විශේෂාංග

කුරුණෑගල අධිවේගය සියැසින් දැක සතුටට ඇඬූ නිමල් මහත්තයාගේ අම්මා

පසුගිය ජනවාරි 15 වෙනි සෙනසුරාදා කියන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර නැත්නම් ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත්කරපු දවස. ඒ කියන්නෙ මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ගය. දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස නම් කරපු එහි දුර ප්‍රමාණය කිලෝමීටර් හතළිස් එකකට කිට්ටුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒක ජනතා අයිතියට පත්කෙරුණේ. ඒ නිසාම උත්සවයේ වැඩකටයුතු අඩුවක් පාඩුවක් නැතිව කරන්න අදාළ බලධාරින් යුහුසුළුව කටයුතු කළා. නිමල් එදිරිසිංහ මහත්තයත් හිටියේ ඒ අතර. ඔහුටත් එතැන කරන්න සෑහෙන වැඩ කොටසක් පැවරිලා තිබුණා.

‘‘මං පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඒ වගේම වයඹ වෙළඳ සංගමයේ ලේකම් විදිහටත් කටයුතු කරනවා. ඒ නිසා නිතරම වගේ සමාජ සේවා කටයුතුවල නියැලෙන්නත් අවස්ථාව හම්බවෙනවා. අධිවේගී මාර්ගය විවෘත කරපු උත්සවයට මං සම්බන්ධ වෙන්නේ එතැනින්. එදා එතැනට හාමුදුරුවෝ තුන් හාරසීය නමක් වැඩියා. මට බාරවුණේ උන්වහන්සේලා ගැන හොයලා බලන වැඩේ. ඉතින් මං බොහෝම ශ්‍රද්ධාවෙන් එදා දවසේ ඒ වැඩ ටික කළා.’’

එදා ඒ වැඩ ටික ඉවරකරලා නිමල් මහත්තයා ගෙදර ආවේ පුදුම තෙහෙට්ටුවකින්. මේ දවස්වල ඇතුගල්පුරේට තියෙන අධික පෑවිල්ල නිසා දවසම මහන්සි වුණු ඔහුට වෙනදටත් වඩා තෙහෙට්ටුව දැනිලයි තිබුණේ. ඒ නිසා පුළුවන් ඉක්මණට ගෙදර ඇවිත් වතුර ටිකක් නාගෙන ටිකක් ඇහැපියාගන්නයි ඔහුට ඕන වුණේ. ඔහුගේ හිත කිව්වෙත් ඒකමයි.

‘‘දවසම උත්සවේ එක්ක ඔට්ටුවෙලා ගෙදරට ආවේ සෑහෙන මහන්සියකින්. ඒ එනකොට රෑ 9.30ට වගේ ඇති. ඇත්තටම එදා වෙනදට වඩා මහන්සියක් දැනුණා.’’

එහෙම එන ගමනේ නිමල් මහත්තයා ඈත තියාම දකින්නේ තමන්ගේ අම්මව. ඒක ඔහුට නුහුරු නුපුරුදු දසුනක් නෙවෙයි. ඒත් එදා අම්මා එළියට නොකියන මොකක්දෝ දෙයක් හිතේ හිරකරගෙන ඉන්නවා කියලා ඔහුට ඉවෙන් වගේ තේරුණා. ඒක හින්දම වාහනෙන් බැහැලා ඇවිත් ගෙට ගොඩවෙන ගමන් අම්මව කතාවට අල්ලගන්න හිතාගෙන ඔහු මෙහෙම ඇහුවා.

‘‘අම්මා ටීවී එකේ හයිවේ එක දැක්කා නේද?’’

නිමල් මහත්තයා තමන්ගේ අම්මගෙන් බලාපොරොත්තු වෙන්නේ ‘‘ඔව් පුතේ දැක්කා’’ කියන උත්තරය. ඒත් මේ අම්මා ඒ උත්තරය දෙන්නේ ඒකට තවත් දෙයක් එකතු කරලා. ඒ තමන්ගේ යටි හිතේ තියෙන පුංචි ආසාවක් ගැන. අහිංසක බලාපොරොත්තුක් ගැන.

‘‘ඔව් පුතේ ටීවී එකෙන් නම් දැක්කා. අනේ ඒක මට මේ ඇස් දෙකෙන්ම දකින්න තිබුණා නම් කියලා හිතුණා…’’

නිමල් මහත්තයා කියන්නේ තමන්ගේ අම්මට උපරිමයෙන් ආදරේ කරපු මනුස්සයෙක්. ඒ නිසා ඔහුට තවත් හිතන්න දෙයක් ඉතුරුවෙලා තිබුණේ නෑ. දවස පුරාම ගිනි අව්වේ පිච්චිලා ඇතුගල කන්ද තරමට මහන්සි දැනිලා තිබුණත් ඒ මහන්සිය නොබලා එදා ඒ මොහොතේම ඔහු තමන්ගේ අම්මාව අධිවේගී මාර්ගය බලන්න එක්ක යන්න තීරණය කරනවා.

‘‘මගේ ගෙවල් තියෙන්නේ කුරුණෑගල. ඉතින් අපේ ගෙදර ඉඳන් හයිවේ එකට මහා දුරක් නෑ. උපරිම බැලුවොත් කිලෝමීටර් පහයි. අම්මා හැමදාම මං ගෙදර එනකල් බලාගෙන ඉන්නවා. එයාට දැන් වයස අවුරුදු හැත්තෑ අටක්. කිසිම අසනීපයක් නැතුව නිරෝගීව ඉන්නවා. අපිට නොකිව්වට ඒ වෙනකල් අම්මත් ලොකු ආසාවකින් ඉඳලා තියෙන්නේ හයිවේ එක දකින්න. මට අම්මගේ කතාවෙන් ඒක තේරුණා. පස්සේ මං ඇහුවම යමුද හයිවේ එක පැත්තේ රවුමක් කියලා එයා කැමති වුණා. ගෙදර හිටපු ඇඳුමෙන්මයි එක්කන් ගියේ. රෑ දහයයි තිහ විතර වෙනකොට අපි හයිවේ එකට ගියා.’’

මෙහෙම පුතෙක් ලබන්න අම්මෙක් කොච්චර නම් පිං කරන්න ඕනේද? ඒ පින මේ අම්මා කරලා තිබුණා. ඒක නිසාම නිමල් මහත්තයා තමන්ගේ අම්මත් එක්ක හයිවේ එක බලන්න ගියා. දවස තිස්සේම ඔහු හයිවේ එකේ ගැවසුණු නිසා ඔහුට ඒක විශේෂයෙන් නොදැනුණත් ජීවිතේ පළවෙනි වතාවට ඒ අත්දැකීම විඳගත්තු අම්මට හයිවේ එක දැකලා නොඅඬා ඉන්න බැරිවුණා. ඇස් අග්ගිස්සෙන් වැටෙන කඳුළු පිහදාන ගමන් නිමල් මහත්තයගේ අම්මා පුදුමයෙන් වගේ මෙහෙමත් ඇහුවා.

‘‘දෙයියනේ, පුතේ මේ කුරුණෑගලද? මේ ඇස් දෙකෙන් මෙහෙම දෙයක් දකින්න මමත් එහෙනම් පිං කළා.’’

අම්මට ඊට වඩා සතුටක් නෑ. මොකද තමන් දන්න කියන කාලේ ඉඳන් ඇවිදපු ඉසව්වේ තමයි මේසා දැවැන්ත සංවර්ධනයක් වෙලා තියෙන්නේ. ඉතින් සතුටු නොවුණොත් තමයි පුදුමේ. ඇය තමන්ගේ පුතාට තුරුලුවුණේ ඒ සතුටට. ඒ සැනින්ම ජංගම දුරකතනයෙන් නිමල් මහත්තයා පින්තූර කීපයක් ගන්නවා. මොකද දරුවෙකුගේ ජීවිතේ අම්මා මතක් වෙන්න සුන්දර මතක සටහන් කියලා අන්තිමේ ඉතුරුවෙන්නේ මෙහෙම හරි ගහලා තියාගන්න පින්තූර ටිකක් විතරයි.

‘‘මගේ අම්මට කොහේ හරි යන්න ඕන කිව්වොත් මං එක්ක යනවා. එයාට සතුටුයි කියලා හිතෙන දෙයක් තිබුණොත් කරනවා. ආයෙත් දෙපාරක් හිතන්නේ නෑ. මොකද අපිට අම්මා කෙනෙක් ලැබෙන්නේ එක සැරයයි. ඒ ලැබෙන අවස්ථාවේ අපි අපේ අම්මට උපරිමයෙන් සළකන්න ඕනේ. අම්මෙක් එහෙම බලාපොරොත්තු නොවුණත් දරුවන්ට යුතුකමක් තියෙනවා එහෙම කරන්න.’’

ගොඩාක් මිනිස්සු දියුණු වෙලා ඉහළට යනකොට මුලින්ම අමතක කරන්නේ අම්මව. හැමෝම නෙවෙයි. ඒත් ගොඩාක් මිනිස්සු. ඒ අය නගරයට ඇවිත් සල්ලි හම්බකරලා සැප ජීවිත ගත කරද්දි පවුලේ ආර්ථික අතින් පහළින්ම ඉන්න දරුවා ළඟ තමයි අම්මා නවතින්නේ. ආයෙත් අර ලොකු ලොකු මහත්තුරු අම්මව බලන්න යන්නේ අවුරුද්දකට සැරයයි. සමහරු එහෙමත් නෑ. ඒ අතින් බැලුවම නිමල් මහත්තයා රත්තරන්. ඒක ඒ අම්මගෙත් වාසනාව. අම්මගේ කුසින් ඉපදිලා අම්මව අමතක කරලා ඉන්න ලොකු මහත්තුරුන්ට නිමල් මහත්තයා ලොකු ආදර්ශයක්.

‘‘විධායක ශ්‍රේණියේ තනතුරු දරණ නිලධාරීන් ඉන්න ගොඩක් ගෙවල්වල අම්මා නෑ. මොකද එයාලා නගරයට ඇවිත් සල්ලි හම්බකරලා සැප ජීවිත ගත කරද්දී අම්මා එක්කෝ මහගෙදර තනිවෙනවා. නැත්නම් ආර්ථික අතින් පහළම ඉන්න දරුවා ළඟ නවතිනවා. හැබැයි මගේ අම්මා මං මගේ ළඟමයි තියාගෙන ඉන්නේ. අම්මයි මමයි අදටත් හරි එකතුයි.’’

අම්මලා කියන්නේ කවදත් දරුවන්ට හොඳම දේවල් දීලා දරුවන්ට හොරෙන් අත පිහගන්න ජාතියක්. ඒත් ඒක අදටත් හුඟාක් දරුවෝ දන්නේ නෑ. ඒක නිසා අද සමාජයේ ගොඩාක් දරුවන්ට අම්මව මඟ ඇරෙනවා. එයාලට ආයෙත් තමන්ගේ අම්මව මුණගැහෙන්නේ එයාලගේ හුස්ම නැවතුණු දවසක. ඒත් එදාට ඒ දරුවෝ පරක්කු වැඩියි. සමහරවිට ඔබේ අම්මා නිමල් මහත්තයාගේ අම්මා වගේ ‘‘අනේ පුතේ මාවත් හයිවේ එක බලන්න එක්ක යන්න’’ කියලාකියන්නේ නැතිවෙයි. ඒත් ඔබ නොදන්නවා වුණාට ‘‘අම්මේ බත් කෑවද?’’ කියන වචන දෙක තුනවත් අහයි කියලා බලාපොරොත්තු වෙනවා.

‘‘දැන් සල්ලි පස්සේ හඹායන සමාජයක් තියෙන්නේ. සල්ලි උඩ එනකොට අම්මලා යට යනවා. ඊටපස්සේ දරුවන්ට අම්මව මඟ ඇරෙනවා. ඒත් අපිට ඉන්නේ එක අම්මයි. ඒ අම්මාව සතුටු කරලා ගන්න හැඟීම සල්ලිවලට ගන්න බෑ.’’

ඒ නිමල් මහත්තයා අන්තිම මොහොතේ අපිට කියපු කතාව. ඉතින් ඔහු හිතන විදිහටම අනික් මිනිස්සුත් තම තමන්ගේ අම්මලා ගැන හිතුවා නම් මේ සමාජය කොච්චර සුන්දර වෙයිද?

රුවන් එස්.සෙනවිරත්න