විශේෂාංග

සිංදු කිව්වට වඩා සෙල්ෆිවලට හිනාවෙලාම කට රිදෙනවා කියලා නලින් මට කියනවා

මේරියන්ස්සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා තරමක කේන්තියෙන් කතා කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේය. එහෙත් අප දන්නා නලින්ට එසේ කේන්ති යන්නේ නැත. ඔහුගේ බිරිය නිල්මිණී කියන්නේත් ඇයට කේන්ති ගියත් සැමියාට නම් කේන්ති නොයන බවය. තිස්පස් වසරකට ආසන්න නලින්නිල්මිණී ආදර කතාව ගැන නිල්මිණී පෙරේරා මේ, ‘ධරණීට කියන කතාවය.

ඔබට මුලින්ම නලින් හමුවුණේ ඔහුගේ ජීවිතයේ විශේෂ දවසක බව මම අහලා තියෙනවා. මොකක්ද ඒ දවස?

ඔව්. නලින්ගේ දහනම වෙනි උපන්දිනය දවසේ මට ඔහුවත්, ඔහුට මාවත් මුණගැසුණේ.

කොහොමද ඒ මුණගැසීම සිද්ධ වුණේ?

අපේ ගෙදරයි නලින්ගෙ ගෙදරයි හලාවත එකම ගමේ. ගෙවල් දෙක එක ළඟ. නලින්ගෙ අම්මයි තාත්තයි අපේ ගෙදර අයට ආරාධනා කරලා තිබුණා නලින්ගෙ බර්ත්ඩේ පාටියට එන්න කියලා. පවුලේ හැමෝටම එන්න කියල තමයි ආරාධනා කරලා තිබු‍ණේ. ඉතින් මමයි, නංගියි, මල්ලියිත් ගියා. එදා පාටි එකේදි තමයි නලින්ව මුලින්ම හමුවුණේ.

දෙන්නම එක ගමේ නිසා ඊට කලින් නලින්ව හමුවෙලා තිබුණෙ නැද්ද?

නැහැ. මොකද මම ඉස්කෝලෙ ගියේ නුවර ගුඩ් ෂෙපර්ඩ් කොන්වන්ට් එකට. ඒ නිසා මම වැඩිය ගමේ හිටියෙ නැහැ.

මුලින්ම හමුවුණු දවසෙ නලින් ඔබත් එක්ක කතා කළාද?

මට එහෙම ලොකු මතකයක් නම් නැහැ කතා කළාද කියලා. මම හිතන්නෙ එදා අපි කතා කළේ නැහැ.

ඔය හමුවීම සිදුවෙන්නෙ කොයි අවුරුද්දෙද?

එක්දහස් නමසිය අසූ අටේ. නලින්ගෙ උපන්දිනය ඔක්තෝබර් පහළොව.

ඒ කියන්නෙ නලින්ගෙ ජීවිතේ සුවිශේෂ සිදුවීම් දෙකක් සිදුවුණ අවුරුද්ද?

ඔව්. නලින්ට ඒ අවුරුද්දෙ මාව හමුවෙනවා. ඒ වගේම ‘මේරියන්ස්’ බෑන්ඩ් එක පටන්ගත්තෙත් අසූ අටේ.

ඔබයි නලිනුයි විවාහ වුණේ කොයි අවුරුද්දෙද?

අනූ හතරේ දෙසැම්බර් පස් වෙනිදා.

නලින් කෙළින්ම ඔබට විවාහ යෝජනාව කළාද? නැත්නම් ඔබේ මව්පියන්ටද මුලින්ම ඔහුගේ අදහස කිව්වේ?

අපේ අම්මට තමයි ඉස්සෙල්ලම කියල තිබුණේ. අපේ අම්මා ඔය කාලෙ ඉතාලියෙ හිටියේ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා මමත් අම්මා ළඟට ගියා. ඉතාලියෙ අවුරුදු දෙකක් ඉඳලා ආපහු ලංකාවට ඇවිත් තමයි නලින් එක්ක විවාහ වුණේ.

විවාහ වෙනකොට ඔබට වයස කීයද?

මට විස්සයි. නලින්ට විසි පහයි.

අවුරුදු විස්සක් වගේ පුංචි වයසකදී විවාහ වෙනකොට හිතට බයක් ඇති වුණේ නැද්ද?

මට එහෙම ලොකු ​තේරුමක් තිබු‍ණේ නැහැ ඒ දවස්වල. හැබැයි ඒ කාලෙ තරුණ වයසට එනකොටම, ඒ කියන්නෙ විස්ස, විසි එක වගේ වෙනකොට බොහෝ තරුණියන් විවාහ වුණා.

ඔබ නලින් එක්ක විවාහ වෙනකොට මේරියන්ස්සංගීත කණ්ඩායම ජනප්‍රියයිද? නලින් රටේ ජනප්‍රිය චරිතයක්ද?

ඔව්. මේරියන්ස් එතකොට ජනප්‍රියයි. නලිනුත් රටේ ජනප්‍රිය චරිතයක්.

විවාහ වුණු අලුත නලින් සංගීත ප්‍රසංගවලට රට පුරා යන්න ඇති. ඒ නිසාම සෑහෙන කාර්යබහුල වෙන්නත් ඇති. ඒක ඔබට ගැටළුවක් වු‍ණේ නැද්ද?

මෙහෙමයි. ඒ කාලෙ වැඩිපුරම තිබුණේ එළිමහන් ප්‍රසංග. ඒ දවස්වල නලින් ගෙදර රැඳුණු කාලය නම් හරි අඩුයි. ගෙවල් කිට්ටුව ප්‍රසංගයකට ගියා වුණත් එන්නෙ මහ පාන්දර. ඒ නිසා නලින්ට ගෙදර කටයුතුවලට උදව් කරන්න ලැබුණෙ අඩුවෙන්. ඒකට ඔහුට වෙලාවක් තිබුණෙත් නැහැ. ඉතින් මම තමයි ගෙදර හැමදේම හොයල බලලා කළේ.

ගොඩක් දුර පළාත්වල ප්‍රසංගවලට ගියහම දින ගණන් ගෙදර එන්නෙ නැති වෙලාවල් තිබුණද?

එහෙම දවස් නම් හරි අඩුයි. පැයකට දෙකකට හරි ගෙදර එනවා. ගොඩක්ම දුර ප්‍රසංග දෙකක් එක ළඟ දවස් දෙකක වැටුණොත් තමයි කලාතුරකින් නෑවිත් හිටියේ. උදේ අටට විතර ගෙදර ඇවිත් පැය දෙකක් තුනක් නිදාගෙන ආයෙ දවල් දොළහට ගිය දවසුත් ඕනතරම් තියෙනවා.

නලින් අලුත් ගීත නිර්මාණය කරද්දී ඔබට ඒ ගැන කියනවද? ඔබේ අදහසුත් විමසනවද?

ඔව්. නලින් අලුත් ගීත නිර්මාණය කරද්දී මට ඒ ගැන කියනවා. සිංදුවේ වචන ටික මට කියලා හොඳ නරක අහනවා. ස්ටූඩියෝ එක තියෙන්නෙත් ගෙදරම නිසා මෙලඩි එක දාලා මට අහන්නත් දෙනවා. එදා විතරක් නෙමෙයි, දැනුත් එහෙම තමයි.

මේක හොඳයි, මේක නරකයි කියලා ඔබ ගීතවල ගුණදොස් කියන අවස්ථා තියෙනවද?

ඔව්. ඉස්සර නම් මම තමයි ගුණදොස් කියන්නේ. දැන් නම් වැඩිපුර දුවයි පුතයි තමයි ඔය වැඩේ කරන්නේ.

මුල්ම දරුවා ලැබෙන්න ඉන්නකොට නලින් මොකද කිව්වේ? දුවෙක්ටද පුතෙක්ටද කැමැත්තෙන් හිටියේ?

නලිනුයි මමයි දෙන්නම කැමැත්තෙන් හිටියෙ දුවෙක්ට. අපේ කැමැත්ත ඒ විදිහටම ඉටුවෙමින් මුලින් ඉපදුණේ දුව.

දුව පුංචි කාලෙ එයාගෙ වැඩවලට නලින් උදව් කළාද?

ඔව්. ගෙදර ඉන්න හැම වෙලාවෙම දුවගෙ වැඩ කළේ නලින්. දුව ඉපදෙනකොට මට වයස අවුරුදු විසි එකයි. මට ඉතිං වැඩි තේරුමක් තිබුණෙ නැහැ දරුවගෙ වැඩ ගැන. දුව පුංචිම කාලෙ නෑව්වෙත් නලින්. මම වැඩිය දුවව නාවලා නැහැ එයා පුංචි කාලේ. දුවගෙ විතරක් නෙමෙයි පුතා පුංචි කාලෙත් නලින් තමයි එයාගෙ වැඩ හැමදේම වගේ කළේ.

දෙවැනියා පුතා. පුතා ඉපදුණේ ලංකාවෙදි නෙමෙයි නේද?

ඔව්. පුතා ඉපදුණේ ලන්ඩන්වලදි. හැබැයි අපි හිතාගෙන හිටියෙ දෙවැනියත් දුවෙක් කියලා.

ඇයි එහෙම හිතුවේ?

මෙහෙමයි. අපේ පළවෙනි දරුවා දුවෙක් නිසා දෙවැනියා පුතෙක් වෙනවට අපි දෙන්නා කැමැත්තෙන් හිටියේ. හැබැයි ලංකාවෙදි ස්කෑන් කරල බැලුවම ඩොක්ටර් කිව්වෙ දුවෙක් කියලා. ඒ ස්කෑන් එක කළේ මාව ප්‍රෙග්නන්ට් වෙලා වැඩි කාලයක් නොගිහින්. ඩොක්ටර් දුවෙක් කියලා කිව්වෙ හරියටම නෙමෙයි. අනුමාන කරලා.

දෙවැනි දරුවා බිහි කරන්න ලන්ඩන් යන්න හිතුවෙ ඇයි?

ඒක වුණේ මෙහෙමයි. නලින් විදෙස් ප්‍රසංගවලට යද්දි මමත් සාමාන්‍යයෙන් යනවා. මාව දෙවැනි පාර ප්‍රෙග්නන්ට් වෙනකොට නලින්ටයි මේරියන්ස් සංගීත කණ්ඩායමටයි ඉතාලියෙයි ලන්ඩන්වලයි ප්‍රසංග මාලාවක් යෙදිලා තිබුණා. ඒවා කලින් සැලසුම් කරගත්ත ප්‍රසංග.

අපි මුලින්ම ගියේ ඉතාලියට. ඉතාලියේ මාස දෙකක් විතර ප්‍රසංග තිබුණා. ඉතාලියෙ ඉන්න අතරේ අපි ආයෙත් ස්කෑන් එකක් කළා. එතකොට තමයි කිව්වේ මට ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා. නලින් සෑහෙන සතුටු වුණා ඒ වෙලාවේ. ඉතාලියෙ ප්‍රසංග අවසන් කරලා අපි ආවෙ ලන්ඩන්වලට. ලන්ඩන්වලින් ලංකාවට එන්න තියෙන දවස වෙනකොට මට දරුවා ලැබෙන්න ළඟයි. ඒ වෙලාවෙ මට වෛද්‍ය උපදෙස් ලැබුණේ ගුවන් ගමනක යෙදෙන්න එපා කියලා. ඒ නිසා පුතා ඉපදිලා මාස කිහිපයකට පස්සේ තමයි අපි ලංකාවට ආවේ.

ඔබේ තාත්තත්, අම්මත් සංගීතයට බොහොම ලැදි අය බව මම අහලා තියෙනවා. නලින් මේරියන්ස්සංගීත කණ්ඩායම හදද්දි මුල් කාලේ ඔබේ තාත්තා ඔහුට ගොඩක් උදව් කළ බවත් මම අහලා තියෙනවා. ඒක ඇත්තද?

ඔව්. අපේ අම්මයි, තාත්තයි සංගීතයට බොහොම කැමැතියි. නලින් මේරියන්ස් පටන් ගනිද්දි අපේ තාත්තා ගොඩක් උදව් කළා. පළවෙනි සවුන්ඩ් සෙටප් එක අරන් දුන්නෙත් අපේ තාත්තා.

එතකොට නලින්ගෙ අම්මයි, තාත්තයි, සහෝදර සහෝදරියොයි කොහොමද? ඒ ගොල්ලො තමන්ගෙ ලේලියි, නෑනටයි ආදරෙයිද?

මෙහෙමයි. මම කලිනුත් කිව්ව විදිහට අපි එකම ගමේ අය. ඒ නිසා පුංචි කාලෙ ඉඳලම ඒ ගොල්ලො මාව දන්නවා. නලින්ගෙ බර්ත්ඩේ පාටි එකට කලිනුත් මම ඒ ගෙදර ගිහින් තියෙනවා. එයාලත් අපේ ගෙදර එනවා. ඒ නත්තලට සුබ පතන්න. හැබැයි බර්ත්ඩේ පාටියට කලින් ගිය කිසිම දවසක මට නලින් ගැන මතකයක් නැහැ.

නලින්ගෙ අම්මයි, තාත්තයි, සහෝදර සහොදරියොයි මාත් එක්ක හරි යාළුයි. මට හරිම ආදරෙයි. පුංචි කාලෙ ඉඳලම දන්න අය නිසා ඒක තවත් වැඩියි. නලින්ගෙ එක මල්ලි කෙනෙක් තමයි මේරියන්ස් බෑන්ඩ් එකේ කළමනාකරු විදිහට කටයුතු කරන්නෙත්.

ඔබයි නලිනුයි අතරේ වාද විවාද ඇතිවෙන අවස්ථා ඇති. කොහොමද ඒවා කළමනාකරණය කරගන්නේ?

ඔව්. අපි අතරේ එහෙම මත ගැටුම් ඇතිවෙන අවස්ථා තියෙනවා. නලින් හොඳින් ඇහුම්කන් දෙන චරිතයක්. දෙයක් පැහැදිලි කරලා දෙනකොට ඔහු ඒක හොඳින් අවබෝධ කරගන්නවා. මත ගැටුම් ඇතිවෙන වෙලාවට ඒවා විසඳගන්න නලින්ගෙ ඇහුම්කන් දීමේ ගුණාංගය සෑහෙන උදව් වෙනවා.

දෙන්නගෙන් වැඩිපුර කේන්ති යන්නෙ කාටද?

කේන්ති​ යන්නෙ නම් මට තමයි. නලින් නම් ඊට හාත්පසින්ම වෙනස්. ඔහුට කේන්ති යන්නෙ නැතිම තරම්. ඒ වගේම තමයි සෑහෙන ඉවසීමකුත් තියෙන කෙනෙක්. මම වගේ කේන්ති අරගෙන කෑ ගහන්නෙ නැහැ. අනෙක් විශේෂම කාරණය තමයි නලින් එහෙම කරන්නෙ මට විතරක් නෙමෙයි. අනිත් අයටත් එහෙමම තමයි. කා එක්කවත් කේන්ති ගන්නවා මම වැඩිය දැකලා නැහැ.

නලින් රටේ ජනප්‍රිය චරිතයක්. ඒ වගේම හරිම ප්‍රියමනාප, සෑහෙන කාන්තා ආකර්ෂණයක් තියෙන කෙනෙක්. ඒ ගැන ඉරිසියා හිතුණු වෙලාවල් එහෙම නැද්ද?

මෙහෙමයි. නලින් හැමෝම එක්ක හිනාවෙලා කතා කරලා ඉන්න කෙනෙක්. කිසිම ආඩම්බරකමක් නැහැ. අපි එළියට ගියහම සමහරවෙලාවට නලින්ගෙ රසික රසිකාවියෝ නලින් එක්ක සෙල්ෆි ගන්නකම් මම පැත්තක ඉඳන් සෑහෙන වෙලා බලාගෙන ඉන්නවා. මට ඒක දැන් පුරුදුයි. නලින්ට මිනිස්සු ආදාරේ නිසයි එහෙම වෙන්නේ.

තවත් කාරණවක් මම ඔබට කියන්නම්. වෙඩින්වලට ප්ලේ කරන්න ගිහින් ගෙදර ඇවිත් නලින් සමහර වෙලාවට කියනවා සිංදු කිව්වට වඩා කට රිදෙනවා සෙල්ෆිවලට හිනාවෙලා ඉඳලා කියලා. නලින් ඒක තරහකට කියනවා නෙමෙයි. වෙච්ච දේ තමයි එහෙම කියන්නේ. ෆොටෝ ගන්න, සෙල්ෆි ගන්න කතා කරන කාටවත් නලින් බෑ කියන්නෙ නැහැ. කොච්චර වෙලා ගියත් ආරාධනා කරන හැමෝම එක්ක ෆොටෝ ගන්නවා.

නලින්ට තියෙන කාන්තා ආකර්ෂණය ගැන ඉරිසියා හිතුණු අවස්ථා ඇත්තෙම නැද්ද?

අපි විවාහ වෙච්ච මුල් කාලෙ නම් මට ඕක ටිකක් තිබුණා. හැබැයි කල් යද්දි මට තේරුණා නලින්ට මිනිස්සු කොච්චර ආදරේද කියලා. ඊටපස්සේ මට එහෙම ඉරිසියා හිතෙන එක සෑහෙන අඩුවුණා. දැන්නම් එහෙම වෙලාවල් ඇත්තෙම නැහැ. අනෙක් කාරණය තමයි නලින්ට නිතර කතාබහ කරන රසික රසිකාවියො මාත් එක්කත් හරි යාළුයි. ඒ කවුරුවත් නලින්ට කතා කරන්නෙ වැරදි අදහසකින් නෙමෙයි කියලා මම දන්නවා.

නලින්ගෙ ගීතවලින් ඔබ වැඩිපුරම කැමති ගීතය මොකක්ද?

‘අංජලිකා’ ගීතය.

ඔබට ගීත ගායනා කරන්න පුළුවන්ද?

මට බැරිම දේ ඕක තමයි. ගීත ගායනා කිරීමේ හැකියාව මට පොඩ්ඩක්වත් නැහැ.

ගෙදර පාටි එකකදිවත් ගීතයක් ගායනා කරලා නැද්ද?

එහෙමවත් ගායනා කරලා නැහැ.

එතකොට දුවයි පුතයි?

පුතා රැකියාවක් කරන ගමන් සංගීත කණ්ඩායමක් පවත්වගෙන යනවා. හැබැයි පුතා ගීත ගායනා කරන්නෙ නැහැ. ඩ්‍රම්ස් ප්ලේ කරන්න තමයි දක්ෂ. පුතාගෙ බෑන්ඩ් එකෙත් පුතා තමයි ඩ්‍රම්ස් ප්ලේ කරන්නෙ. අපේ දුවට ගීත ගායනා කරන්න පුළුවන්. නලින් මේ දවස්වල දුවට ගීතයක් නිර්මාණය කරමින් ඉන්නේ. දුව පූර්ණකාලීනව ගීත ගායනා ක්ෂේත්‍රයට යොමුවන එකක් නම් නැහැ.

ඔබෙයි නලින්ගෙයි විවාහ ජීවිතයට දැන් දශක තුනකට ආසන්නයි. ඔය සම්පූර්ණ කාලෙදි නලින්ගෙන් ලැබුණු හොඳම තෑග්ග මොකක්ද?

මෙහෙමයි. නලින් දන්නෙම නැති දේ තමයි තෑගි ගන්න එක. ඒ නිසා මම නලින්ගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. නලින් කියලා තියෙන්නේ ඕනි දෙයක් මට ගිහින් ගන්න කියලා. අඩුතරමේ නලින්ට තමන්ටත් ඇඳුමක් ගන්න තේරෙන්නෙ නැහැ. ඔහුට ඇඳුම් ගන්නෙත් මම.

තවත් ලස්සන කතාවක් මම කියන්නම්. ඉස්සර විදෙස් ප්‍රසංගවලට ගියහම නලින් මට ඇඳුම් ගේනවා. හැබැයි ඒ ගේන ඇඳුම් මම අඳින්න කැමති ඒවා නෙමෙයි. සමහර ඒවා ලොකුයි. සමහර ඒවා මට අඳින්න බැහැ. ඔය විදිහට කීපසැරයක් වෙනකොට මම කිව්වා ආයෙ මට ඇඳුම් ගේන්න එපා කියලා.

ඉතිං, උපන්දිනයකටවත් නලින්ගෙන් තෑග්ගක් නොලැබෙනකොට දුක හිතෙන්නෙ නැද්ද?

මගේ උපන්දිනයට නලින් මාව ෂොපින් එක්කරගෙන යනවා. කැමති දෙයක් ගන්න කියලා. මට ඕනි දේවල් ගන්නකම් මාත් එක්ක ෂොපින් කරනවා.

ගෙදර කළමනාකරණයත් සම්පූර්ණයෙන්ම ඔබ කරනවා ඇති කියලා මට හිතෙන්නේ?

ඔව්. ගෙදර දේවල් සම්පූර්ණයෙන්ම හොයල බලලා කරන්නෙ මම. නලින්ට කොහොමත් ඒවට වෙලාවකුත් නැහැ. අඩුතරමේ ගෙදර විදුලි බිල, ජල බිල කීයද කියලවත් ඔහු දන්නෙ නැහැ.

දශක තුනකට ආසන්න විවාහ ජීවිතයේ ඔබයි නලිනුයි හොඳ කාල ගත කරන්න ඇති. ඒ වගේම ප්‍රශ්නවලට මුහුණ දෙමින් අපහසු කාල ගෙවා දමන්නත් ඇති. ඔය සියල්ලත් එක්ක ඔබ අපේ රටේ තරුණියන්ට දෙන පණිවිඩය මොකක්ද?

මෙහෙමයි. අපි ඒ කාලෙ ජීවිතේ ගැන හිතපු විදිහට නෙමෙයි දැන් හිතන්නේ. ඔබ කියපු විදිහට ජීවිත අත්දැකීම් සම්භාරයක් එක්කයි අපි දැන් ජීවිතය දකින්නේ. අවුරුදු විස්සෙදි විවාහ වෙනකොට බය හිතුණෙ නැද්ද කියලා ඔබ කලින් ඇහුවට පස්සෙ මට මතක් වුණා ජීවිතේ එක එක කාල අපි පහුකරගෙන ආපු හැටි.

ඉතින් මම හිතන විදියට දෙන්නට දෙන්නා බොහොම විවෘත වෙන්න ඕනි. සැමියයි බිරියයි හොඳ යාළුවො දෙන්නෙක් වෙන්න ඕනි. හොඳම දේ ඒකයි. මොන ප්‍රශ්නයක් ආවත් කතාබහ කරලා විසඳගෙන දෙන්නත් එක්ක එක ගමනක් යන්න පුළුවන් එතකොට.

හසිත කුරුප්පු

ඡායාරූප ජයශංඛ ප්‍රනාන්දු