අම්මා අපිට මොනවද බොන්න දුන්නා ඊටපස්සේ අම්මයි අක්කයි දෙන්නම බිම ඇදගෙන වැටුණා
නාල්ල, ලෝලුවාගොඩ ගමට උඩින් අහස අඳුරට හැරී තිබුණි. වැහිළිහිණින් එකා දෙන්නා තටු සලන්නට වූයේ වැස්ස ළඟ ළඟම එන බව කියන්නටය. එහෙත් ඒ වැස්සට කලින් ගම්මුන්ට අහන්නට ලැබුණේ හිත කීරිගස්වන, කඳුළු වැස්සක් වස්සන දුක්බර කතාවකි.
මේ කතාවේ කතා නායිකාව ධම්මිකායි. ඇයගේ දියණිය අට හැවිරිදි මනුකි දහම්සා ය. සුරතල් පුතු පේෂාන් සචින්ත පස් හැවිරිදිය. සැමියාත් දරු දෙදෙනාත් සමඟ නාල්ල තලාහේන, ලෝලුවාගොඩ ගමේ ජීවත් වූ ඔවුනට මහා යසඉසුරු නොවූවත් අනුන්ට අතනොපා ජීවත්වන්නට හැකි පරිසරයක් තිබුණි. එහෙත් කොරෝනා සමඟින් ඒ ජීවන චක්‍රය වෙනස්විණි. අනතුරුව රට පුරා ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් කටයුතුද නැවතුණෙන් ටයිල් ඇල්ලීමේ රැකියාව කළ ධම්මිකාගේ සැමියාටද තාවකාලිකව රැකියාව අහිමි වුණි. එසේ පවුලේ එකම ආදායම් මාර්ගය ඇනහිටියෙන් දරුවන් පාසල් යැවීම, ඔවුනට පොත්පත්, කෑමබීම අරන්දීම ආදී ගැටලුවලට දෙන්නා දෙමහල්ලන්ටද මුහුණදෙන්නට සිදුවිය.
මුලදි මුලදි නෑ හිත මිතුරන් අසල්වාසීන්ගෙන් අඩුපාඩුවක් ඉල්ලාගත්තද එය එකදිගට කරන්නට හැකි දෙයක් නොවුණි. දන්නා කියන අයගෙන් මුදල් ණයට ඉල්ලාගෙන පවුලේ අඩුපාඩු පිරිමසාගන්නවා හැරෙන්නට ධම්මිකාට කළ හැකි යමක්ද නොවුණි. සැමියාට යළි රැකියාව ලැබී, ආදායමක් උපයාගන්නට හැකි වුවද ණය බරින් ඒ වනවිට ඔවුන් කරවටටම ගිලී සිටි බව කියති. 2022 දෙසැම්බරය වනවිට ඇගේ ගෙමිදුලටම පැමිණි ණය හිමියන් ඇයට කෑගසා යන තැනටම පැමිණ තිබුණි. එහෙත් ඇය මෙතරම් ණය වූ බවක්, සැමියාවත් දැනසිටියේ නැතිබවයි දැනගන්නට ලැබුණේ. ඔහු ගෙදර ආ දිනක ඇය නෝක්කාඩු කීවත්, ලැබෙන මුදලින් ජීවත්වෙමු යැයි කියනවා හැරෙන්නට ඔහු වැඩිපුර වාද විවාද කරන අයෙකුද නොවීය.
“මටනම් දැන් මේ කතා අහලා ඇතිවෙලා. ලබන අවුරුද්දේ පුතාව ඉස්කෝලේ යවන්න ඕන…. මං ණයවෙලා” ධම්මිකා කීවාය.
“ණයවෙන්නේ මොකටද? තියෙන හැටියට කාලා බීලා ඉමු.”
ඒ සැමියාගේ වදන්ය. ණය වන්නට වූ කාරණාවන් ඔහු දැනසිටියේ නැත. එහෙත්, ඔහු නිවසින් ගිය පසු දරුවන්ගේ කෑමබීමේ සිට තවත් බොහෝ දෑ ඔහු තබාගිය මුදලින් කරන්නට සිදුව තිබුණි. පුතුගේ පෙරපාසල් ගාස්තුද ගෙවිය යුතු විය. දියණියගේ පාසල් අවශ්‍යතාද එහෙම්මමය. තවත් ඕනෑඑපාකම් දහසකි. දෙසැම්බර් මාසයේ ඇය පෙරපාසල් ගාස්තු ගෙව්වේ පුතුගේ පෙරපාසලේ හිතවත් මවකගෙන් අතමාරුවක් ඉල්ලාගෙනය.
මේ සියල්ල මැද 2023ට රටම සූදානම් වෙද්දී, ධම්මිකාගේ හිත තිබුණේ වෙනත් සිතිවිල්ලකය. එය වරින්වර ඇගේ සිතට එමින් යමින් තිබූ සිතිවිල්ලක් නමුදු, ඒ ගැන කිසිවකුත් දැන සිටියේ නැත. දරුවන් කුඩා කාලයේ සිට පැණි රස කෑමට කැමති මුත් අරගෙන දෙන්නට නොහැකි අවස්ථා ඇයට එන්න එන්නම වැඩිවිණි.
මේ අතර කොතරම් අගහිඟකම් තිබුණත් එළැඹෙන අලුත් අවුරුද්ද පිළිගන්නට රටම කටයුතු කරද්දී, ධම්මිකා දැඩි තීරණයක් ගෙන තිබුණි. ඒ දරුවන්ටත් වස දී, තමාත් වස පානය කරන්නටය.
ඒ අවාසනාවන්ත මොහොත එළැඹියේ ඉකුත් 28දාය. ඇය වස කුප්පි තුනක් සකසාගෙන දරුවන් ළඟට ගන්නේ ඔවුන් තනිකර දමා තමාට පමණක් ඒ ගමන යන්නට බැහැයි සිතුණ නිසාද? අහිංසක දරුවන් දෙදෙනා වස කුප්පි දෙක අතට ගන්නට ඇත්තේ ඒ බඩේ අමාරුවට දෙන බෙහෙතක් හෝ පැණි රස බීමක් යැයි සිතා වන්නට ඇත. “ඕක බොන්න” යැයි ඇය දරුවන්ට කියන්නේ ඇයද එය බොන ගමන්ය. පුතු අම්මා අනුව වස කුප්පියම පානය කළ අතර, දියණිය ඉන් බාගයක් බීවාය.
පේෂාන් පුතුට දැනුණ තිත්ත රසය සමඟ, අම්මා දෙස බලද්දී, ඇය බිම ඇදවැටෙනු දුටුවේය. අක්කාද වේදනාවෙන් කෙඳිරිගාමින් බිම ඇද වැටෙද්දී, පුංචි වුණත් ඒ පුතුට යමක් තේරෙන්නට ඇත. ඔහු අසල්වැසි නිවසක් වෙත දිව ගියේය. අම්මා මොනවාද බොන්න දුන් බවත්, දැන් අම්මාත් අක්කාත් බිම වැටී සිටින බවත් පුංචි පේෂාන් කීවේය.
අසල්වැසියන් කිහිපදෙනෙකු එම නිවසට දිවගියේ සැනෙකිනි. සිදුවූයේ කුමක්දැයි අසද්දී, ධම්මිකා කීවේ දරුවන්ටද වස දී තමන්ද වස පානය කළ බවයි. පේෂාන් පුතුද ඒ වනවිට සිටියේ අපහසුවෙනි. ඔහුද ටික වේලාවකින් සිහිසුන් වූයේන්, අසල්වැසියන් එක්ව තිදෙනා මීරිගම මූලික රෝහලට ඇතුළත් කළෝය. ඔවුන් බරපතළ තත්ත්වයෙන් සිටි බැවින් මව වතුපිටිවල මූලික රෝහලටත්, දරු දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් මාරුකර යැවිනි. පේෂාන් පුතු ඉකුත් පළමුවනදා ජීවිතය හැරයන්නේ ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමිනි.
“මේ අම්මා විවිධ පුද්ගලයින්ගෙන් ණයට මුදල් ලබාගෙන, ඒවා ගෙවාගන්න විදියක් නැතුව කණගාටුවෙන් කණස්සල්ලෙන් ඉඳලා තියෙනවා. හැබැයි ඇය ණයවුණු බවක් සැමියා දැනගෙන ඉඳලා නැහැ. ඔහු පිට පළාත්වල රැකියාව කරමින් තමයි මේ පවුල නඩත්තු කරලා තියෙන්නේ. ඔහු කියන්නේ අගහිඟකම් තිබුණත් මෙහෙම දෙයක් ඔහු බලාපොරොත්තු නොවුණු බවයි. දරු දෙදෙනාට තමන් වාගේම බිරිඳද සෙනෙහස දැක්වූ බව ඔහුගේ කටඋත්තරයේ සඳහන් වෙනවා.”
ඒ නාල්ල පොලිසියේ නිලධාරියෙකු අප ඒ ගැන කළ විමසුමකදී කී දේය. පේෂාන් පුතුගේ අවසන් කටයුතු සිදුව දින දෙකකින් ඒ අම්මාද දෑස් පියාගත්තාය.
“ඇත්තටම මේ මිනිස්සු කාටවත් කරදරයක් නැතුව ජීවත්වුණ අය. අද හැමෝටම ජීවත්වෙන්න අමාරු කාලයක් තමයි මේ. ඒත් ඇයට ඉවසන්න තිබුණා. මේ අම්මා ගොඩක් තැන්වලට ණයවෙලා කියලා කියනවා. ඒ කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත් මේ අහිංසක දරුවෝ දෙන්නගේ ජීවිත ගැන හැමෝම කම්පාවෙනවා.”
ඒ ධම්මිකා දන්නා හඳුනන අසල්වැසි කාන්තාවකි. හිත දවන ප්‍රශ්න කොතෙක් තිබුණද ධම්මිකා ගත්තේ ‘අම්මා’ කෙනෙකු නොගත යුතු තීරණයකි. ඒ දසමසක් කුස දරා ආදරයෙන් ළයට තුරුළුකොට සිප සැනසූ දරු කැකුළු පරලොව යවන්නට තරම් ‘අම්මා’ කෙනෙකුට නොහැකිය. ඒ සුරලොව සිට අත පා දරුවන්ගේ දුක් කඳුළු නිවන්නට ඉන්නේ අම්මා බැවිනි.
ජීවිතය අතහැරෙන, ජීවිතය අතහරින්නට සිතෙන කවර මොහොතක වුව අම්මා කෙනෙක් ධෛර්යය ලබන්නේද දරු සෙනෙහසිනි. ධම්මිකාගේ බිඳුණු හිතට මේ කිසිවක් නොපෙණුනත්, ජීවිතය අතහැරෙන්නට නොදී ඇයටද ඒ දරු සිහින අල්ලාගන්නට තිබිණි. දැන් සිදුවූ දෙය සිදුවී අහවරය. ලෝකයට මෙය ඉක්මනින් අමතක වී යනු ඇත. එහෙත් දහම්සා දුව සුවවී නිවසට පැමිණෙද්දී, අම්මාත්, මල්ලීත් නැති අඩුව කෙසේ විඳ දරා ගනු ඇද්දැයි සිතාගත නොහැකිය.
දීපා වසන්ති එදිරිසිංහ
ඡායාරූප – මනෝජ් එදිරිසිංහ