 6ක සිර දඬුවමක් ලැබීම හේතුවෙන් 2018 වසරේ සිට සිරගතව සිටිනවා.
ඉරානයේ උපවාසයේ යෙදී සිටින අදාළ සිරකරුගේ ඡායාරූප ඔහුගේ ජීවිතය ගැන බියක් ඇති කිරීමටත්, කෝපය ඇවිස්සීමටත් හේතු වී තිබෙනවා.
මේසාමි පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිය උපවාසය ආරම්භ කර ඇත්තේ, ‘විරෝධතාකරුවන්ට මරණ දණ්ඩනය පැනවීම අවසන් කිරීම, දේශපාලන සිරකරුවන් 6 දෙනෙකු නිදහස් කිරීම සහ හිජාබ් පැළඳීම අනිවාර්ය කිරීම හේතුවෙන් සිදු වන හිරිහැර නතර කිරීම’ යන ඉල්ලීම් දිනා ගැනීම සඳහා යි.
ඔහු සිරගත කිරීමට යොදාගත් සාක්ෂි අතරට වැක්ලව් හැවෙල්ගේ (Vaclav Havel) ‘ද පවර් ඔෆ් ද පවර්ලස් (The Power of the Powerless)’ වැනි අවිහිංසාවාදී ලෙස විරෝධය පෑම පිළිබඳව සඳහන් පොත් සහ ඔහුගේ කාර්යාලයේ ‘හිජාබය අනිවාර්ය කිරීමට මම විරුද්ධයි’ යනුවෙන් සඳහන් කුඩා ලාංඡන ඇතුළත් වී තිබුණා.
ඒ අනුව ඉස්ලාමීය විප්ලවයේ 44 වන සංවත්සරය සැමරීම සඳහා ඉරානයේ දින 10ක නිල උත්සව ආරම්භ වීමත් සමග මේසාමි සිය අදහස් සමාජගත කිරීම සඳහා ඔහුගේ ශරීරය භාවිත කරමින් මෙලෙස උපවාසයක නිරතවීමට තීරණය කර තිබෙනවා.