තෙල් පෝලිම්වල කාලෙ කන්න බැරුව බයිසිකලෙන් විශ්වවිද්‍යාලයට යන මහාචාර්‍යතුමී
මේ වෙනකොට ශ්‍රී ලංකාව ඉතාමත් දැඩි ඉන්ධන අර්බුදයකට මුහුණපාලා ඉන්න රටක් බව රහසක් නෙවෙයි. ඒ නිසාම බොහෝදෙනෙක්ට අද සිද්ධවෙලා තියෙන්නේ පැය ගණන් තෙල් පෝලිම්වල ලගින්න. ඔය අතර තවත් පිරිසක් ඉන්ධන භාවිතයෙන් තොර විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා යොමුවෙලා ඇති බවකුත් දකින්න පුළුවන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියත් ඒ අතරින් කෙනෙක්. ඇය 2021 වසරේ ලොව බලවත්ම විද්‍යාඥයින් ලැයිස්තුවට එක්වුණු ශ්‍රී ලංකාවේ පළමු විද්යාඥවරියද වෙනවා. පසුගියදා අපි දැක්කා ඇය පාපැදියක නැඟී විශ්වවිද්‍යාලයට යන හැටි. ඒ නිසාම අපිට හිතුණා ඒ අත්දැකීම ගැන අහන්න ඇයට කතා කරන්න.
අපි දැක්කා ඔබතුමිය විශ්වවිද්‍යාලයට යන්න අලුත් වාහනයක් අරන් තිබුණා?
ඇත්තටම ඔව් .මං දැන් විශ්වවිද්‍යාලයට යන්නේ පාපැදියෙන්. එහෙම යන්න පටන් අරන් දැන් දවස් දෙක තුනක් වෙනවා. මේ වෙනකොට ලංකාවේ ලොකු ඉන්ධන ගැටලුවක් තියෙනවා. ඒ නිසා හැමතැනම තෙල් පෝලිම්. ඉතින් මං පෞද්ගලිකව කැමති නෑ තෙල් පෝලිම්වල මගේ කාලය නාස්ති කරන්න. මොකද කාලය කියන්නේ මිනිස් ශ්‍රමය. ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒක නාස්ති කරන්න මට බෑ. අනික පාපැදියේ යන එක ශරීර සෞඛ්‍යයටත් හොඳයි.
පාපැදියට මාරු වුණේ කාලය ගැන ප්‍රශ්නයක් නිසාද? තෙල් මිල දරාගන්න බැරි නිසාද?
අවංකව කාලය ගැන හිතලා. මට විශ්වවිද්‍යාලය ඇතුළේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා. ඒකට කාලය අවශ්‍යයි. ඉතින් පැය ගණන් දවස් ගණන් තෙල් පෝලිම්වල ඉන්න මට බෑ. මේ වෙලාවේ තෙල් මිල ඉහළ ගියත් පහළ ගියත් පෝලිම්වල ඉන්නම වෙනවා. ඉතින් මට ඒකට වෙලාවක් නෑ.
එතකොට නිවසේ ඉඳන් කොච්චර දුරක් දවසකට පාපැදියෙන් යනවද?
මගේ ගෙවල් උඩහමුල්ලේ. එතැන ඉඳන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කිලෝමීටර් දෙකහමාරක් වගේ තියෙනවා. ඉතින් යන්නයි එන්නයි ගියාම දවසට කිලෝමීටර් පහක් හයක් විතර පාපැදිය පදින්න වෙනවා.
පාපැදියක් වුණත් එකපාර පදින්න බෑනේ. ඒකට පුරුදු වෙන්න ඕනේ?
මට හොඳට පාපැදි පදින්න පුළුවන්. මං ඩෙන්මාර්ක්වල ආචාර්ය උපාධිය කරන කාලේ අවුරුදු තුනක්ම කැම්පස් එකට ගියේ පාපැදියෙන්. කිලෝමීටර් පහළොවක් වගේ තිබුණා. පාපැදිය කියන්නේ ඇත්තටම නිදහස් වාහනයක්. එකම බාධාව එන්නේ වැස්සොත් තමයි.
ඔබ කියන්නේ විදෙස් රටවල පාපැදියට ලොකු පිළිගැනීමක් තියෙනවා කියලද?
අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඇතැම් රටවල විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පවා විශ්වවිද්‍යාලයට එන්නේ පාපැදියෙන්. ඒ විතරක් නෙවෙයි වෛද්‍යවරු, ඉංජිනේරුවෝ පවා තමන්ගේ රැකියා ස්ථානයට යන්නේ පාපැදියෙන්. ලංකාවෙත් හෙට අනිද්දට එහෙම තත්ත්වයක් ඇතිවෙයි කියලා හිතෙනවා.
ඔබතුමියට තිබුණනේ පාපැදිය නැතුව ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්න. ඇයි එහෙම නොකළේ?
(සිනාසෙමින්) ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිතා කරනවට වඩා පාපැදිය දාහෙන් සම්පතයි. මොකද ලංකාවේ පොදු ප්‍රවාහනය අන්තිම දුර්වලයි. ඒක හරියට තිබුණා නම් මිනිස්සු මෙහෙම තෙල් පෝලිම්වල කාලේ නාස්ති කරන්නේ නෑනේ. අද බස් එකක් හෝල්ට් එකකින් හෝල්ට් එක්කට යන්න ලොකු වෙලාවක් යනවා. අනික සමහර කොන්දොස්තරලා හැසිරෙන්නේ නිකන් අපි බලෙන් බස්වලට නැගලා යනවා වගේ. මඟීන්ට සළකන විදිහ අවුල් සහගතයි. ඒක නිසා පොදු ප්‍රවාහනයට වඩා මෙහෙම හොඳයි.
ඔබ ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරියක්. එතැනින් ගියාම ලෝකයේ බලවත්ම විද්‍යාඥවරුන් අතරට පවා ගිය විද්‍යාඥවරියක්. ඔබ වගේ කෙනෙක් පාපැදියෙන් යන එක ඔබේ තත්ත්වයට ගැළපෙනවද?
මං ඩෙන්මාර්ක්වල ආචාර්ය උපාධිය හදාරද්දි මගේ මහාචාර්යවරයා විශ්වවිද්‍යාලයට ආවේ පාපැදියෙන්. එයා දවසට කිලෝමීටර් තිහක් පැදගෙනයි ආවේ. දැන් මමත් ඒ වෘත්තියේම ඉඳන් පාපැදියෙන් විශ්වවිද්‍යාලයට යනවා. මං හිතන්නේ මෙතැනට තත්ත්වය බලපාන්නේ නෑ. අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහ උඩයි ඔහොම දේවල් හිතෙන්නේ.
මුලින්ම පාපැදියෙන් විශ්වවිද්‍යාලයට යනකොට නම් විශ්වවිද්‍යාලයේ ළමයි ඔබතුමිය දිහා අමුතු ඇහැකින් බලන්න ඇති?
එයාලා එහෙම අමුත්තක් කරලා සැළකුවේ නෑ. මොකද එයාලටත් මේ තෙල් ප්‍රශ්නේ තේරෙනවා. අනික මං කරන්නේ වැරැද්දක් නෙවෙයි නම් එතැන කිසි අවුලකුත් නෑනේ.
ඔබ මහාචාර්යවරියක් විද්‍යාඥවරියක් විදිහට රටේ පිළිගත් චරිතයක්. මේ තෙල් පෝලිම්වලට විසඳුමක් ඔබ සතුව තියෙනවද?
ඉන්ධන ලබාදෙන්න නිසි ක්‍රමවේදයක් හදන්න ඕනේ. මේ ආණ්ඩුව ගෙනියන්නේ කිසිම සැලසුමක් නැති මහා අන්ධභූත වැඩපිළිවෙලක්. එක ප්‍රතිපත්තියක් නෑ. රටට මෙහෙම වෙලා තියෙන්නේ ඒකයි. දැන් මේ රට ගමන් කරමින් තිබෙන්නේ ආපස්සට. නිකන් හිතන්න ත්‍රීවිල් රථ රස්සාව කරන කෙනෙක්ට මේ තෙල් පෝලිම් එක්ක හැප්පෙන්නේ කොහොමද? පැය ගාණක් පෝලිමේ හිටියම හයර් දුවන්න වෙලාවක් නෑනේ. ඒ නිසා දෙන ඉන්ධන ටික හරි නිසි ක්‍රමවේදයක් අනුව දුන්නොත් තෙල් පෝලිම් ප්රශ්නය ඉබේම විසඳෙයි.
රුවන් එස්.සෙනවිරත්න