වේල් ගාණක් නොකෑ දරුවන්ගේ බඩගිනි නිවන්නට දෙල් ගෙඩියක් කැඩූ අම්මාට ගුටි
අගහිඟකම් අහස උසට තිබුණත්, අම්මා කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ තම දරුවන්ට බත් කටක් හෝ දෙන්නටය.
සබරගමුවට අයත් පරගහමඩිත්ත ගමේ මේ කියන්නට යන අම්මාගේ හිත එදා ඇවිලුණේ තම දරු තිදෙනාට තම්බා දෙන්නට සහල් ඇටයක්වත් කුඩා ගෙපැලේ නොවූ නිසාය. දරුවන්ගේ තාත්තා ඉඳහිට ගෙදරට ඇවිත් ගියත්, උන්ගේ බඩගින්දර ගැනවත්, ඉගෙනුම් කටයුතු ගැනවත් වගකීමක් ඇත්තෙකු නොවීය. ඒ අනුව වයස දාහත, නවය සහ හත වයසැති දරුවන්ගේ බර දරන්නට සිදුවූයේ වයස තිස් ගණන්වල සිටින මේ අම්මාටය. දෙවන දරුවා හෘදය ආශ්‍රිත රෝගයකින් පෙළෙන බැවින්, එය ඇගේ හිතට අමතර බරක් එක් කර තිබුණි.
උදව්වක් පදව්වක් කරන්නත් කෙනෙක් නැති ජීවිතයේ, එදා එළැඹුණු දිනය කොතරම් දුක්බරදැයි කියාගන්නට කෙනෙක් ඇයට සිටියේ නැත. දරුවන්ගේ බඩගිනි මුහුණු දෙස තවත් බලා සිටින්නට නොහැකි වූ ඇය මිදුලට බැස වටපිට බැලුවේ කුමක් කරන්නේ දැයි සිතමිනි. ගෙට ටිකක් ඈතින් වන, තම ඥාතියාගේ ගෙදර දෙල් ගහ දුටු ඇයට මද අස්වැසිල්ලක් දැනුණි. දෙල් ගෙඩියක් දෙකක් ඉල්ලා ගන්නටවත් ඔවුන් සමඟ වැඩි ඇයි හොඳයියක් නොතිබූ බැවින්, ඇය කළේ කෙක්කක් ගෙන නොකියාම දෙල් ගෙඩියක් කඩාගැනීමය.
එසේ කඩාගත් දෙල් ගෙඩිය රුපියල් සියයකට විකිණූ ඇය ළඟ කඩේට ගොස් හාල් කිලෝ බාගයක් මිලට ගත්තාය. ඇසට කඳුළක් ගලා එමින් තිබුණත් ඇය කළේ හනිකට ගෙදර පැමිණ බතක් උයා හොද්දක් එක්ක පැටවුන්ට කන්න දීමය. රැයේත් හරිහැටි කෑමක් නොවූ පුංචි වුන් ඒ වේල යන්තමින් බඩ පුරවා ගනිද්දී ඊළඟ වේල ගැන සිතෙන විට ඒ අම්මාගේ හිත කකියන්නට ඇත.
එසේ පැයක් දෙකක් ගෙවුණි. ඇය දෙල් ගෙඩියක් කඩාගත් බව දැනගත් ඥාතියා පැමිණියේ දුම්මල වරම අතින් ගත්තෙකු මෙනි. ඔහු ඇයට බැණ වැදී පහර කිහිපයක්ද ගැහුවේ දෙල් ගෙඩිය කැඩුවේ කුමන අයිතියටදැයි විමසමිනි. ඇය දුන් පිළිතුර සමහරවිට එවලේ කෝප වී සිටි ඥාතියාගේ කනට නොවැටෙන්නට ඇත.
සිද්ධියෙන් පසු මේ අම්මා වැලගෙපොල පොලිසියට ගියාය. එහිදී ඇය එම පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි එම්.නිර්මලා මහත්මිය වෙත පැමිණිලි කරමින් කියා සිටියේ ඥාතියෙකු තමාට පහරදුන් බවයි. පැමිණිල්ල විභාග කරන්නට එම ඥාතියාවද පොලිසියට කැඳවන්නට පොලිසිය පසුදාම කටයුතු කළ අතර, ඒ පිළිබඳ දෙපාර්ශවයෙන් කරුණු විමසා තිබුණි. ඒ වැලිගෙපොල පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස්ලි හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙනි.
“ඒ අවස්ථාවේ මම දෙපාර්ශවයෙන් කරුණු විමසද්දී තමයි අපට මේ දෙල් ගෙඩිය ගැන මානුෂික කතාව එළියට එන්නේ. මේ මව පැමිණිලි කළේ දෙල් ගෙඩියක් කඩාගත්ත නිසා අදාළ ඥාතියා (සහෝදරයා) පහර දුන්නා කියලයි. එහෙම දෙල් ගෙඩියක් කඩාගන්න හේතුවුණ කාරණේ කියද්දි, ඇත්තටම අපිත් සංවේදී වුණා. මේ කාලවකවානුව ගත්තොත් බොහෝදෙනෙකුට මෙවැනි දුෂ්කරතා තිබෙනවා. ඉතින් ඒ වගේ කාලෙක, තමන්ට අයිති දෙල් ගහකින් ගෙඩියක් කඩාගත්තොත් ඒක මොනතරම් යහපතක්දැයි මම අදාළ පුද්ගලයාගෙන් විමසුවා. ඒ වගේම මෙවැනි දුෂ්කර කාලයක කෙනෙකුට සිදුකරගත නොහැකි විශාල පුණ්‍යකර්මයක් ඔබ සිදුකරගෙන තියෙනවා නේද කියලත් මම ඇහුවා.”
ස්ථානාධිපතිවරයා බොහෝ සංවේදීව කතා කරද්දී, තමාගේ ක්‍රියාව ගැන පසුතැවීමක් ඔහුට දැනෙන්නට ඇත. පොලිසියෙන් ඇසෙන කතා තරමක් සැරපරුෂ වුවත්, වැලිගෙපොල පොලිසිය තුළ ඉන් එහාට ගිය මිනිසත්කමක් මෙවන් ගැටලුවක් විසඳීමට තිබීම අගය කළ යුතුම කරුණකි.
“මේ දෙපාර්ශවය අතර කාලයක් පොඩි පොඩි ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒත් මේ මව ජීවිතය ගැටගහගන්න ලොකු උත්සාහයක් දරණ කෙනෙක්. එතැනදී ඔවුන්ගේ ඥාතීත්වය ගත්තහමත් පුංචි හරි කැක්කුමක් අයියා කෙනෙකුට නංගි ගැන තියෙන්න ඕනනේ. ඒ නිසාම මම අදාළ විත්තිකරුට කිව්වා මින් ඉදිරියට දෙල් ගෙඩියක් කඩාගත්තට තර්ජනය කරන්න, පහර දෙන්න යන්න එපා, එය පිනක් කියලා හිත සතුටු කරගන්න කියලා. ඒ එක්කම ඒ පින මෙලොවට වගේම පරලොව සැප සම්පත් ලැබීමට වාසනාව උදාවෙන කරුණක් කියලත් කිව්වා.”
බුදුදහමද උපයෝගීකොට ගනිමින් ස්ථානාධිපතිවරයා කළ කරුණු පැහැදිලි කිරීමෙන් සිද්ධිය සමතයකට පත්කරගැනීමටද ඉඩ ලැබිණි. කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි එම්.නිර්මලා මහත්මියද, දෙපාර්ශවයට කරුණු අවබෝධ කර දුන්නේ රාජකාරියට එහා ගිය මහඟු මනුස්සකමේ ගුණධර්මද සමඟිනි. පොලිසියට එද්දි අදාළ පුද්ගලයාගේ හිතේ කෝපයක්, තරහක් තිබුණානම් ඔහු ආපහු ගියේ හිත නිවාගෙනය. ඔහු පැමිණිලිකාරියගෙන් සමාව ගෙන, නැවත කෙදිනකවත් එවන් පහරදීමක් සිදු නොකරන බවට පොරොන්දුවක්ද වීය. තවද නැතිබැරි ඕනෑම අවස්ථාවක තම ගසෙන් දෙල් කඩාගන්නා ලෙසට ඔහු ඉල්ලීමක්ද කළේය.
එම සිද්ධිය සමතයකට පත්වූයේ ඒ අයුරිනි. මෙම සිදුවීම සැලවුණු පසු එම මවට පරිත්‍යාගයන් කිහිපයක් ලැබුණු බවත්, ඒවා පසුගිය දිනෙක පොලිස් ස්ථානය තුළදී ඇයට බාරදුන් බවත්, පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස්ලි හෙට්ටිආරච්චි මහතා ‘ධරණී’ට පැවසීය.
ඔහු කියන්නේ මේ මිනිසත්කම පෙරදැරව, මිනිසුන් වෙත දයානුකම්පාව දැක්විය යුතු කාලයක් බවයි.
එය සැබෑවකි. මින් පෙර බොහෝ අවස්ථාවල බඩගින්නට කොස් ගෙඩියක්, අඹ ගෙඩියක් අසල්වැසි වත්තකින් කඩාගත්තාට, පොල් ගෙඩියක් අහුලාගත්තාට උසාවි ගෙනගොස් අහිංසකයින්ට උහුලාගන්නට බැරිතරමේ දඩ මුදලකින්ද දමා ගැසූ අවස්ථා අපට මතකය.
තමන් කන බත්පතෙන් වුව තවකෙකුට බත් අහුරක් දෙන්නට හිතෙන්නේ සසර පිනක් ඇති අයෙකුටය. ඉතින් මෙවන් දුෂ්කර සමයක පරිත්‍යාගශීලීත්වයෙන් එසේ තවත් අයෙකු ගැන හිතන්නට හැකි නම් මේ එවන් මිනිසුන් වැඩි වැඩියෙන් මේ මිහිමතට අවැසි කාලයයි!
දීපා වසන්ති එදිරිසිංහ