Latest News

Miss Tourism World 2022 සඳහා සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට

Miss Tourism World 2022 සංදර්ශනය පැවැත්වීම සඳහා ලෝකයේ රටවල් 80 ක සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (19) සඳහන් කළා.

මෙම සංදර්ශනය පැවැත්වීමේ ලංසුව ද ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා.

Miss Tourism World අවසන් මහා තරඟය දෙසැම්බර් මස 8 සිට 21 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙම සුරූපිනියන් සති 2 ක කාලයක් මෙරට රැඳී සිටින අතර ඔවුන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, හබරණ, ඇල්ල, ආරුගම්බේ, මිරිස්ස ඇතුළු සංචාරක ව්‍යාපාරය සඳහා වැදගත් ස්ථාන ද නරඹනු ඇති බව එම වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ මලිත් රණසිංහ සහ ප්‍රධාන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සඳහන් කළා.

ඔවුන් මෙම සති දෙක තුළ ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන අතරතුර ඡායාරූප සහ අදහස් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල බෙදාගනු ලබනවා.

ඒ අනුව අවසන් මහා තරඟයේදී එම ඡායාරූප අතරින් හොඳම ඡායාරූප 5 ක් තෝරාගෙන ත්‍යාග පිරිනැමීමට නියමිත බව ද ප්‍රධාන උපදේශක ආචාර්ය අරෝෂ මහතා සඳහන් කළා.

මෙය මෙම ඩිජිටල් යුගයේ ශ්‍රී ලංකාවේ සංචාරක අලෙවි කිරීම සඳහා ඉතා කාර්යක්‍ෂම පියවරක් වනවා.

මේ අතර Miss Tourism World 2022 අවසන් මහා තරඟයට ගෝලීය අධ්‍යක්‍ෂ ඩේවිඩ් සිං ද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

රට පිළිබඳ ලෝකයේ ප්‍රශංසාව හා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය තකා මෙම වැඩපිළිවෙළ සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ අදහසකට අනුව ඇගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙනවා.