මිටියෙන් ඔලුවට ගැහුවට පස්සෙ අම්මා ආපහු දුවව ගෙදරට ගන්න කැමති නෑ
මිනුමකින් මැනිය නොහැකි සෙනෙහසක් වේ නම් ඒ සෙනෙහස අයිති අම්මාටය. එවන් අම්මා කෙනෙක් දරුවෙකුට අවවාදයක් දෙන්නේ, බැණ අඬගසන්නේ තරහටම නොවේ. ඒ තම දරුවෙකුට වරදක් වනු දැකීම තරම් දුකක් වේදනාවක් මවකට තවත් නැති නිසාය.
බේරුවල කාලවිලකන්දේ විසූ නදී තවමත් දාහත් වියැති පාසල් සිසුවියකි. ඇයට මව අවවාද දෙන්නට වූයේ, නොගැළපෙන ප්‍රේම සම්බන්ධයක් පටලවාගත් නිසාය. මේ සම්බන්ධයේ නොගැළපෙනකම් ගැන දියණියට කියාදෙන්නට යෑමෙන් මවත් දුවත් අතර විවිධ විරසකකම් මතුවූවා සේම නිතර අවවාද අසන්නට වීම නදී සැලකුවේ මහා කන්දොස්කිරියාවක් ලෙසිනි.
මේ විරසකයේ උච්චතම අවස්ථාවක් මීට මාස එකහමාරකට දෙකකට පමණ පෙර උදෑසනක උදාවිය.
‘‘සර්… මට ගෙදර ඉන්න බෑ. අම්මයි තාත්තයි නිතරම මට බණිනවා. අම්මා අද උදෙත් මට හොඳටෝම ගැහුවා.’’
නදී එදා උදෑසන බේරුවල පොලිසියට ආවේ ලේ වැකි පාසල් නිල ඇඳුම පිටිනි. ඇයට පහර කිහිපයක් මව ගසා ඇත්තේ නිකම්ම නොවන බව අනාවරණය වන්නේ, මේ පැමිණිල්ල විභාග කරද්දීය. නදී පාසල් වයසේ දැරියක් වුවත් ඇයගේ ළමා මනස ඒ අභිබවා බොහෝ දුරක හිතුවක්කාරී ගමනක ගොස් ඇතැයි පැහැදිලි වූයේ තොරතුරු එකින් එක එළියට එන්නට වූ විටය.
‘‘ඔව්… මම මෙයාට අවවාද කළා. අම්මා කෙනෙක් දරුවෙකුට පාරක් දෙකක් ගහන්නේ නැද්ද…? සාමාන්‍ය පෙළ විභාගේ හොඳට කරගන්න කියලයි මම නිතර කිව්වේ. ඒත් මෙයා මෙයාට නොගැළපෙන සම්බන්ධයක් පටන් අරගත්තා. කලින් සම්බන්දේ නිසාත් වස බීලයි නතර වුණේ.’’
මවගේ කටඋත්තරය තුළ එසේ කියැවෙද්දී නදී ළමා වියේදීම අත්විඳි අමිහිරි සිදුවීම්ද අනාවරණය වෙන්නට විය. නදීට වැඩිමහල් සොයුරියක් සිටි අතර, ඇයද ළාබාල වියේදීම ජීවිතය වරද්දවාගන්නේ විවාහකයෙකුට පෙම් කරන්නට යෑමෙනි. නදීට වයස පහක සහ නවයක වූ පිරිමි සහෝදරයින් දෙදෙනෙකුද විය. පියා සිවිල් ආරක්ෂක නිලධාරියෙකුව රාජකාරි කරන්නෙකි. ඔහු යුද්ධයෙන් කකුලක් අහිමිව ඇති හමුදා සෙබළෙකි.
‘‘එදා උදේම ඉස්කෝලේ ඇඳුමින් මේ දරුවා පොලිසියට පැමිණිලි කරන්න ආවේ අම්මා ගැහුවා කියලා වුණාට පස්සේ අපිට වැටහුණා මේ දරුවා බොරුත් කියනවා කියලා. එදා තාත්තගේ ක්‍රචර්ස් එකකින් අම්මට ගහලා තිබුණේ ඇය. අම්මා නිතර බණිනවා, කන්න බොන්න දෙද්දී වෙනස්කම් කරනවා කියලත් මේ දරුවා කියනවා. මේ ළමයා වයසට වඩා අත්දැකීම්වලට මුහුණ දුන්නු කෙනෙක්. පළමු පෙම්වතා නිසා මේ ළමයා වරක් වස පානය කරලා තියෙනවා. ඒ වෙලාවේ ඇයව රෝහල්ගත කරන්න සහාය දීපු තරුණයා තමයි දැන් ඇයගේ පෙම්වතා වෙලා ඉන්නේ. ඔහු ඇයට වඩා අවුරුදු හතක් වැඩිමල්. ඒ අම්මා තාත්තා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ, ඒ වයස ප්‍රශ්නෙටම වඩා මේ පෙම්වතා කියන පුද්ගලයා ඊට පෙර බාලවයස්කාරියක දූෂණය කළ බවට පනවා ඇති නඩුවක විත්තිකාරයෙක්. අදාළ දැරිය පරිවාස භාරයේදී දරුවෙකු ප්‍රසූතකොට තිබෙනවා. ඔහුට විරුද්ධව ඒ නඩුව උසාවියේ විභාග වෙනවා. මේ පසුබිම තුළ මේ අම්මා දුවගේ අනාගතය ගැන ඇති බිය නිසාම මේ සම්බන්ධය නතර කරන්න කියලා නිතර කියා තිබෙනවා.’’
ඒ බේරුවල පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂක කුමාරි ජයරත්න මහත්මියයි. පොලිසිය කියනා පරිදි නදී මේ වනවිට තම පළමු පෙම්වතාගෙනුත්, දැන් සිටින පෙම්වතාගෙනුත් අපහරණයට ලක්ව තිබේ. කාලවිලකන්ද කියන්නේ දුෂ්කර ගමකි. ලොකුවට හැමදේම නැතත්, නදීගේ මව්පියන්ට ඕනෑ වුණේ නදී හොඳින් ඉගෙනගෙන සමාජයේ හොඳ පුරවැසියෙකු වනු දැකීමටය. ඉගෙනීමට ආසාවක් තිබුණත් නදීගේ හිත කලින්ම ආදරය සොයා යද්දී ඉගෙනුමට තිබුණු කැමත්ත අඩුවිණි. කොරෝනා නිවාඩු කාලයද ඇය තවත් හිතුවක්කාර කර දමන්නට සමත් විය. රැයක් දවාලක් නැතිව ගෙයින් එළියට යන්නට එන්නට තරම් ඒ හිතුවක්කාරකම් වැඩිවී තිබුණි. ඒවාට අවවාද දෙන්නට ගිය විට මව සමඟ රණ්ඩු වීම නදීගේ චර්යාව බවට පත්වෙමින් තිබුණි. ඇය එවන් විටක අතට අසුවන වළං මුට්ටි පවා පොළොවේ ගසා ඇති බවද පොලිසිය අනාවරණය කොට ගත්තේය.
ඉකුත් මාර්තු 5 වනදා මේ ආරවුලේ තවත් උච්චතම අවස්ථාවක් උදාවූයේ මව සමඟ ඇති කරගත් ගැටුමක් අතරතුර අතට අසුවූ මිටියකින් ඇය මවගේ හිසට පහරදීමත් සමඟය.
‘‘මේ කියන දවසේ දැරියගේ මව තුවාල සහිතව පොලිසියට පැමිණියා. පසුව බේරුවල රෝහලට ඇය ඇතුළත් වුණා. මවගේ තත්ත්වය දැන් සුවයි. ඇය නිවසට පැමිණ තිබෙනවා. මේ අතර අප දැරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඒත් ඇයව අධිකරණයට ඉදිරිපත් කළේ නිවාඩු දවසක නිසා වැඩබලන මහේස්ත්‍රාත්තුමිය බාලවයස්කාරියක් නිසා පනස්දහසක ශරීර ඇප මත ඇයව මුදාහැරියත්, යළි පසුගිය සඳුදා ඇයව විවෘත අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා. ඒ වගේම එදිනමයි ඇපකරුව ඉදරිපත් කරන්නත් නියමිතව තිබුණේ. ඒ නිසා ඇයව පොලිස් භාරයේ රඳවා තබාගත යුතුව තිබුණත්, ඇය පොලිස් නිලධාරීන් එහා මෙහා වනතුරු හිඳ නිවාසගත කළා කියලා උසාවි භූමියෙන් පිටවෙලා ගිහින්. දැන් ඇයට යළිත් වරෙන්තු කොට තිබෙනවා. ඒ අනුව යළිත් ඇයව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.’’
නදීගේ ක්‍රියා පිළවෙත තුළ ප්‍රශ්නාර්ථයක් නැතුවා නොවේ. තවමත් ඇය දැරියකි. එහෙත් දාහත් වියැති නිසා ඇයට ඕනෑ තීරණයක් දැන් ගත හැකිය. එහෙත් මවට ඇයගේ අනාගතය ගැන සේම අනෙක් දරුවන් දෙදෙනා ගැනද ඇත්තේ බියකි.
‘‘හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවා. දෙමාපියෝ දරුවෙකුගේ සිදුවීමක් දිහා සංවේදීව බලන්න ඕන. මුලදිම නිසි අවවාදයක් ලැබුණානම් මේ ප්‍රශ්නය මේ ආකාරයට නරක අතට නොහැරෙන්න ඉඩ තිබුණා. අපි පළමුවරට මේ ළමයා පොලිසියට පැමිණි අවස්ථාවේම දෙපාර්ශවය කැඳවලා, කරුණු පැහැදිලි කරලා අවශ්‍ය උපදේශනය සපයලා සිද්ධිය සමතයකට පත්කළා. කොහොම වුණත් ළමයා කියන්නේ එයාට ගෙදරදී වෙනස්කම් වෙනවා කියලයි. ඉගෙනගන්න ඕන කරන දේවල් ගන්න සල්ලි නෑ කියනවා. මුලින් දුව පොලිසි ගිය වෙලාවේ ඇයව අම්මා භාරගන්න කැමති වුණත් මේ වෙනකොට ළමුන් ඇතුළත් කරගන්න නිවාසයකට හෝ ඇයව දාන්න කියලයි කියන්නේ. මොකද මවත් මේ සිදුවීමෙන් හෙම්බත්වයි ඉන්නේ.’’
දරුවෙකුගේ ළමා කාලය ළමා ලෝකයෙන් ඔබ්බට ගිය විටදී ඇතිවන ව්‍යසනයන් මෙබඳුය. මේ දරුවන් ඇහේ කනේ තබාගෙන ආරක්ෂා කරගත යුතු කාලයකි. විටෙක එසේ ආරක්ෂා කරන්නට හැදුවත්, ඒ ආරක්ෂක වැට නොතකන දරුවන් හිඳී. එය ඔවුන් සලකන්නේ හිරිහැරයක් ලෙසිනි. ආදරයක් වෙනුවෙන් හෝ වෙනත් මොනයම්ම දෙයක් නිසාවෙන් තම මව්ගේ ලේ සොලවන්නට සිතා හෝ නොසිතා කටයුතු කිරීම යහපත් දරවෙකුට තරම් නම් නොවන්නකි.
නදී දිනක මේ සියල්ල වටහාගන්නවා ඇත. මේ හිතුවක්කාරකම බොහෝ වෙලාවට ඇයට ඉතිරි කරනු ඇත්තේ කඳුළක්, පසුතැවීමක් පමණක් විය හැකිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ ස්ථානාධිපති ලලිත් පද්මකුමාර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, උපපොලිස් පරීක්ෂක කුමාරි ජයරත්නගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරුණි. අධිකරණ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන්, පොලිස් කොස්තාපල් ඉන්දික (80518), කාන්තා පොලිස් කොස්තාපල් මිහිරානි (12527) යන නිලධාරීන්ද ඊට සහාය විණි.
දීපා වසන්ති එදිරිසිංහ