Latest News

පුතුට වයලීනයක් අරන් දෙන්න SPA ආ මවක්…

සංගීතය හදාරන තම පාසල් යන දරුවාට වයලීනයක් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි තරුණ මවකගේ අනුවේදනීය කතාවක් දියවන්නාවට නුදුරු පොලිස් ස්ථානයකින් අසන්නට ලැබුණා.

එම පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථාන වැටලූ පොලිස් කණ්ඩායමකට මෙම මව හමු වී තිබෙනවා.

වැටලීමෙන් පසු පොලිසියට රැගෙන ආ තරුණියන් ඇතුළු පිරිසට ඇප ලබාදීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පිරිසට අවවාද කර ඇප ලබාදීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වැටලීම කළ නිලධාරීන් සමග ඇප ලබාගන්නට පැමිණි එක් කතක් තම කණ්ඩායම සමග පිටව යන්නට පෙර නැවත පොලිස් ස්ථානාධිපතිවරයා හමුවන්නට පැමිණ තිබෙනවා.

“සර් මම කැමැත්තෙන් මේ රස්සාවට ආවා නෙවෙයි. මගේ ළමයාට වයලීන් එකක් අරන් දෙන්න කියලා හැමදාම අඬනවා. ළමයාට සංගීතය ඉගෙන ගන්න තියෙන ආශාවට එයා වයලීන් එක ඉල්ලනවා. ඒක අරන් දෙන්න සල්ලි නැති නිසා තමයි මම ස්පා එකේ වැඩට ආවේ. මම ඊයේ තමයි මුලින්ම රස්සාවට ආවේ සර්. පහුවදාම මාව අහුවුණා. මම ළමයාගේ වැඩේට සල්ලි හොයාගෙන යන්න යනවා” යැයි ඇය හැඬූ කඳුලින් පවසා නික්ම ගොස් තිබෙනවා.

මෙවැනි මානුෂීය හේතූන් මත මුදල් සොයාගත නොහැකිව ස්පා රස්සාව සොයාගෙන ආ තරුණියන් නිරන්තරයෙන් හමුවන බව මේ අනුවේදනීය කතාව හෙළිකළ පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියා.