විශේෂාංග

පත්තිනි මෑණියනේ… නවගමුව දේවාලේ කපුවන්ට පන්තියක් පවත්වනු මැනේ…

පසුගිය සතියේ තරමක ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් වුණා. එකක් ශ්‍රී පාද මළුව ආසන්නයේදී මවක් බිලිඳියක් ප්‍රසූත කිරීම. අනික පත්තිනි දේවාලයේදී දියණියක් වැඩිවියට පත්වීම. සිරිපා මළුවේදී ප්‍රසූත කරපු බිලිඳිය බොහෝ වාසනාවන්තයි කියලයි ගොඩක් අය කිව්වේ. ඒ නිසාම ජනමාධ්‍යවලිනුත් මේ සිද්ධියට විශේෂ අවධානයක් දීලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී පාදස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාත් මෙම දරු ප්‍රසූතිය ගැන කතාකළේ බොහොම සුබවාදීව. එදා අංගුලිමාල මහරහතන් වහන්සේ විලිරුදාව ඇති මවක් ළඟට ගොස් පිරිත් දේශනා කළා නම්, අපේ සංඝයා වහන්සේලා අදටත් ගැබ්බර මව්වරු ළඟටම ගොස් පිරිත් දේශනා කරනවා නම්, ශ්‍රී පාද පද්මය පේනමානයේ දරුවෙකු බිහිවීම බුද්ධ දර්ශනයට හෝ බුද්ධාගමට කිසිසේත්ම කැළලක් නොවන බවයි උන්වහන්සේලා අවධාරණය කළේ. ඒ නිසා ගැබිනි මව්වරුන්ට ශ්‍රී පාද වන්දනාව තහනම් වුණේ නැහැ. සිරිපතුල වැදුම් කිල්ලට අහුවුණාය කියලා කහ දියර, පිරිත් පැන් ඉහින්න ගියෙත් නැහැ. කොටින්ම කියනවානම් ඒ දරු ප්‍රසූතිය බුදුන්ට හෝ සමන් දෙවි හාමුදුරුවන්ට සිදුවුණ කැළලක් විදියට සලකලා හෑල්ලුවට ලක්කළෙත් නැහැ.

හැබැයි නවගමුව පත්තිනි දේවාලයේදී දියණියක් වැඩිවියට පත්වීමේ සිද්ධිය නිසා දේවාලේ ඇත්තෝ ඊට හාත්පසින්ම වෙනස් විදියකට හැසිරෙන්න ගත්තා. සිරිපතුල වහලා නොදැම්මට මොකද පත්තිනි දේවාලේ කපු මහත්තුරු දේවාලය සතියකට වහලා දැම්මා. හේතුව විදියට කියලා තිබුණේ පත්තිනි අම්මව මල්වර කිල්ලට අහුවුණාය කියන එක.

පුරුෂ පක්ෂයේ උපන් ගෞතම බුදුන් වහන්සේටවත්, සංඝයා වහන්සේලාටවත්, සමන් දෙවියන්ටවත් කිල්ලක් නොවුණු ගැහැනිය, ගැහැනියක් වුණ පත්තිනි මෑණියන්ට කිල්ලක් වෙන්න පුළුවන්ද?

ඒ ගැන මේ කතාබහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා සමඟින්.

ඔය වැදුම්ගෙයි කිල්ලයි, මල්වර කිල්ලයි වගේම තවත් එකක් තමයි කාන්තාවන්ගේ මාස් කිල්ල කියන්නෙත්. ඒ නිසා අද මම මේ කතාව එදා කාන්තාවන්ගේ මාස් කිල්ලෙන් පටන්ගන්නම්.

සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේව අපේ රටට වඩම්මවාගෙන ආවේ ඉන්දියාවේ වේතිස්සපුරේ ඉඳලා. ඇයට ශ්‍රී මහා බෝධීන් වහන්සේව වඩම්මන්න මාස තුනක පමණ කාලයක් ගතවුණා. එතකොට ඒ මාස තුනේදිම එතුමියටත් මාසික ඔසප්වීම් තුනකට මුහුණදෙන්න සිද්ධවුණා. එහෙම බලනකොට ජයසිරිමා බෝධීන් වහන්සේත් අතරමඟදිම කිලි තුනකට අහුවෙලා තියෙනවා.

හැබැයි එහෙමයි කියලා අපි ජයසිරිමා බෝධීන් වහන්සේව ප්‍රතික්ෂේප කළේ නෑනේ. අපි උන්වහන්සේව අප්‍රමාණ ගෞරවයකින් පිළිඅරන් අනුරාධපුර උඩමළුවේ රෝපණය කළා. ඔය කියන විදියට ගෑනුන්ගේ මාස් කිල්ලට අහුවෙන ඕනම දෙයක් හෑල්ලුවට අපහාසයට ලක්වෙනවා නම් මේ වෙනකොට ජයසිරිමා බෝධියත් අපිට නිකම්ම නිකන් ගහක් විතරක් වෙලා තියෙන්න ඕන. ඒත් අදටත් උන්වහන්සේට වන්දනාමාන කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව දැක්කම තේරෙනවා සංඝමිත්තා තෙරණියගේ මාස් කිල්ලෙන් උන්වහන්සේට අබමල් රේණුවකවත් හානියක් වෙලා නෑ කියලා. අනික සංඝමිත්තා තෙරණිය විසින් වඩම්මවපු ජයසිරිමා බෝධීන් වහන්සේව ආරක්ෂා කළෙත් ඔය කිලි තියෙනවායි කියන ගෑනු උදවියම තමයි. ඒ කාලේ අර අනුරාධපුරේ මහ කැලේ අලි ඇත්තු උන්වහන්සේව පෙරළන්න එනකොට අපේ කාන්තාවෝ රෑ එළිවෙනකන් දරසෑයවල් බැඳගෙන බෝධීන් වහන්සේව මුර කරලා තියෙනවා. මං අහන්නේ එතකොට ඒ අතරේ හිටපු කිසිම කාන්තාවකට ඔය මාස් ශුද්ධිය වෙලා නැද්ද? අදටත් නිකිණි පෝයට දරමිටි පෝය කියලා වන්දනාමාන කරන්නේ එදා ගිනිමැල ගහගෙන උන්වහන්සේව රැකගත්තු අර කාන්තාවොන්ට උපහාරයක් විදියට.

ඒ වගේම තමයි දළඳා වහන්සේව වඩම්මවාගෙන එන අතුරතුරේදි හේමමාලා කුමරියටත් ඔය සන්තෑසියම වෙලා තියෙනවා. ඇයටත් ඔය විදියටම එන අතරමඟට මාස තුනක් කල්ගතවෙලා තියෙනවා. ඒ තුන් මාසෙදිම ඇයටත් අර විදියටම මාස් ශුද්ධීන් තුනක් සිද්ධවෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ කිලි තුනක්. නමුත් හේමමාලා කුමරියගේ මාස් කිල්ල නිසා දළඳා වහන්සේට පුංචිවත් කැළලක් වෙලා තියෙනවා කියලා ඔය කවුරුත් අහලා තියෙනවද? ඔය කියන විදියට සංඝමිත්තයි, හේමමාලායි දෙන්නත් එදා අපිට කිලි තියෙනවා, අපි ගෑනුනේ කියලා ඔය දෙක නොගෙනාවානම් අද අපිට වැඳුම් පිදුම් කරන්න ඔය දෙකම නැතිවෙන්නත් ඉඩ තිබුණා.

මේ සිද්ධියේදීත් ශ්‍රී පාදස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා නියම ධර්මාවබෝධයකින් කටයුතු කරපු නිසා ගොඩක් උදවියට ශ්‍රී පාද මළුව පේනමානයේ දරුවෙක් ප්‍රසූත කිරීමේ සිද්ධිය ගැටලුවක් වුණේ නෑ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කිසිම තැනක ඔය කියන විදියට කාන්තාව කිල්ලක් විදියට අඳුන්වලා නෑ.

හැබැයි අද කාලේ දේවාලවල වැඩ කරන සමහරක් කපු මහත්තුරු නම් බුදුන්ටත් ඉහළින් ගිය උදවිය කියලයි මට හිතෙන්නේ. මොකද මම වගකීමෙන් කියනවා එදා නවගමුව දේවාලෙදි වැඩිවියට පත්වුණ දුවව කිල්ලක් වෙලා තියෙන්නේ පත්තිනි මෑණියන්ට නෙවෙයි දේවාලේ හිටපු කපු මහත්තයට කියලා. හේතුව තමයි උන්දැලා උදේ හවස දේවාලෙට වෙලා යටිගිරියෙන් පත්තිනි හෑල්ල කියලා කෑගැහුවට පත්තිනි මෑණියෝ කියන්නේ කවුද කියලාවත් හරියට දන්නේ නැති උදවිය වෙන්න ඕන. මොකද පත්තිනි හෑල්ලේ කියැවෙන විදියට ඇයත් මතු බුදුබව ප්‍රාර්ථනා කරන වීර උත්තමාවියක්. එක්තරා ආත්මභවයක අනන්ත අප්‍රමාණ දුක්ගැහැටවලට මූණදුන්නු ගැහැනියක්. ඒ නිසා කාන්තාවොන්ගෙන් හෝ දරුවෙකුගෙන් නොදැනුවත්ව වෙන වරදකට ඇය අම්මා කෙනෙක් විදියට සමාව දෙනවා කියලත් ඒ හෑල්ලෙ සඳහන් වෙලා තියෙනවා. එහෙම එකේ මේ අහිංසක දුවෙක් ඇගේ ඉස්සරහා මල්වර වුණා කියලා පත්තිනි අම්මා කීයටවත් කෝප වෙනවද?

 

‘උමාසිරි දෙබසට

කමා කර දුටු වරදට

පමා නොව මෙරගට

දමා දෑතේ වළලු නදකොට’

 

ඔය තියෙන්නේ පත්තිනි අම්මාගෙන් වරදට සමාව ගන්න තියෙන පත්තිනි හෑල්ලෙම කවියක්. මම ඒකයි කිව්වේ ඔය කපු මහත්තුරු උදේ හවස කියවන හෑල්ල මොකක්ද කියලවත් දන්නේ​ නැතුව ඇති කියලා. මොකද නිකමට හරි එහෙම දැනගෙන හිටියානම් අඩුතරමින් ඔය කවියක් කියලා පත්තිනි අම්මාගෙන් සමාව අරගෙන හතරකොණට කහ දියර ටිකක් හරි ඉහලා දේවා​ලේ අරින්න තිබුණානේ.

ඊළඟට ඔය කපු මහත්තුරු කොහොමද දන්නේ මාස් ශූද්ධිය හැදුනු තරුණ දුවලා සහ කාන්තාවෝ කීදෙනෙක් නම් දවසකට ඔය දේවාලෙට යනවා එනවද කියලා?

හරි දැන දැනමත් එහෙම නාවයි කියමුකෝ. ඒත් දේවාලෙ ඇතුළෙදි වන්දනාමාන කරද්දි දුවලා අම්මලා කී දෙනෙකුට නම් ඔය සිද්ධියට මුහුණදෙන්න වෙනවා ඇද්ද?

ඔය විදියට බලනකොට මළපහ, මුත්‍රා කරන මේ අපි කොයි කවුරුත් පත්තිනි වේවා වෙන දේවාලෙකට වේවා යන එකත් කිලි ඇතිනේ? එතකොට ඔය කපු මහත්තුරු එහෙම මළපහ, මුත්‍රා කරන උදවිය නෙවෙයිද?

අවසාන වශයෙන් මගේ තර්කය වෙන්නේ මෙන්න මේකයි. බුදුන් වහන්සේයි, පත්තිනි මෑණියොයි කියන්නේ අපි බොහොම ගරු කරන සංකල්ප දෙකක්. එදා අර අම්මා සිරිපා මළුවට ආසන්නයේ දරුවෙක් ප්‍රසූත කළෙත්, පත්තිනි දේවාලෙදි දුවෙක් මල්වර වුණෙත් ඉතිහාසේ පළවැනි වතාවට. නමුත් ශ්‍රී පාද අඩවියේ නායක හාමුදුරුවොයි, අපේ සංඝයා වහන්සේලායි නුවණ ඇතිව කටයුතු කරපු නිසා තව අවුරුදු ගාණකින් ජනමාධ්‍යවලින් ඇයව හොයාගෙන යයි. ඒ ශ්‍රී පාද මළුවේ ඉපදුණු පළවැනි දුව විදියට. එතකොට ඇයට තමන් ගැනම පුදුමාකාර ආත්මාභිමානයක් දැනෙයි.

ඒත් එදා ඉතිහාසයේ පළවැනි වතාවට පත්තිනි දේවාලෙදි මල්වර වුණ අර අහිංසක දුවගේ මනසට මෝඩ කපුවෝ දැම්මේ ඇය මහා කාලකණ්ණි කිල්ලක් කියන අදහස. එතකොට ඒ දුවගේ හිතේ තමන් ගැනම මහා වරදකාරී හැඟීමක් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. අන්න ඒ නිසා පත්තිනි දේවාලේ කපු උන්දැලට නම් මට කියන්න තියෙන්නේ තමන් උදේ හවස කියවන හෑල්ල ගැන ඔයිට වඩා ටිකක් වැඩි අවධානෙන් ඉන්න කියන එක.

 

ලිහිණි මධුෂිකා