මුනීබා, තව එක දෙයක් ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ
රූපය අතින් මුනීබාට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැත. ඒ වයසේ තරුණියක් ප්‍රාර්ථනා කරන විදියේ රූප සම්පත්තිය වැඩිපුරත් එක්ක දෙවියන් වහන්සේ විසින් ඇයට ලබාදී තිබුණි. එහෙත් පවුලේ වැඩිමහල් දැරිය ලෙස මුනීබාට හැදී වැඩෙන්නට සිදුවූයේ තද නීතිරීතිවලින් යුත් සාම්ප්‍රදායික පවුලකය. ඇයට මල්ලිලා දෙදෙනෙක්ද සිටියාය. යුද හමුදා පොදු පාසලකින් අධ්‍යාපනය ලැබූ මේ දැරියට තේරෙන වයසේ පටන් තිබුණේ එකම සිහිනයකි. ඒ දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වීමේ ආශාවයි.
නමුත් ඒ සිහිනය සැබෑ කරගැනීමට පෙර මුනීබාගේ ජීවිත කතාව වෙනස් වෙන්නට පටන්ගත්තේ ඇයත් නොසිතූ මොහොතකය. පියා කිසිඳු වගවිභාගයකින් තොරව දහඅට හැවිරිදි මුනීබාට විවාහයක් තීන්දු කර තිබුණි. ඒ පාකිස්තානු ගුවන් හමුදාවේ සේවය කළ ගුවන් හමුදා නියමුවෙකු වූ කුරාම් ෂාසාඩ් සමඟය. විවාහයක් තියා ආදර සම්බන්ධයක් ගැනවත් සිතා නොතිබූ මුනීබාට සිදුවුණේ ඇගේ පියාගේ තනි කැමැත්තට කුරාම් සමඟ විවාහ වෙන්නටය.
එය තම කැමැත්තෙන් සිදුනොවූ විවාහයක් වුවද බිරිඳක් අතින් සැමියාට ඉටුවිය යුතු යුතුකම් කොටස ඈ නොපිරිහෙලා ඉටුකළාය. ඒ අනුව 2008 පෙබරවාරි 27 වෙනිදාට ඔවුන්ගේ විවාහයට වසර දෙකකුත් පිරුණි. එදින දෙදෙනාම සිටියේ පවුලේ මෝටර් රථයෙන් ගමන් කරමිනි. ඊට පෙරදා කුරාම්ට වැඩ අධික වූ දිනයක් නිසාදෝ ඔහුට වාහනය එළවද්දී නින්ද ගියේය. ගතවූයේ තත්පර කීපයකි. මහා හඬක් නගමින් මෝටර් රථය විශාල අනතුරකට ලක්විය.
ඒ අවස්ථාවේ සැමියෙකු තම බිරිඳට තියා හතුරෙකුටවත් නොකරන අන්දමේ ක්‍රියාවකි ඇගේ සැමියා සිදුකළේ. මුනීබා අනතුරට පත්වූ මෝටර් රථයේ සිරවී සිටියදීම ඔහු මෝටර් රථයෙන් ඉවතට පැන තම ජීවිතය බේරා ගත්තේය. ගැහැනියක වූ මුනීබාට ඒ හපන්කම කරන්නට හැකියාවක් නොතිබිණි. ඒ නිසා ඇය මෝටර් රථයේම හිරවී සිටියාය. අවසානයේ ඇයව බේරගෙන තිබුණේ එරටේ ආරක්ෂක අංශ විසිනි. ඔවුන් මුනීබාව රෝහලක් වෙත රැගෙන ගිය අතර ඒ වනවිටත් පියවි සිහිය ඇගෙන් ඈතට ගොස් තිබිණි.
සිහිය එනවිට ඇය සිටියේ රෝහල් ඇඳක් මතය. ඇගේ මුළු සිරුරම වෙළුම් පටිවලින් වෙලා තිබුණි. ඒ කායික වේදනාවට වඩා තමන්ගේ සැමියාගේ ක්‍රියාකලාපය ගැන ඈ සිටියේ හිතේ වේදනාවෙනි. ඒ වේදනාවෙන්ම ඇය තදින් දෑස් පියාගත්තාය. නැවත ඇස් අරිද්දී ඇය ඉදිරියේ සිටි රෝහල් වෛද්‍යවරයා බොහෝ වේලාවක් මුනීබා දෙස බලා සිට අවසානයේ මෙසේ පැවසීය.
‘‘මුනීබා, ඔයාගේ අත්දෙක අප්‍රාණිකයි. ඒ නිසා ආයෙ කවදාවත් ඔයාට චිත්‍ර අඳින්න බැරිවෙයි.’’
එක්වරම මුළු ඇඟම ගිනිගන්නවාක් මෙන් ඇයට දැනුණාය. එහෙත් ඇය අමාරුවෙන් හිත තදකරගෙන සිටියාය. වෛද්‍යවරයා යළිත් යමක් කියන්නට සැරසුණේය.
‘‘මුනීබා, අනතුර හින්දා ඔයාගේ කොඳු ඇට පේළියට ගොඩාක් හානිවෙලා. ඔයාට ආයෙ කවදාවත් ඇවිදින්න බෑ.’’
එවර නම් ඇයට ජීවිතය අවසන් වූවාක් මෙන් දැනුණි. රෝහල් වාට්ටුවටම ඇසෙන සේ ඇය ඉකිබින්ඳාය. එහෙත් වෛද්‍යවරයාගේ ඊළඟ කතාවෙන් නම් ඇය පණපිටින්ම මැරුණාය.
‘‘මුනීබා, තව එක දෙයක්. ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ.’’
‘‘ඒ වෙලාවේ මට දැනුණේ ජීවිතේ මගෙන් ටික ටික ඈත්වෙලා යනවා වගේ. ඒත් මගේ අම්මා හැමදාම කියපු දෙයක් තිබුණා. ඒ තමයි දුක්වෙන්න එපා, ඔයා වෙනුවෙන් දෙවියන් වහන්සේ ළඟ වෙනම සැලැස්මක් ඇති කියලා. මං දන්නේ නෑ එහෙම එකක් තිබුණද නැද්ද කියලා. ඒත් අම්මගේ වචන මම විශ්වාස කළා.’’
ඇය නැවත රෝහලෙන් නිවසට පැමිණියේ රෝද පුටුවෙන්ය. ඒ වනවිටත් කුරාම් ඇයගෙන් වෙන්වෙන්නට දික්කසාද නඩු පවරා තිබුණි. එලෙසින් වසර කීපයක් ගතවී ගියේය. එක් දිනෙක මුනීබාගේ දුරකතනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබිණි. ඒ අනාථ නිවාසයකිනි.
‘‘මේ මුනීබා බසාරි මහත්මිය නේද? අපි ළඟ ලස්සන පුංචි දරුවෙක් ඉන්නවා. හදාගන්න කැමති නම් ඔබතුමියට දෙන්න පුළුවන්.’’
ඇය මොහොතක් හෝ කල්පනා කළේ නැත. හිත පතුලේ සැඟවී තිබූ දරු සෙනෙහස එම දුරකතන ඇමතුම සමඟින්ම ඉහළට පැමිණියාය.
‘‘මං අනිවාර්යයෙන්ම ඒ දරුවට ලෝකයේ ඉන්න හොඳම අම්මා වෙන්නම්. මට ඒ දරුවා දෙන්න.’’
මුනීබා එම දරුවාට මවක් විය. එසේම ඇය කුඩා වියේ සිට සිහින දුටු චිත්‍ර ශිල්පය යළි ආරම්භ කළාය. එයින් නොනැවතී නිරූපණ ශිල්පයද ප්‍රගුන කළාය. එවර නම් ඇයට වැරදුණේ නැත.
‘‘ජීවිතය කියන්නේ පරීක්ෂණයක්. ඒක ලේසි එකක් නෙවෙයි. ගන්න හැම හුස්මකටම ආදරේ කරන්න. මරණය ඔබ සොයා එනතුරු ජීවිතය අත්හරින්න එපා. මිනිස්සුන්ට පෙනුනේ මගේ දුබලතාව විතරයි. ඒත් මට පෙනුනේ මගේ හැකියාව විතරයි. ඇවිදගන්න බැරිවුණාට මොකද මට දැන් රෝද දෙකක්ම තියෙනවා. මගේ ජීවිතේ වීරයා මමමයි. වීරයෝ කවදාවත් පසුබසින්නේ නෑ. ජීවිතය ඔයාගේ පැත්තට දෙහි ගෙඩියක් විසිකළොත් ඔයා ඒ දෙහි ගෙඩියෙන් ලෙමනේඩ් එකක් හදන්න. හැබැයි කවදාවත් ඔයාගේ පැත්තට දෙහි ගෙඩිය විසිකිරීම ගැන ජීවිතයට බණින්න එපා. බාධක ගොඩක් තියෙනවා. ඒත් එහෙමයි කියලා ජීවිතේ අතාරින්න එපා.’’
එහෙම කියන්නී වර්ෂ 1987 මාර්තු 03 වෙනිදා පාකිස්තානයේ උර්ගු දැරියක ලෙස උපත ලැබූ මුනීබා මසාරිය. වයස අවුරුදු 34ක තරුණියක් වන ඇය පාකිස්තානයේ රෝද පුටුවෙන් යන පළමු සහ එකම චිත්‍ර ශිල්පිනියයි. එසේම දකුණු ආසියාව තුළ රෝද පුටුවෙන් යන එකම මෝස්තර නිරූපණ ශිල්පිනියද ඇයයි. පාකිස්තානු කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක්ද වෙන මුනීබා, එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාන්තා අංශයේ පාකිස්තානු නියෝජිතවරියක් ලෙසද කටයුතු කරයි. ඉතින් මේ ඇය අභියෝග කරමින් සිටින්නේ දෛවයට නොවේද?
රුවන් එස්.සෙනවිරත්න