පාට දෙකේ ගෑනු ළමයින් වෙතටයි…
තමන්ගේ සමේ සැබෑ වර්ණයට වඩා ශරීරයේ ඇතැම් ප්‍රදේශ අවපැහැ වීම අද ගොඩක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක්. ඇස් වටා, නහය දෙපස, කට දෙපස, වැලමිට, බෙල්ල, දණහිස, ඇඟිලි පුරුක් ආදී ස්ථානවල මෙම අවපැහැගැන්වීම නිතර දකින්න පුළුවන්.
බෙල්ල කළුවීම නම් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ හෝමෝන ගැටලුවක් නිසා. කාන්තාවන්ගේ ඩිම්බ මේරීම සහ ඩිම්බ නිදහස් වීම නිසිලෙස සිදු නොවන PCOS (Polycystic Ovary Syndrome) තත්ත්ව පවතින විට වගේම ගර්භාෂගත ගෙඩි (Fibroid ), ගර්භාෂ බිත්තියේ ගැටලු තත්ත්ව (Endometriosis) ඇතිවිටත් හෝමෝන අසමතුලිත වෙලා බෙල්ල අවට කළුවෙන්න පුළුවන්. විශේෂයෙන් බෙල්ල පිටුපස කළුවීම මෙහිදී වැඩිවශයෙන් දකින්න පුළුවන් තත්ත්වයක්. පිරිසිදු කිරීමේදී අපි මුහුණට දෙන විශේෂ අවධානය බෙල්ල හා බෙල්ල පිටුපසට ලබා නොදීමත් මේකට හේතුවක්.
දණහිස් සහ වැලමිට අවට කළුවීම නිරන්තරයෙන් කාන්තාවන් අතර දක්නට ලැබෙන තවත් ගැටලුවක්. මෙම ගැටලුව ප්‍රධාන කරුණු කීපයක් හින්දා ඇති වෙන්න පුළුවන්. කුණු දූවිලිවලට දණහිස සහ වැලමිට නිතර නිරාවරණය වීමෙනුත් එම ප්‍රදේශ ඉක්මනින් අවපැහැගැන්වෙනවා. ගොඩක් වෙලාවට දණහිස් සහ වැලමිටිවලට පිරිසිදු කිරීමේදී ලබාදෙන අවධානයත් අවමයි. ඉතින් වැඩි වේලාවක් කුණු දූවිලි සහ විෂබීජ තට්ටු රැඳිලා තියෙන හින්දා මේ ප්‍රදේශවල පැහැය ක්‍රමයෙන් අඳුරු වෙනවා.
දණහිස් සහ වැලමිටි මගින් නිතර නිතර රළු පසුබිම් ස්පර්ශ කිරීම හේතුවෙනුත් එම ප්‍රදේශ කළු පැහැවීම සිදුවෙනවා. දෑත් තබාගෙන සිටින ඉරියව්ව දණහිස් තබාගෙන සිටින ඉරියව්ව මතත් මෙම අවපැහැ වීම රඳා පවතිනවා. නිතර රළු පෘෂ්ඨ මත දණහිස් සහ වැලමිට ස්පර්ශ වෙන කෙනෙක් නම් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි.
හිරුඑළිය නිසා සම අවපැහැ වෙන බව කවුරුත් දන්නවනේ. ඉතින් වැලමිට සහ දණහිස් කියන්නේ ගොඩක් වෙලාවට හිරුඑළියට නිරාවරණය වෙලා තියෙන ප්‍රදේශ. එම ප්‍රදේශ හිරුඑළියෙන් ආරක්ෂා කරගන්නේ නැතුව දිගින් දිගටම නිරාවරණය වීමක් සිද්ධ වුණොත් එයත් බලපානවා මේ ප්‍රදේශ අවපැහැගැන්වීමට.
ඇඟිලි පුරුක් කළුවීම කියන තත්ත්වය බොහෝ වෙලාවට හටගන්නේ කරනු ලබන රැකියාව මත පදනම් වෙලා. ඇඟිලි නිතර නිතර රළු පෘෂ්ඨ මත ගැටෙන විට එම ස්ථාන වියළිමට ලක්වෙලා සම රැලි වැටිලා කළු පැහැ ගැන්වීමක් සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ආයුර්වේද සම්බාහකවරුන්ගේත් මෙම තත්ත්වය දක්නට ලැබෙනවා. ඒ ඔවුන් භාවිතා කරන තෙරපුම් ප්‍රතිකාරවලදී ඇඟිලි පුරුක් භාවිත කරන හින්දා. මීට අමතරව වැඩි වශයෙන් මෙම ඇඟිලිපුරුක් කළු වීම කියන තත්ත්වය බේකරි කර්මාන්තය ආශ්‍රිතව දක්නට ලැබෙනවා.
ඔය විදියට විවිධ හේතූන් නිසා ශරීරයේ ඇතැම් ප්‍රදේශ අවපැහැ ගැන්වීම සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ අවපැහැගැන්වීම්වලට අපිට කරන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා.
ලෙමන් ගෙඩියක් දෙකට කපලා ඒ මතට කෝපි කුඩු ස්වල්පයක් ඉහලා ශරීරයේ කළු පැහැති ස්ථානවල රවුමට ස්ක්‍රබ් කිරීම මගින් මැරුණු සම ඉවත් වෙලා යනවා. ඒ වගේම ලෙමන්වල අඩංගු විටමින් සී ප්‍රතිඔක්සිකාරකය මගින් සම මත අලුත් සෛල නිෂ්පාදනය කරන්න උත්තේජනයකුත් සපයනවා. කෝපි කුඩු හරහා එම ප්‍රදේශවල සමේ ඇති රැළිවැටුණු බව ඉවත් කරලා පැහැපත් කිරීමත් සිදු කරනවා. මේ ලෙමන් සහ කෝපි කුඩු සත්කාරය සතියට දෙවරක් පමණ කිරීම හොඳටම ප්‍රමාණවත්.
ස්වභාවික කෝමාරිකා ජෙලිවල සම පැහැපත් කිරීමේ ගුණයක් වගේම සමට තෙතමනය ලබාදීමේ ගුණයකුත් පවතිනවා. දිනපතා එක්වරක් අවපැහැ ගැන්වෙලා තියෙන ස්ථානවල කෝමාරිකා මදය හොඳින් ආලේප කරලා විනාඩි විස්සක් තියලා සෝදා හැරීම මේ අව පැහැගැන්වීම් අවම කිරීමට උදව් වෙනවා.
කඩල පිටි මේස හැන්දකට අර්තාපල් යුෂ එක් කරලා ඒ මිශ්‍රණය සිරුරේ අවපැහැ ගැන්වුණු ස්ථානවල ආලේප කරලා විනාඩි කිහිපයකට පසු සීතල ජලයෙන් සෝදා හැරීමෙනුත් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන්. මෙහිදී සමේ වර්ණය වැඩිදියුණු කරන්නත් අඳුරු ලප ඉවත් කරන්නත් හේතුවෙන්නේ කඩල පිටිවල අඩංගු අධිසාන්ද්රණයකින් යුතු විටමින් සහ ඛනිජ ලවණයි සම රැළි වැටීමට විරුද්ධව ක්‍රියා කරන්නේ අර්තාපල් යුෂයි. මෙම ප්‍රතිකාරය හරහාත් සම දීප්තිමත් කරලා සමේ අඳුරු බව අඩු කරගන්න පුළුවන්.
මී පැණි හෝ ලෙමන් යුෂ සමඟ කහ කුඩු ස්වල්පයක් හොඳින් මිශ්‍ර කරලා අඳුරු ස්ථානවල ආලේප කර රාත්‍රියක් තිබෙන්නට හැර සෝදාහැරීමෙනුත් අඳුරු සම නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. වඩා හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙනෙක් දිනපතා වුණත් මෙම ක්‍රමය අත්හදා බැලුවාට ගැටලුවක් නෑ.
ඉතින් සමට වෙන්න පුළුවන් හානි අවම කරගෙන සම නිරෝගීව පවත්වාගෙන යන්න කැමති ඕනම කෙනෙක්ට මේ විදියේ ආයුර්වේද ක්‍රම ගෙදරදීම අත්හදා බලන්න පුළුවන්.
උපදෙස්
වෛද්‍ය වාසනා සමරවික්‍රම
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කන්දකැටිය /ඌව පළාත
මානසික උපදේශනය සහ චීනකටු චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරිනි
පවනි වාසනා