විශේෂාංග

අතට අහුවෙන පෝච්චි, ටින්, හට්ටි, මුට්ටි ඔක්කොගෙම මං වගා කළා

වගාවට හිත බැඳුනහොත් එක් බිම් අඟලක් හෝ පාළුවට හරින්නට ඔබට හිත් නොදෙනු ඇත. ඒ ගෙවතු වගාවට පෙම් බැඳි සිත්වල හැටිය. බත්තරමුල්ල, කොස්වත්ත, රිචර්ඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණයේ දිවි ගෙවන මාලා බස්නායක හිටපු දිසාපතිනියද තම විශ්‍රාම සුවය ගත කරන්නේ ගෙවත්ත එවන් කෙම්බිමක් කරගෙනය.

මම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් විදියට විශ්‍රාම ලැබුවේ 2020 අවුරුද්දේ. ඒ විශ්‍රාම ලබන්න ආසන්න වෙද්දී මට හිතුණ දෙයක් තමයි, නිවසට වෙලා නිකම්ම කාලය ගත කරන්න වුණොත්, එය හිතට කණස්සල්ලක් ගෙනේවි කියන කාරණය. මොකද තිස් වසරක රාජ්‍ය සේවය තුළ, ප්‍රාදේශීය ලේකම්වරියක් හැටියට ජනතාවගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන තමයි අපි රාජකාරියේ නියැලුණේ. කොහොමහරි බලාපොරොත්තු නොවුණු විදියට කොරෝනා වසංගතය රටට ඇවිත් අපට දිගු නිවාඩුවක් ලැබුණා. හුදෙනෙක් ඒ කාලය තුළ ගෙවතු වගාව ගැන උනන්දු වුණා. මම ඒ වෙනකොටත් ගෙදරට ඕන කරන කොළපළා වර්ග ටික වවාගෙනයි තිබුණේ. හැබැයි කොරෝනා නිවාඩුව ලැබුණට පස්සේ මල් පෝච්චිවල, බෝතල්වල, හිස් හාල් බෑග්වල විතරක් නෙවෙයි අතට අහුවෙන පුංචි ටින් එකෙත් හට්ටි මුට්ටිවලත් එළවලු, කොච්චි, මිරිස් ඇතුළු විවිධ බෝග වර්ග වගා කරන්න පටන්ගත්තා. විශ්‍රාම ගියහම ගෙදර ඉන්න පාළු දැනෙයි කියලා හිතුණ මට දැන් වැඩ කරගන්න පැය විසිහතරත් මදි. ගහකොළ, මල් එක්ක කාලය ගත කරන්නේ හරිම සතුටින්. තමන් අතින් හිටවපු පැළයක මලක්, ගෙඩියක් එනවා දකිද්දි ඒ දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.

ඇයගේ වගාබිම නිවසේ බැල්කනියත්, ගේ පිටුපස කුඩා බිම් තීරුවත්ය. තාප්පයේත්, යකඩ වැටේත් වගාකොට ඇති විවිධ වැල් වර්ග එතී ඇත්තේ ඇයගේ මග පෙන්වීමෙනි. ළඟ ළඟ තැබූ පෝච්චිවල කංකුං, ගොටුකොළ, මුකුණුවැන්න, නිවිති වර්ග, තෙබු, ජපන් බටු කොළ, මුරුංගා, කතුරුමුරුංගා, කිරිඅගුණ, කුරිඤ්ඤං කොළ වර්ග, මාලුවට ගන්න හබරල ගස් වර්ග ද තිබේ.

ඉස්සර ඉලම අපි අහලා තියෙන දෙයක් තමයි, එළියෙන් ගන්න කොළපළාවල වස විස වැඩියි, අපවිත්‍ර දේ වැඩියි කියන කාරණාව. ඒ නිසා එළියෙන් ගේන පළා වර්ග ගැන මගේ අකමැත්තක් තිබුණා. ඒ එක්කම කලවම් පළා මැල්ලුමක් හදාගත්තම එදාට බත් ටික කැමැත්තෙන් කන්න පුළුවන්. මඤ්ඤොක්කා කොළයි, තිබ්බටුයි, හීන් කොච්චියි කොටලා දාලා හදන මැල්ලුමට මම පුංචි කාලේ ඉලම කැමතියි. මට ඕන වුණේ මේවා වත්තෙම වවාගෙන හිතුණ වෙලාවට හදාගෙන ආහාරයට ගන්න හැකි පසුබිමකුයි.

ඒ සිතුසේම ඇය වම්බටු, දඹල, මෑ, බණ්ඩක්කා වැනි එළවලු වර්ගවලට සිය ගෙවත්තේ ආදරණීයව පීදෙන්නට අවශ්‍ය සත්කාර ලබාදෙන්නේ හිතේ ආදරයද ඊට මුසුකොටය.

පෝච්චිවල වගා කළහම හො වතුර සැපයුමක් පැළවලට ඕන කරනවා. ඒ වගේම මගේ වගාවට මම රසායනික පොහොර භාවිතා කරන්නේ නෑ. කොම්පෝස්ට් පොහොර විතරයි යොදන්නේ. ගෙදරත් කොම්පෝස්ට් බුනක් තියෙනවා. දියත උද්‍යානයෙනුත් මිලට ගන්නවා. සති දෙකෙන් දෙකට වගේ කොම්පෝස්ට් දාලා පසේ සාරවත්බව ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම මම කුස්සියේ උයන පිහන වෙලාවට කැපෙන කෙටෙන දේවල් මොනවත් අහක දාන්නේ නෑ. ඒවා බුනකට එකතු කරලා පැළවලට එක්කරනවා. ලූනු පොතු, කෙසෙල් ලෙල්ල පවා විසි කරන්නේ නෑ. යූටියුබ් එක බලලා මම දියර පොහොර හදාගෙන තියෙනවා. කෙසෙල් ලෙලි කපලා දින පහක් පමණ පල්වෙන්න තියලා හදාගන්නා දියරය ඉස්සම වැල්වල මල්, කරල් හටගන්න එක ඉක්මන් වෙනවා.

බස්නායක මහත්මිය කියන්නේ තේ රොඩු, බිත්තර කටු පවා වේලා පොහොර කරගත හැකි බවය. ඒ වාගේම මිරිස් පැළයක්, බටු පැළයක් අස්වනු වරද්දී එම අතු රිකිලි කපා දමා නැවත සාත්තු කළවිට නව අතු ඉති පැමිණ පලදාවක් ලැබිය හැකි ශාකයක් බවට එය පත්කිරීමට හැකියාව තිබේ.

අපි ඉස්සර කඩෙන් ගත්ත එළවලුවලින් බාගයක්වත් දැන් කඩෙන් ගන්නේ නැහැ. කොළපළා වර්ග සියල්ලම ගෙවත්තෙන්. සමහර කාලවලට දඹල පලදාව අපේ කෑමට වැඩියි. එවිට අහල පහල ගෙවල්වලටත් දෙනවා. මේ වගාව ආර්ථිකයට වඩා මට නම් මනසට මහා පුදුමාකාර සුවයක්, සහනයක්. අද උදේ වැලක මලක් පිපිලා තිබුණනම් ඊළ දවසේ උදේ මම නැගිටින්නේ ඒ මලේ මොනවද වෙනස්කම් කියලා බලාගෙන. ඒ මල අත ගාලා, ආදරය දක්වලා, සාත්තු සප්පායම් කරනකොට පලදාව දෙනවා. බැල්කනියේ දැලක් ගහලා මෑ කරල්, දඹල වගේ වැල් යන්න ඉඩ හදලා තියෙනවා. නගරයේ පස් අඩු නිසාත් පෝච්චිවල, බෑග්වල වගා කරන නිසාත්, පැළයක් හිටවන්න සුදුසු විදියට මම පස සකස්කර ගන්නවා. ඒ වගා මල්ලේ පතුලටම කොළරොඩු දාලා ඊළට පොල් මුඩු අතින් ලිහිල් කරලා දානවා. ඒ මතට පස් ටිකක් දාලා කොම්පෝස්ට් තට්ටුවකුත් දානවා. ඒ විදිහට තමයි පස හදාගන්නේ.

ගොළුබෙලි කරදරය ඇයගේ වගාවටද අරියාදුවකි. රාත්‍රී කාලයේ ඔවුන් එකතු කර, පසුදා ඈතකට ගිහින් දැමූ අවස්ථා ඇතැයිද ඇය කීවාය. ඒ වාගේම සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීමට අළු දැමීම මෙන්ම සබන් දියර ස්ප්‍රේ කරන බවද ඇය සිහිපත් කළේ එවැනි කරදර විඳින ඔබ ගැනද සිතායි.

මගේ දෙමව්පියෝ ගොවියෝ. අම්පාරේ ගොවි ඉඩම් අපට තියෙනවා. පොඩි කාලේ ඉන් ගොවිතැන ගැන අත්දැකීම් තිබුණා. අම්මා තාත්තා වගා කරද්දි මමත් මට කියලා කොටුවක් හදාගෙන එළවලු හිටෙව්වා. මෑ කරල්, බණ්ඩක්කා, වැටකොළු හැදෙනවා. ලොකුවට නෙවෙයි. බණ්ඩක්කා කරල දෙක, මෑ කරල් හතරක් පහක්, වැටකොළු කරලක්. මේ ඔක්කොම එකට දාලා අම්මා රස මාලුවක් හදනවා. ඒ මතක පවා අදටත් රසවත්.

එම ඉඩකඩම් දැන් වගා කරන්නේ ඇයගේ සහෝදරයායි. අම්පාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස පළමු පත්වීම ලද ඈ, වසර දාසයක සේවා කාලයකින් පසු පැමිණෙන්නේ කොළඹටය. අනතුරුව හංවැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත්, අනතුරුව අමාත්‍යංශයටත් අනුයුක්තව සේවය කොට විශ්‍රාම ලබන්නීය.

මගේ මහත්තයා හිටපු විදුහල්පතිවරයෙක්. ඔහු වගේම අපේ එකම දුව සචිනි මනේකාත් මේ වගාබිම දැකලා සතුටු වෙනවා. මේ පෝචිචි වගේම අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ටික ගෙනැත් දෙන්නේ මහත්තයා. අපි ගෙදර නැත්නම් දුව හරි, මගේ අම්මා හරි තමයි පැළවලට වතුර දාන්නේ. දවසක දෙකක පිට ගමනක් යන්න වුණොත් බෝතලයක පුංචි සිදුරක් හදලා වතුර බිංදුව බිංදුව පෝච්චියට වැටෙන්න සලස්වලා යනවා. මොකද සමහර පැළවලට වතුර ඕනමයි.

ගෙදර හිඳින්නට කම්මැලි වේයැයි සිතුවත්, ගෙදර උයා පිහා එළවලු වගාවට සාත්තු සප්පායම් කරනවිට දවස ගෙවෙනවා ඇයට දැනෙන්නේ නැත. වගාවේ සියලු බෝග ඇගේ සත්කාර ලබන්නේ ඒ ආදරය පැළයකට ඉතා වටිනා ඔසුවක් යැයි ඇය හිතන නිසාය.

ඇත්තටම දරුවෙකුට ආදරය කරනවා වගේ ආදරෙන් තමයි පැළයක් රැකබලාගන්නත් ඕන. මොකද ආදරයේ ප්‍රතිඵලය කියන්නේ ආදරයමයි. ගෙදර එළවලු වට්ටියට, සතියකට එළවලුවක්, කොළපළා ටිකක්, කොච්චි, මිරිස් ටිකක්, ගස්ලබු ගෙඩියක් දෙනවා කියන්නේ ඒ ආදරය මිස වෙන මොකක්ද?

එය සැබෑවකි. ඉකුත් කාලයේ කහ හිඟය ගැන බොහෝදෙනා කතා කරද්දී, අහුවෙන අහුවෙන පෝච්චියේ ඇය කහ ද වගා කළාය. එහි අස්වැන්න හොඳ වූ නිසාම දැන් වෑංජනය ලස්සන කරන කහ කුඩු ටික ගන්නේද ගෙදරිනි.

ඇත්තටම වගාව කියන්නේ මනස හොින් තියාගන්න වගේම ආතතිය නැති කරගන්න තියෙන හොම ඔසුවක්.

ඒ ඔසුව ඔබේ ගෙවත්තේ පුංචි ඉඩ තුළ ඔබටම සකසාගත හැකිය. අවශ්‍ය වන්නේ ඔබ ඒ වෙනුවෙන් කැපකරන කාලයත්, උනන්දුවත්ය.

 

දීපා වසන්ති එදිරිසිංහ