දරුවගේ බර නොදැනුණේ දරු කැක්කුම බර වැඩි නිසාද අම්මේ
‘කොලවෙන්නු වෙන්කටේෂ්’ හෘද පේශි දුර්වල දරුවෙක්. ඒ නිසා වෙන්කටේෂ්ට ජීවත්වෙන්න ලොකු කාලයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ කාලය ඉවර වෙන්න කලින් වෙන්කටේෂ්ගේ හීන හැබෑ කරන්න ඔහුගේ මව ‘සුජාතා’ ලෝකයා එක්ක සටන් කළා. ඊටපස්සේ මේ වෙන්කටේෂ්ගෙයි සුජාතගෙයි කතාව පාදක කරගෙන ‘සලාම් වෙන්කි’ කියලා චිත්‍රපටයක් පවා හැදුනා. ඔය චිත්‍රපටය අවසාන හරියෙදි සුජාතා දරුවව තුරුළු කරගෙන ලස්සනට හිනාවෙන දර්ශනයක් තියෙනවා. මට දැනුණු විදියට ඒක තමයි චිත්‍රපටයේ ලස්සනම කොටස.
තමන්ගේ ලෙයින් ජාතක වුණු දරුපැටියා මොන තත්ත්වෙන් උන්නත් හිතේ හයියට දරාගෙන හිනාවෙන සුජාතා වගේ තවත් අම්මලා ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒ හැම අම්මා කෙනෙක් ගැනම චිත්‍රපට හැදෙන්නේ හෝ කවි ලියැවෙන්නේ නැහැ. වෙලාවකට ඒ සමහර කතා ලෝකෙටත් හොරෙන් කාලයේ වැලිතලාවලින් වැහිලා යනවා.
ඉතින් ඔය වගේම ආබාධිත දරුවෙක් කරපින්නගෙන හිනාවෙන අම්මා කෙනෙක්ගේ ඡායාරූපයක් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. පිංතූරේ දැක්ක හැටියේ මතක් වුණේ අර චිත්‍රපටයේ අවසාන දර්ශනය. ඇත්තටම අම්මා කෙනෙක්ගේ හිත කොච්චර හයියද? මේ අම්මගේ කතාව සමාජ මාධ්‍යවලින් මෙහා මිනිස්සුන්ටත් කියන්න ඕනේ කියලා හිතුණු නිසා අපි ඇගේ දුරකතන අංකයක් හොයාගෙන ඇයට කතා කළා.
*අම්මගේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ තිබුණා. ඒ කොහෙදි ගත්තු එකක්ද?
“අහ් ඒ සෙවණගල ඉස්පිරිතාලෙ. මට ආබාධිත දරුවෙක් ඉන්නවා. දරුවා වැඩි වෙලාවක් ඉන්නේ ඇඳේ. ඉතින් එයාට නිතරම ඇඳ තුවාල එනවා. මම හැම මාසෙම දරුවා උස්සගෙන සෙවණගල ඉස්පිරිතාලෙට යනවා. එතකොට කවුදෝ කෙනෙක් මගේ ෆොටෝ එකක් ගත්තා.”
*ඉස්පිරිතාලෙ යනවා පයින්?
“ඔව් බස්වල යන්න අපිට සල්ලි නැහැනේ. අනික මේ දරුවා එච්චර බරත් නැහැ.”
එස්.කේ.නන්දනී සෙවණගල, ඉඳිකොළපැලැස්සේ ජීවත්වෙන නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. දරු දෙන්නට අවුරුදු දහහතරයි. මෙයින් එක දරුවෙක් උපතින්ම ආබාධිතයි. දන්න තරමට ඉඳිකොළපැලැස්සේ ඉඳලා සෙවණගලට කිලෝමීටර දහයකයට එහා තියෙනවා. නන්දනීට දරුවගේ බර නොදැනෙන්නේ දරුවගේ බර අඩුකමට වඩා දරු කැක්කුමේ බර වැඩිකම නිසා කියලයි මට හිතුණේ.
“ආබාධිත දුවගේ නම නදිනි නවෝද්‍යා. අනිත් දරුවා පුතෙක්. දරුවෝ දෙන්නා බඩේ ඉන්දැද්දි පුතාගේ ඇඟට දුවව තද වෙලාලු. ඉතින් ඉපදුණු දවසේ ඉඳලම දුවට කතා කරන්න ඇවිදින්න මොකුත්ම බැහැ.”
දරුවෝ දෙන්නා ඉපදිලා අවුරුද්දක් යද්දි කබලෙන් ලිපට වැටෙන්නා වාලේ පිළිකාවකින් දරුවන්ගේ තාත්තා ආන්ත්‍රා වුණාලු.
“මහත්තයාගේ ආදායම මිසක ගෙදරට වෙන ආදායමක් තිබුණේ නැහැ. එහෙමයි කියලා දරු පැටවුන්ව බඩගින්නේ තියන්නයෑ. ඉතින් මම දරුවන්ව ආච්චි ගාව තියලා කුඹුරුවල කුලී වැඩට ගියා.”
ඔය විදියට අවුරුදු දහහතරක්ම ඇය දරුවන්ව රැකගත්තලු.
“කුලී වැඩ කරන්න දැන් එච්චර හයි හත්තියක් නෑ. අනික ඉස්සර වගේ කුලී වැඩ එන්නෙත් නැහැ. ඒත් පුළු පුළුවන් වෙලාවට මම කුලී කරනවා. දුවගේ වැඩ කරන්නෙයි පුතාව ඉස්කෝලේ යවන්නෙයි ඒ සල්ලිවලින්.”
අද තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක නන්දනීලගේ ජීවිත දැන් තවත් අමාරු වෙලා.
“දරුවට කෑම ගිලින්න තේරුමක් නෑ. කෑම හිරවෙන නිසා බත් දෙන්න බෑ. දුව ජීවත්වෙන්නේ කිරිපිටිවලින්. කිරිවල ගණන් වැඩිවෙච්චි නිසා කෙල්ලට කිරිපිටි එකක් ගන්නේ හරිම අමාරුවෙන්.”
ගොඩක් මිනිස්සු අර අපි කලින් කිව්වා වගේ චිත්‍රපට බලලා අඬනවා, සමාජ මාධ්‍යවල දුක්බරිත පෝස්ට් හුවමාරු කරනවා. හැබැයි ඇත්ත ජීවිතේදි මනුස්සයෙක්ට උදව්වක් කරන්න හිතෙන්නේ කීයෙන් කීදෙනාටද?
එහෙම හිතෙන කෙනෙක් ඉන්නවා නම් මේ අම්මගේ හිතේ හයිය වෙනුවෙන්, සෙනෙහෙබර හිනාව වෙනුවෙන් හයියක් වෙන්න මේක හොඳ අවස්ථාවක්.
එස්.කේ.නන්දනී, 452/1, ඉඳිකොළපැලැස්ස 2, සෙවණගල. ඒ තමයි මේ අම්මගේ ඇඩ්‍රස් එක. 0771282322 ඇගේ අංකය.
සෙව්වන්දි හෙට්ටිආරච්චි